තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අප්‍රේල් 18, අඟහරුවාදා 11:51

දරුවන් ඉදිරියේ පියා අවතක්සේරු නොකරන්න

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(0 මනාප)
අද අපේ සමාජයේ බොහෝ බිරින්දෑවරුන්ගේ පොදු චෝදනාවක් තියෙනවා. “ගෙදර හැම දේ කරන්නේ” මමයි. පවුල වෙනුවෙන් තමන්ට තියෙන කැපවීම උනන්දුව සැමියාට නැහැය කියන කතාව.

 

ඒ අතර තවත් සමහර බිරින්දෑවරු තම අධිපත්‍යපතුරුවාලමින් සැමියාගේ සහයෝගය ගැන නොසළකාහරිමින් පවුලේ සියලු කටයුතු සිදුකරන්නත් උත්සහ දරනවා.

බොහෝ විට මෙහෙම සිදුකරන්නේ අධ්‍යාපනික වරප්‍රසාද සමඟ සමාජයේ ඉහළ තනතුරු දරන කාන්තා පක්ෂයයි.

සාමාන්‍යයෙන් තම බිරියට එවැනි සමාජය පිළිගැනීමක් ඇත්නම් ඒ පිළිබඳ ගෞරවනීය හැඟීමක් ඕනෑම සැමියෙකු තුළ ඇතිවිය හැකි බව සැබැයි.

එනමුත් මේ නිසා සැමියා තුළ හීනමානයක් ඇති නොවිය යුතුමයි.

ඒ සඳහා කටයුතු සම්පාදනය කළ යුත්තේ ද බිරියමයි.

“නිවසේ වෘත්තියට තනතුරු නැහැ” විදුහල්පතිනිය, අධ්‍යක්ෂකවරියක්, ලේකම්වරියක්, වැනි කුමන තනතුර දැරුවද, බිරියක් නිවසේදී බිරියම මිස වෙනත් කිසිම වෘත්තිය තනතුරක් එහි නොඇලී නොගැටී පැවතීමයි අවශ්‍ය වන්නේ. නිවෙසේ වෘත්තියට තනතුරු නැහැ. තිබෙන තනතුරු සියල්ල රැකියා ස්ථානයේ තබා නිවෙසට පැමිණිය යුතුයි.

මේ බැව් තේරුම්ගත් අපේ පැරැන්ණෝ බිරිය හඳුන්වා දී තිබුණේ සැමියාගේ පාදපරිචාරිකාව කියන අර්ථපූර්ණ අන්වර්ථ නාමයෙන්. එනම්, සැමියාගේ දෙපාවටා සැරිසරන කියන තේරුමයි එහි ගැබ්වී තිබෙන්නේ.

ඉතිං මෙහෙම හිතන පතන බිරියක් කිසිදා සැමියාට ඉදිරියෙන් ගමනක් යන්න, ඔහු හැරදමා හැල්මේ යන්න සැරසෙන්නේ නැහැ. ඉධභදඤ ධට ර්භඵඪජ කියන ජනප්‍රිය චිත්‍රපටය සරිගම නමින් සිංහලට නැගුණා. කාන්තාව තමන්ගේ සෞම්‍ය බවට, කලාත්මක බවට පිරිමියෙකුගේ දැඩි බව ජයගත හැකි බවයි ඉන් කියාපාන්නේ පවුල් ජීවිතය සුන්දරව ගෙනයන්න හැකියාව ලැබෙන්නේ ඒ ගුණාංග තුළින්මයි. එය ගිවිසුම්, අණදීම් වලින් තොර සැබෑ ළයාන්විත හැඟීමෙන්මයි රැකගත යුත්තේ.

බැටරියක් හරියට වැඩකරන්නේ ධන අග්‍රයයි සෘණ අග්‍රයයි නිවැරදිව සම්බන්ධ වූ පසුවයි. ඒවගේ තමයි සැමියා සහ බිරියගේ බැඳීම.

පවුලක් සුරැකෙන්නේ අම්මයි තාත්තයි දෙදෙනාම එක හා සමානව ඒ වෙනුවෙන් කැප වුවහොත් පමණයි. තාත්තා හරියට බැටරියේ ධන වගෙයි. අම්මා සෘණ වගෙයි. ධනයි සෘණයි ආකර්ෂණය වෙනවා මිස කවදාවත් විකර්ශනය වෙන්නේ නැහැනේ.

අන්න ඒ වගේ තමයි පවුලේ බැඳීම පවත්වාගත යුතු වෙන්නේ.

මවයි පියයි ගහට වැළට ඉරට හදට සම කරමින් කවියෝ කවි ලීවේ මේ නිසයි. දෙදෙනාගේ සහසම්බන්ධයේ ඇති වටිනාකමයි. එහි ප්‍රතිඵලය දරුවන්ටයි. අපි පවුලක් “දරු පවුල” කියලා හඳුන්වන්නේ ඒකනේ.

අම්මයි තාත්තයි අතරේ සම සහයෝගයක් පවුල කෙරෙහි නැත්නම් එය දරුවන්ට දැනෙනවා.

“දරුවගේ ලෝකයේ වීරයා තාත්තා” එදා සමාජයේ, කාන්තාවන් රැකියාවල නිරත නොවුණු යුගයේ දූවරු මවගේ ආභාසය ලබද්දී පුත්තු උස්මහත් වෙද්දී පියා අනුකරණය කළා.

මමත් එහෙමයි.

මගේ ලෝකයේ වීරයා වුණේ මගේ තාත්තා.

මාව බයිසිකලේ තියාගෙන පාසලේ ඉඳලා නිවෙසට රැගෙන යන මගේ තාත්තා මාලඹේ කලපළුවාව යන්නේ මාව බයිසිකලේ තියාගෙන එක්කගෙන ගිය හැටි, ඒ වෙලාවේ පුංචි මගේ හිතට තාත්තා ගැන දැනුණු මහා ආඩම්බරය මට තාම මතකයි.

ගැහැනු දරුවො අම්මා දිහා බලාගෙන ඒ වගේ සාරිය අඳින්න කොණ්ඩෙ බඳින්න ඉගෙනගන්නවා. පිළිවෙළ පිරිසුදු බව ලස්සන මේ හැමදේම දරුවගේ මනසට කාන්දු වෙන්නේ කාවැදෙන්නේ මවගේ හැසිරීම් රටාවෙන්.

කරුණාව, දයාව කතාකරන කඳුළු මේ ඔක්කොම දරුවෙකුට සංවේදී වෙන්නේ බොහෝවිට අම්මාගෙන්.

අම්මාගේ මේ දෘෂ්ටියෙන් එහා ගිය අභිමානයක්, තේජාන්විත බවක් දරුවෙකුගේ පෞරුෂයට එක් කරන්නේ තාත්තා තමයි.

පිරිමි චරිතය ස්වභාවයෙන්ම ආක්‍රමණශීලියි, අභියෝගජනකයි. එඩිතරයි.

මේ ගතිගුණ දරුවන්ට උරුම වෙන්නේ තාත්තා ගේ ක්‍රියාකලාපයත් සමඟයි.

ජානමය උරුමය වගේම ආභාසය, පිය ඇසුර දරුවගේ පෞරුෂය කෙරෙහි අනිවාර්යයෙන්ම බලපානු ලබනවා.

පෙර කීවාසේ යම් කාන්තාවක් දරුවන් ඉදිරියේ පියාගේ නුගුණ පවසනවා නම් පවුල කෙරෙහි පියාගේ දායකත්වය හෑල්ලුවට ලක්කරනවා නම් එය අම්මා කෙනෙක් දරුවන්ට කරන ලොකු අසාධාරණයක්.

මෙහෙම දරුවෙකුගෙන් අපිට කවදාවත් දියාරු පෞරුෂයක් මිස අභිමානවත් පෞරුෂයක් අපේක්ෂා කරන්න බැහැ.

ඒ නිසා අපේ අම්මලා කවදාවත් දරුවො ළඟ තියාගෙන තාත්තලට දොස් කියන්න එපා.

අපේ බොහෝ මවුවරු ජීවිතේ විඩාබර බව පවසන්නේ සැමියාගේ සහයෝගයේ අඩුපාඩු පවසමින්.

රැකියාවක් කරලා නිවෙසේ වැඩ, ළමයින්ගේ වැඩ මේ ඔක්කොම සමඟ දැඩි මානසික පීඩනයක් කායික පීඩනයක් දරන්නියන් බවට ඇය පත්වී ඇති බැව් අපට අහන්න දකින්න ලැබෙනවා.

එහෙත් නැවත හැරී බැලුවොත් එහි වරද බොහෝ විට අපේ කාන්තාවෝ අතේමයි.

සැමියාගේ වැඩකටයුතු ඔබ වගේ සකසුරුවම් නොවෙන්න පුළුවන්. ඔබ තරම් පිළිවෙළට හැමදේම සිදුකරන්න බැරි වෙන්න පුළුවන්.

ඒත් ඔහුට ඉඩකඩක් ඒ වෙනුවෙන් ලබාදෙන්න. දරුවො එක්ක ළං වෙන්න ඉඩ දෙන්න.

අද බොහෝ තරුණ පිරිමි ළමයි අධ්‍යාපනයෙන් ඉහළටම ගියත් පිරිමි පෞරුෂයකින් ක්‍රියාකරන පිරිමි දරුවො බොහොම අඩුයි. ඒ අයගේ ගොඩක් තියෙන්නේ කාන්තාවන්ට සමාන ගති පැවතුම්.

මේකට ප්‍රබල හේතුවක් තමයි පිරිමි ළමයි එදාට වඩා අද බෝහෝ සමීප මවුවරුන්ට වීම.

එය වරදක් නොවෙයි. මවක් සතු සංවේදී බව කරුණාව දයාව පිරිමි දරුවෙකුට උරුම වීම හොඳයි. ඒ වගේම තාත්තගේ වීර ක්‍රියා දකිමින් පියවරුන්ගේ අභිමානවත් බවත් දරුවන්ගේ ජීවිතයට සමීප විය යුතුයි.

අන්න ඒ නිසා ඔබේ පවුල රැකගන්න නම් යහපත් දරුවන් සමාජගත කරන්න නම් සැමවිටම ඔබ දෙදෙනා සමසේ සහයෝගයෙන් සාමූහිකව ක්‍රියා කරන්න.

තරාදිය සමමිතිකව සමබරව තියෙනවා වගේ පවුලක් සමාජයේ නිරුපද්‍රිතව රැකගන්න සොඳුරු සුන්දර පරමාදර්ශී පවුලක් වෙන්න ජීවන බරට සමසේ උර දෙන්න. එතකොට එය බරක් වෙන්නේ නැහැ. සැබෑ සැහැල්ලුවක් අස්වැසිල්ලක් වෙනවාමයි.

1543 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අප්‍රේල් 18, අඟහරුවාදා 11:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න