බෝංචි බැදලා ඉව්වම රසය දෙගුණ තෙගුණ වෙනවා

ආචාර්ය පබිලිස් සිල්වාගෙන් උයන කලාවේ රහස් දැන ගනිමු
ඔක්තෝබර් 20, 2021

 

ආහාර ගැනීමට මෙන්ම එම ආහාර හොඳින් ජීර්ණය වීමට ද ආහාර පිළිබඳ ප්‍රියතාවක් ඇතිවිය යුතුය. එම ප්‍රියතාව ලබා ගැනීමට නම් ආහාරයේ රසය, සුවඳ මෙන්ම පෙනුම ද එකසේ වැදගත් වේ.

මේ නිසා ආහාර සැකසීමේ දී ඒවා කපා ගන්නා ආකාරය ද වැදගත් වන බව ඔබට වැටහෙනවා ඇති. විවිධ අමුද්‍රව්‍ය සකසන ක්‍රමවේදය අනුව කපාගන්නා ක්‍රමය ද වෙනස් කළ යුතුය.

අද අපි බෝංචි රසවත්ව හා ගුණවත්ව පිළියෙළ කිරීමටත් ආහාරයට ප්‍රිය උපදවන ආකාරයෙන් එය සකසා ගැනීමටත් හැකි වන සේ කපා ගන්නා ආකාරය පිළිබඳ දැනුම්වත් වෙමු.

බෝංචි රසවත් මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ඉහළ ආහාරයක්. විවිධ ආකාරයට සාදා රස විඳීමට හැකියාව ඇති බෝංචිවලට බොහෝ දෙනෙක් දක්වන්නේ කැමැත්තක්. නිතර මිල ගණන් ඉහළ යාම නිසාම ඇතැම් විට බෝංචි ඉහළ පෙළේ ආහාරයක් ‍ලෙසින්ද ඇතැම් අය සැලකීමට පුරුදු වී ඇත. එහෙමනම් බෝංචි විවිධකාර ලෙස සකස් කිරීමේ දී ඒවා කපන ආකාරයන් වෙනස් වන්නේ කෙසේදැයි අපි විමසා බලමු.

n බෝංචි වෙනම ඉවීමට ගන්නවා මෙන්ම තවත් එළවළු සමඟ මිශ්‍රකොට ඉවීමට ද හැකියාව ඇත. කැරට් හා බෝංචි එකට මිශ්‍රකොට ඉවීම මෙන්ම තවත් එළවළු වර්ග සමඟ එක්කොට සැකසූව ද එහි ඇති ඉමිහිරි රසය වැඩි වනවා මිස අඩුවක් නම් නැත. මෙසේ මිශ්‍ර ව්‍යාංජනය සඳහා බෝංචි කැපීමේ දී අඟල් කාලත් භාගයත් අතර ප්‍රමාණයට කපා ගැනීම සුදුසු ය.

n බෝංචි බැද ඉවීම බොහෝ දෙනෙක් සිදු නොකළත් එය බෝංචිවල රසය දෙගුණ කිරීමට සමත් ය. බෝංචි බැද ඉවීමේ දී බෝංචි කපා ගත යුත්තේ අඟලක පමණ ප්‍රමාණයේ කැබැලි වලටයි. බෝංචි බැද ඉවීමේ දී මුලින් ම බෝංචි කපා ගැඹුරු තෙලට දමා බැද ගත යුතුයි. පසුව ව්‍යාංජනය සාදා එයට බැදගත් බෝංචි ටික එකතු කරගන්න. මෙම ව්‍යාංජනයේ දී බෝංචිවල වෙනස්ම රසයක් ඔබට අත්විඳිය හැකියි.

n සුදට උයන බෝංචි ව්‍යාංජනයේ ඇති කිරි රසය නිසාම බෝංචි ව්‍යාංජනයට කැමැත්තක් දක්වන පිරිස වැඩි වී ඇත. බෝංචි සුදට උයන විට බෝංචි කරල් කැපිය යුත්තේ අඟලක පමණ ප්‍රමාණයට ආනත හැඩයක් එන ලෙසටයි. එසේ කැපීමෙන් ව්‍යාංජනයට ලස්සනක් මෙන්ම ඉක්මනින් බෝංචි තම්බා ගැනීමට ද හැකියාව ලැබේ.

බෝංචි උයාගැනීමේ දී එහි ඇති ළා කොළ පැහැය එලෙසින් ම තබා ගත් තරමට බෝංචි ව්‍යාංජනයේ ලස්සන වැඩිවේ. එහෙත් බොහෝ දෙනකුට මෙලෙසින් බෝංචිවල වර්ණය රැක ගනිමින් උයා ගැනීම තරමක් අපහසු ය. බෝංචිවල වර්ණය රැක ගනිමින් උයා ගැනීමට නම් ආනත හැඩයට කපා ගත් බෝංචි කැබැලි උතුරන වතුර බඳුනක ලුණු ස්වල්පයක් ද දමා විනාඩි පහක පමණ වේලාවක් තම්බාගන්න. පසුව මේ තම්බාගත් බෝංචි කැබැලි ටික සිසිල් ජලයට දමන්න. ව්‍යාංජනයට අවශ්‍ය කළමනා සියල්ල ළිපේ තබා උතුරවා ගත් පසුව තම්බා ගත් බෝංචි කැබැලි එයට එකතුකර හොඳින් මිශ්‍රකර ව්‍යාංජනය ළිපෙන් ඉවත් කළ යුතුය.

n බෝංචි බැටර් ෆ්‍රයි කිරීම ද අද වන විට සිදු කරනු ලබයි. එහිදී මෙන්ම බෝංචි තම්බා ආහාරයට ගැනීමේ දී බෝංචි කරල දෙකට හෝ තුනට කපා හෝ කඩා ගැනීම සිදු වේ.

බෝංචිවලට තරමක් ස්වරූපයෙන් සමාන දේශීය එළවළු වර්ගයක් ලෙස මෑ කරල් හැඳින්විය හැකිය. මෑ කරල් ද ප්‍රණීත රසයක් දෙන පහසුවෙන් වගාකර ගත හැකි මෙන්ම වෙළෙඳපොළේදී ද පහසුවෙන් ලබා ගත හැකි එළවළුවකි. මෑ වර්ග කිහිපයක් ම දේශීව පවතී. එම හැම වර්ගයක ම මෑ කරල්වල රසය කිසිම අඩුවක් නැත.

බෝංචි මෙන්ම මෑ කරල් ද සුදට ව්‍යාංජනය සඳහා පිළියෙළ කළ හැකිය. එමෙන්ම තෙල් දමා ඉවීම ද කළ හැකිය. මෑ කරල් තෙල් දැමීමේ දී එයට වියළි හාල්මැස්සන් හෝ කරවල යෙදූ විට රසය කිහිප ගුණයකින් ඉහළ යයි.

n මේ ක්‍රම දෙකට ම (සුදට ඉවීමට හෝ තෙල් දැමීමට) මෑ කරල් ඉවීම සඳහා අඟලක පමණ ප්‍රමාණයට කපා ගැනීමට හෝ කඩා ගැනීමට හැකියාව ඇත.

මෑ කරල් මෙන්ම බෝංචි ද කපා ගැනීමට ප්‍රථම හෝ කැබැලිවලට කඩා ගැනීමේ දී එහි දෙපස නාරටිවල ඇති නූල් ඉවත් කළ යුතුය.