තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අප්‍රේල් 18, අඟහරුවාදා 11:42

ධනවත් වීමේ රහස

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(1 මනාපය)
ජී විතය රෝසමල් යහනාවක් නොවන බව සැබෑවකි. ජීවිතය අටලෝ දහම අතරින් ගලන බව ද සැබෑවකි. එනමුදු අප කාටත් නැති බැරිකම් නැති යස ඉසුරින් පිරි ජිවිතයක් ගැන ප්‍රාර්ථනාවක් තිබේ.

 

ධනවතුන් වන්නේ පින් බලයකට ද? ධනවත් ජීවිතයක් ඉලක්ක කර මුදල් හරි හම්බ කිරීම පවක් ද? ධනවත් වී සැප සම්පත් විඳීමෙන් නිර්වාණයට යන මඟෙහි දුර වැඩි වේ ද? ආගම දහමට අනුව එලොවත් මෙලොවත් ජීවන මාර්ගය සකසා ගන්නට වෙහෙසෙන පින්වතුන්ට ධන සම්පත සම්බන්ධයෙන් මතුවන ගැටලු බුදු දහමින් පසිඳලන ලෙස රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නා හිමියන් වෙත ගෞරවයෙන් ආරාධනා කළෙමු.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැවිදි පිරිසටත් ගිහි පිරිසටත් වෙන වෙනම ධර්මය වදාරා තිබෙනවා. අපේ ඇත්තන් මේ බුද්ධ දේශනාව පටලවා නොගත යුතුයි. විවාහ වෙන්න එපා!

දරුවන් බිහි කරන්න එපා! ධනය හරි හම්බ කරන්න එපා! මෙවැනි කාරණා බුදුරජාණන් වහන්සේ ගිහියන් වෙත කොතැනකදීවත් වදාරා නැහැ. එපමණක් නොවෙයි ජීවිතයේ “සැප” අත හරින්නැයි බුදුරජාණන් වහන්සේ ගිහියන්ට දේශනාකර නැහැ. බුදු දහමේ ඇත්තේ ධාර්මිකව අවබෝධයෙන් දිරියෙන් වීර්යයෙන් ජීවත් වියයුතු ගිහි ජීවිතයක් ගැනයි.

 

 

කම්මැලිකම එපා !

එම නිසා අපේ උපාසක උපාසිකාවන් පළමුව ජීවන ගමන දුර්මුඛ කරන කුසීතකම අත්හළ යුතුයි. ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ගිහියා වෙහෙස මහන්සි විය යුතුයි. සිඟාලෝවාද සූත්‍රයේදී මෙලෙස වෙහෙසෙන ගිහි ඇත්තන්ට අධික සීතලයි, රස්නය වැඩියි, බඩගිනියි, නිදිමතයි, උදේ වැඩියි, හවස් වී ඇතැයි කම්මැලි නොවිය යුතු බව පැවසෙනවා. මඳක් විමසිලිමත් වී බලන්න.

ආර්ථික සමෘද්ධිය උදාකරගත් ඇත්තන් ජීවිතයේ මොන තරම් කැපකිරීම් කර තිබෙනවාද? කම්මැලිකමින් දෑත් දෙපා හකුලාගෙන සිටියා නම් මේ ඇත්තන්ට ශක්තිමත් ආර්ථිකයක් උදාවෙනවාද? ඉලක්කයක් වෙනුවෙන් වීර්යය වැඩීම ද, වීර්යය පාරමිතාව පුරමින් අපේ බෝසතාණන් වහන්සේ පවා ඔබට පෙන්වා දෙන අවස්ථා ඕනෑ තරම්. පෝසත්වීමේ පිනක් පහළ වන්නේ ඔබේ වීර්යයත් සමඟයි.

මෙලෙස දුක් මන්සියෙන්, කැපවීමෙන් හරි හම්බ කළ ධනය කළමනාකරණය කළ යුතු ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. බුදු දහමට අනුව කරන මුදල් කළමනාකරණයේ ඇත්තේත් අත ඇති මුදලින් තවත් ධනවත් වන ආකාරයයි. ඒ නිසා හොඳ පරීක්ෂාවෙන් මේ කාරණා දෙස බලන්න.

ඉතිරිය වැඩි කරමු

ඔබ හරි හම්බ කරගත් මුදලෙන් හතරෙන් එකක් එදිනෙදා පරිභෝජනය සඳහා යෙදවිය යුතුයි.

ජීවිතයේ දී ඇති විය හැකි අවධානමකදී ප්‍රයෝජනයට ගැනීමට ආරක්ෂිතව තැබිය යුතුයි. අනෙක් හතරෙන් දෙක ඉදිරි දියුණුවට ආයෝජනය කළ යුතුයි. මේ අයෝජනයෙන් තව තවත් ධනය ලැබෙනවා . ඒ ධනයෙනුත් භාගයක් යළිත් ආයෝජනය වෙනවා. දිනෙන් දින ඔබ ලාබ ලබනවාත් සමඟම ඉතිරිය වැඩි වෙනවා.

දෙන අතට ලැබෙනවා

ආයෝජනය නොනැවතීම සිදු වෙනවා. එදිනෙදා පරිභෝජනයට මුදලත් දිනෙන් දින වැඩියි. ඔබේ ජීවිතය දවසින් දවසට සැපවත් වන්නේ නැති ද?

තවත් පසෙකින් එදිනෙදා පරිභෝජනයට වෙන් කරන හතරෙන් එක වියදම් කළයුතු ආකාරයත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. එහිදී ඥාති බලි, අධිති බලි, දේවතා බලි, පුබ්බ පේත බලි, රාජ බලි යැයි ඥාතීන්, අසල්වැසියන්, ආගම දහම, නැසීගිය මාපියන් ඥාතීන්, රජයේ බදු වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ද වගකීම්, පින්කම් ගැනත් සඳහන් වෙනවා. මෙහිදී ඔබේ සිතේ දානයට පින් සිතුවිලි උපදිනවා. “දානය” අසිරිමත් පිනක් වන්නේ එහි පලය “ලැබීම” නිසායි.

”දුන් දේ සුවඳයි” යැයි අපේ ජන ව්‍යවහාරයට එක් වී ඇත්තේ සැබෑම අත්දැකීම් එක්කයි. ඇත්තටම දෙද්දී ලැබෙන්නේ හරියට ළිඳකට වතුර උනන්නා වාගේයි.

සෙත් කවි දහසකට වඩා වටී

ඒත් දීමත් පෘතග්ජන මිනිසුන්ට බොහෝම අසීරු දෙයක් වෙනවා. දානය වෙනුවෙන් තෘෂ්ණාව නැසිය යුතුය. දීමෙන් පින් පුරනවා නම් දෙන දෙය පිළිබඳ ආශාව අත්හළ යුතුයි. එය දීමෙන් කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොපැතිය යුතුයි. මේ සුපිරිසුදු කුසලකර්මය ඉතා බලසම්පන්නයි.

ඔබේ දානයට දෝත දිගු කරන අය ඔබට කරන ආශිර්වාදය සෙත් කවි දහසකට වඩා වටිනවා. ඒ චිත්ත තරංග ඔබට බලගතු ආශිර්වාදයක් වෙනවා.

මේ පිනෙහි අසිරියෙන් ඔබට වැඩි වැඩියෙන් ලැබේවි. පුදුමාකාර ජනප්‍රියත්වයක් ලැබේවි. ඔබේ කීර්තිය පැතිරේවි. සැබැවින්ම දානයදී මේ පින මෙලොවදී මෙන්ම එලොවදීත් පල දෙනවා.

ඇතැම් අය බොහොම සැප සම්පත් ඇති තැන්වල උපදින්නේ පෙර භවයේ කළ දානමය පින්කම්වල පින් මහිමයටයි. පවුලකට දරුවකු ලැබෙන්නේ මවුපියන්ගේත්, දරුවාගේත් පින් පවුවල ගැළපීමක් ඇතිවයි.

“දරුවා උපන්නාට පස්සේ ඒ පවුලට කිරි උතුරනවා”

පින්වත් දරුවන් ගැන මෙවැනි කතාත් සමාජයේ ඇහෙනවා. මේ පෙර සංසාරයේ දානයට නැඹුරු වූ දරුවකුගේ උපතක් බව සැකයක් නැහැ.

සීවලි මහ රහතන් වහන්සේ වඩින කොතැනකදීත් දානය වැරැදුණේ නැහැ. ඒ උන්වහන්සේ සසරේදී කළ දානමය කුසල කර්මය නිසායි.

හරි හම්බ කරන්න කොතරම් වෙහෙසුණත් කිසිඳු දියුණුවත් නොලබන පිරිසකුත් අප අතරේ නැතිවා නෙවෙයි. ධනවත්වීමට වීර්යය වගේම පිනත් ගැළපිය යුතුයි.

වීර්යය තිබුණාට දානයට පුරුද්දක් නැතිනම් ධනවත් වන්නේ නැහැ. දියුණුවීමට පෙර පින් තිබිය යුතුයි යැයි පවසන්නේ ඒ නිසායි. මෙහිදී කිසිසේත්ම වෙස්සන්තර වෙස් ගෙන දන් දිය යුතු යැයි බුදු දහමේදී පැවසෙන්නේ නැහැ.

 

ඔබ දන් දිය යුත්තේ හරි හම්බ කරන දෙයින් හතරෙන් එක කොටසකින් බවත් මතක තබාගන්න. ඒනිසා වැඩි වැඩියෙන් දන් දෙන්නටත් වැඩි වැඩියෙන් හරි හම්බ කළ යුතුයි.

මෙහිදී හරි හම්බ කළ යුත්තේ ධාර්මිකවයි. සුදුවෙන්, මත් ද්‍රව්‍යවලින්, හරක් මැරීමෙන්, විවිධ ජාවාරම්වලින් ධනවත් වූ අයත් අපේ සමාජයේ ඉන්නවා. ඒත් ඔවුන්ගේ ජීවිතයට සැනසීමක් තිබෙනවාද? ඔවුන් යනෙන කොතැනකටවත් අපකීර්තිය අතහැර එන්න බෑ.

“ඔය මනුස්සයා ළඟ තියෙන්නේ අසරණ මිනිස්සුන්ගේ කඳුළුවලින් හෙව්ව සල්ලි”

ඒ අයට මේ අපකීර්තියෙන් ගැළවීමක් නැහැ. සර්ව පිත්තල ලෝකයක ජීවත්වුණාට ඒ අයට හිතේ සැනසීමක් නැහැ. රෑට නින්දක් නැහැ. ඔහු ගෙවන්නේ මානසික වශයෙන් දුගී, බියජනක, අවදානම් ජීවිතයක්. මෙහෙම අයගේ පවෙන් ගොඩ නැඟී සැපවත් ජීවිත හිටි හැටියේම කඩා වැටෙනවා. කළ පවු පසුපස්සේ එනවා. ඉන් ගැලවීමක් කාටවත්ම නෑ.

ාර්මිකව හරි හම්බ කළත් ඒ මුදල් මසුරුකමින් පොදි බඳින්න එපා. මෙලොවත් දුක්ඛිත ජීවිත ගෙවා මරණයෙන් මතු රැස් කළ වස්තුවට ආශා උපදවාගෙන තිරිසනුන්, ප්‍රේතයන්, යකුන් වී උපදින්නේ එවැනි අයයි. තවත් පසෙකින් ඔබ ධනවත් වනවිට ඔබ වටා එක් රොක්වන පිරිසත් වැඩිවන බව අමතක කරන්න එපා. මේ අය අපායගාමින්දැයි නුවණින් විමසා බැලිය යුතුයි. සල්ලි ඇති පවුල්වල දරුවන් පමණක් නොවෙයි වැඩිහිටියන් පවා අපායගාමී ආශ්‍රයන් නිසා නොමඟ යන අවස්ථා ඕනෑ තරම්. ඒ නිසා සල්ලි අත ඇති විට ඔබේ සම්මා සතිය නැතහොත් යහපත් සිහියත් පිහිටුවා ගත යුතුමයි. ඔබ අනුන්ගේ අනුදැනුමට වියදම් කරන්නේ යහපත් දේ සඳහා දැයි විමසිලිවන්ත වෙන්න.

“පරෝපකාරය මිදං ශරීරං”

බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත්තේ අප ජීවත් වන්නේ අනුන්ට උදව් කිරීමට බවයි. අපේ පින්වතුන් හරි හම්බ කරන දෙයින් දානය සඳහා යොදවන කොටසේදී මේ අරමුණෙහි පිහිටන්න. ඔබට උතුම්ම සැපත වන නිර්වාණයට යන තුරා උපදින ආත්මවලදී සැප සම්පතින් අඩුවක් නොවේවි.

  දහම් දෙසුම -

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය

 කපුගම සරණතිස්ස නා හිමි

2122 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අප්‍රේල් 18, අඟහරුවාදා 11:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න