අල කැපීමේ කලාව ප්‍රගු ණ කරමුද.?

අගෝස්තු 4, 2021

 

ජීවත්වන්නේ ආහාර ගැනීමට නොව, ආහාර ගන්නේ ජීවත් වීමට බව බොහෝ දෙනෙක් පවසති. එය සැබෑවකි. එහෙත් ජීවත් වීම කලාවක් නම් ඒ කලාවේ එක් අංගයක් වන්නේ ඉවුම් පිහුම් කලාවයි.

මේ කලාව ප්‍රගුණ කළ අයකුගේ ආහාර ජීවත් වීම පිණිසම බඩට දාගැනීමට නොව, ඇස, දිව, නහය මෙන්ම සිත ද පිනවීමට සමත් ය. එමනිසා රසවත්ව ආහාර පිළියෙල කරන අයට සමාජයේ දී වටිනාකමක් නිතැතින් ම හිමි වේ.

රසට, ගුණට ආහාර පිසීම සඳහා බොහෝ දෙනා උත්සාහ කළ ද ඒ සඳහා ඉවුම්පිහුම් කලාවේ සෑම දෙයක් ම අවශ්‍ය අංග වේ. එමනිසා ආහාර සැකසීමේ දී ඒ සඳහා ඒවා කපන රටාව ද බොහෝ වැදගත් අංගයකි. අප එතරම් අවධානයක් යොමු නොකළ ද එළවළුවක් කැපීමේ කලාව ආහාර සැකසීමේ කලාවේ දී ප්‍රධාන තැනක් ගනී.

අල ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැඳින්වෙන අර්තාපල් අල බොහෝ දෙනෙක් ආහාරයට ගැනීමට ප්‍රිය ආහාරයකි. අල වර්ග බොහොමයක් අප ආහාරයට ගත්ත ද විශේෂ අවස්ථාවක දී අර්තාපල් අලවලින් සැකසූ ආහාර වර්ගයක් නැතිනම් එම ආහාර වේලෙහි යම් අඩුපාඩුවක් ඇතිබව සිතෙන තරමට ම අපට අර්තාපල් අල සමීප ආහාරයකි. පරිප්පු නැති හෝටලේ වගේ යැයි ජනවහරේ කියමනක් පවතින්නේ පරිප්පු ව්‍යාංජනය අපට කොතරම් සමීපදැයි පැවසීමටයි. අල වලට ද සාමාන්‍ය ජන සමාජයේ ඇති ඇල්ම මීට නොදෙවැනි ය.

බොහෝ විට කහබතක් විශේෂ බත් වේලක් සකසන විටෙක අර්තාපල් අල බැදුමක්, තෙල් දැමීමක් සැකසීමට බොහෝ ගෘහණියන් කැමැත්තක් දක්වයි. මෙලෙසින් අල තෙල් දැමීමට සාමාන්‍ය ප්‍රමාණයේ අල, ගෙඩිය හතරට පලා කපා ගත යුතුය. මේ අල කැබැලි අඟල් තුන් කාලක පමණ ප්‍රමාණයෙන් තිබීම සෑහේ. මෙලෙසින් තෙල් දැමූ අර්තාපල් අල සමඟ පරිප්පු ව්‍යාංජනයක් පමණක් තිබුණද ආහාරවේල රසවත් වේ.

අල බැදීම දැන් දැන් බොහෝ දෙනෙක් සිදු කරන්නකි. විශේෂයෙන් ම මෙලෙසින් අල බැද ආහාරයට ගැනීමට කුඩා දරුවන් කැමැත්තක් දක්වයි. මෙසේ අල ගැඹුරු තෙලේ බැදීම සඳහා කපා ගත යුතු ක්‍රමයක් පවතී. ඒ අල තීරු වශයෙනි. බැදගත් අල තීරු බොහෝ විට කටගැස්මක් ලෙසින් ද රසවිඳීමට ලොකු කුඩා කවුරුත් කැමැත්තක් දක්වයි. එමනිසා බැදගත් අල තීරු ජනප්‍රිය ආහාරයක් බව පැවසිය යුතුම ය.

ඇතැම් අය අල පෙති වශයෙන් ද කපා බැද ගත්ත ද එහි නියම ක්‍රමය වන්නේ මෙලෙසින් තීරු ලෙස කපා අල බැද ගැනීමයි. මෙලෙසින් බැදගත් අල තීරු යොදා විවිධාකාරයේ බැදුම් වර්ග ද සැකසිය හැකියි.

එමෙන්ම අල කිරට ඉවීමෙන් ද ලැබෙන්නේ වෙනස් ම රසයකි. අල කිරට උයා එයට ම ගැළපෙන ආහාර සමඟින් කහබතක රසය දෙගුණ කිරීමට හැකියාව ඇත. එමෙන්ම ලුණු මිරිසක්, කට්ට සම්බෝලයක් වැනි සරල දෙයක් සමඟ වුවද හොඳින් ගැළපෙන ආහාරයකි. කිරට උයා ගත් අල කරියක් උදෑසන ආහාරය සඳහා සැකසෙන බතකට ද ගෙන දෙන්නේ මිහිරි රසයකි.

ඉඳි ආප්ප, පාන්, පිට්ටු ආදී ආහාර වර්ග සමඟින් ද හොඳින් පෑහෙන අල කිරිහොද්ද බොහෝ දෙනාගේ රසනහර උද්දීපනය කිරීමට සමත් ව්‍යාංජනයකි. හොඳින් උකුවට සකසා ගත් විට ඉතාමත් රසවත් අල ව්‍යාංජනය නිවෙසක නිතර සැකසෙන කෑම අතරින් එකක් ලෙස ද හැඳින්විය හැකියි.

අර්තාපල් කිරට සැකසීමේ දී අලගෙඩිය කපන රටාවක් ද තිබේ. මෙහිදී අල ගෙඩිය තෙල් දැමීමට සකසන ආකාරයට දිගට හා හරහට කපා නොගන්නා අතර මේ සඳහා අල ගෙඩිය දිග අතට පමණක් කැබැලි ලෙස කපයි. පළමුව අල ගෙඩිය දෙකට පලා දිග අතට නැවතත් එම පලුව තුනට හෝ අල ගෙඩියේ ප්‍රමාණය අනුව කපා ගත යුතුය.

මෙලෙසින් කපා සකසන අල කරියට අවශ්‍ය කළමනා නිසි ආකාරයට දමා සකසා ගැනීමෙන් රස නහර පිනා යන රසවත් අල කරියක් සකසා ගත හැකියි.

මෙතෙක් කලක් ඔබ අල කිරට මෙන්ම බැදීමට, තෙල් දැමීමට ආදී ක්‍රම සියල්ලටම සැකසීම සඳහා කැපුවේ එකම ක්‍රමයකට හෝ ක්‍රම වෙනස්කර නම් අද සිට නියම කැපුම් ක්‍රමය අනුගමනයකර ඉවුම් පිහුම් කලාවට නිසි සේ අවතීර්ණ විය හැකියි.