තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 මාර්තු 20, සඳුදා 14:51

රස දෙන සූදුරු මාදුරු කරවයි සිරුරේ විස දුරු

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(3 මනාප)
අප කන බත් පතේ රසය ගැන හිතන බොහෝ දෙනා එය ලැබෙන්නේ කෙසේදැයි හරියාකාරව නොදනී. එමෙන්ම නිසිලෙස කුළුබඩු යොදා සැකසූ ආහාරයක රසය ඉක්මවා යන ගුණය ගැන ද නොසිතයි.

 

අද අපේ තරුණියන් බොහෝ දෙනා ආහාර සැකසීමේ දී යොදා ගන්නා කුළුබඩුවල ගුණය ගැන නොදන්නා නිසා ඒවා ගැන තැකීමක් නොකරයි. එහෙත් ඒවායෙහි ඇති ගුණය අප විමතියට පත් කරන සුලුයි.

අපි අද තුනපහ සඳහා යොදා ගන්නා සූදුරු හා මහදුරුවල ගුණ ගැන දැන ගනිමු.

මහදුරු

ඉංගී‍්‍රසියෙන් Sweet Cummin  (ස්වීට් ක්‍යූමින්) ලෙස ද සංස්කෘතයෙන් මධුරිකා ලෙසින් ද හඳුන්වන මහදුරුවල ඇති විශේෂත්වය වන්නේ එය පැණි රසින් යුතු වීමයි. එයට ඉංගී‍්‍රසි හා සංස්කෘත නාම ලැබී ඇත්තේ ඒ අනුවයි.

වෙනත් කුළුබඩු මෙන් නොව මහදුරුවල ඇති රසය හා සුවඳ නිසා අපේ රටේ මෙය වැඩි වශයෙන් රස කැවිලි සඳහා යොදා ගනී.

මහදුරුවල ආහාරමය තන්තු, පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම් සහ මැංගනීස් අඩංගුව පවතී.

මේ නිසාම මහදුරු පියයුරු පිළිකා සමඟ සටන්වදින හොඳ සටන්කරුවෙකි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. එමෙන්ම ලේ වඩවයි.

සූදුරු

සංස්කෘත භාෂාවෙන් ජීරක ලෙසින් හා ඉංගී‍්‍රසියෙන් Cummin seed  ලෙසින් හඳුන්වන සූදුරු ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ ප්‍රකට ඖෂධයකි.

බඩගිනි වඩවන, ජීර්ණ පද්ධතිය ප්‍රබෝධවත් කරන සූදුරු ආහාර දිරවීමටත්, අජීර්ණාබාධ ඇතුළු ආමාශගත රෝග සඳහාත් ඖෂධ වශයෙන් යොදා ගනී. එහෙත් වැඩි වශයෙන් වාතයට විවෘත වීමෙන් හා පරණ වීමෙන් එහි ගුණ හීන වී යා හැකිය. එමෙන්ම වකුගඩුවල ආබාධ නිසා ඇති වන බඩේ කොරයට පිළියම් කිරීමට ද සූදුරුවලට හැකියාව ඇත. මතකය අඩු වීමට හා කෘමීන්ගේ සපාකෑම්වල දී ද සූදුරුවලින් සහනයක් ලබා ගත හැකිය.

නිරෝගී සමක් පවත්වා ගැනීමට සූදුරු උපකාරී වනවා සේම අකලට මහලුවීම වළක්වන ඖෂධයක් ද වෙයි. කිරිදෙන මවුවරුන්ට හිතකරයි. එමෙන්ම මහබඩවැල ආශි‍්‍රත පිළිකා වැලඳීමේ අවදානම අඩු කිරීමටත් සිරුරේ විස නැසීමටත් සූදුරු සමත් වන අතර එය යකඩ ගැබ් වූ ආකරයකි. මෙයට උදරයේ වාතය පිරීම හා අජීර්ණ තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට ද හැකියාව ඇත.

ස්වාභාවික විරේචක ගුණයෙන් ද යුතු සූදුරු ඔක්කාරය අඩු කිරීමටත් උදෑසන අපහසුතා (මෝර්නිං සික්නස්) වැළැක්වීමටත් කදිම ඔසුවකි. ප්‍රතිශක්තිය වර්ධනය කරන, ලේ ශෝධනය කරන සූදුරු ශක්තිජනක ඖෂධයක් බව ඔබ නොදන්නවා විය හැකියි. අක්මාවේ විස නැසීමටත්, වකුගඩුවල කාර්යයන් නිසි ලෙස පවත්වා ගැනීට පමණක් නොව සූදුරු සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසි ලෙස පවත්වා ගනිමින් සෞඛ්‍ය සම්පන්න බව රැකීමට අනුග්‍රහය ද දක්වයි.

අද බොහෝ දෙනෙක් පීඩා විඳින අම්ල පිත්ත රෝගයට ද සූදුරු ගුණදායකයි. සූදුරු උණුවතුරේ තම්බා (තේ හැඳි 2ක් විනාඩි 10ක් පමණ) බීමෙන් සහනයක් ලබා ගත හැකියි.

අපේ මවුවරුන් සූදුරු කබලේ මඳක් බැද තැම්බූ වතුර අජීර්ණයට, බඩ පුරවා දැමීමට, බඩ කොරවීමට දුන්නේ ඉන් ලැබෙන ගුණය ගැන අත්දුටු නිසයි. නින්ද නොයාම ඔබට ගැටලුවක් වී ඇත්නම් ඒ සඳහා ද මේ ඖෂධය පිහිටට ඒවි. අද බොහෝ කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ට ද හිස්හොරි වදයක් වී ඇති බව නොරහසක්. එහෙමනම් සූදුරු තැම්බූ වතුරින් හිස සෝදා බලන්න ඔබේ හිස හිස්හොරිවලින් නිදහස ලබාවි.

  අන්තර්ජාලය ඇසුරිණි

2513 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 20, සඳුදා 14:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න