තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අප්‍රේල් 18, අඟහරුවාදා 14:43

ඔබ පැහැපත් වෙන්න හදන ක්‍රමය හරි ද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රූ පලාවණ්‍යයේ දී අප වැඩියෙන්ම කතා කරන්නේ සම ගැන. වැඩියෙන්ම සත්කාර ප්‍රතිකාර කරන්නෙත් සමට. ලස්සන කරගන්න උත්සාහ කරන්නෙත් සමේ පැහැයයි.

 

තත්ත්වය එසේ වුණත් සම පිළිබඳ බොහෝ අයට ඇතිවන ගැටලු වගේම යම් යම් හේතූන් නිසා සමේ ඇතිවන ප්‍රශ්නවලත් කෙළවරක් නම් නෑ. ඒ නිසයි සම ලස්සන කරගැනීම ගැන කතා කරනවාට වඩා සමේ ගැටලු ඇතිවන හේතු ගැන විමසා බලන්නට හිතුවේ. දකින දකින දේ හිතෙන හිතෙන දේ සමේ ගාන්නේ ඇයි? තමන්ගේ සම මොන වගේද? තමන්ගේ සමට ගැළපෙන්නේ කුමක්ද? තමන් තෝරා ගත යුත්තේ මොන වගේ ආලේපනයක්ද? මේ කිසිම දෙයක් ගැන සොයා බැලීමක් නොකර අසන්නට දකින්නට ලැබෙන ආලේපන පාවිච්චි කරන්නට යාම නිසා අද සමේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පා තිබෙන අය බොහොමයි.

හිටපු ගමන් මුහුණ කළුවෙලා. මුහුණේ තැන තැන බිබිලි ඇතිවෙලා. සම පිච්චිලා. වේළිලා. මෙහෙම කියන දේවල් ගැන සොයා බලද්දී බොහෝ විට අපට පෙනී යන්නේ සමට හානි කරගෙන තියෙන්නේ ඔවුන් විසින්ම බවයි.

ආලේපනවලින් තොරව යමකුගේ සමෙහි අවපැහැවීමක් සිදුවනවා නම් ආයුර්වේදයට අනුව එයට බලපාන හේතු සාධක තිබෙනවා. බොහෝවිට ශාරීරිකව පවතින යම් යම් හේතු, ආහාර රටාවේ වැරැදි, සමට අවශ්‍ය ආකාරයෙන් නිසි පෝෂණයක් නොලැබීම, සමේ පවිත්‍රතාවය පිළිබඳ සැලකිලිමත් නොවීම එයට හේතූන්විය හැකියි. අද වැඩි දෙනෙක් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය කරන්නේ නෑ. පිපාසයට වතුර වෙනුවට නිතර පානයට ගැනීමට පෙළඹෙන්නේ කෘත්‍රිම බීම වර්ගයි. කෑමට ගන්නේ තෙල්, පිටි, සීනි අධික ක්ෂණික ආහාර වර්ගයි. මෙම තත්ත්වයන්ගේ බලපෑම් නිසා සම දුර්වර්ණ වෙන්න පුළුවන්. මානසික ආතතියත් එක් හේතුවක්.

සමහරුන් මේ දේවල් නිවැරැදි කරගැන්මට උත්සාහ නොකර ආලේපනවලින් පමණක් ලස්සන වෙන්න හිතනවා. මෙන්න මෙතැනදියි මේ අයට වරදින්නේ. සමහරවිට කිසිදු ගැටලුවක් නැති නිරෝගිමත් සමක් හිමිවුවත් වැරැදි ආලේපන භාවිත කිරීම නිසා හානිකර බලපෑම්වලට ලක්වන්නට පුළුවන්. මේ නිසයි ප්‍රමිතියක් ඇති ආලේපන පමණක් තෝරා ගන්නට සැලකිලිමත් විය යුතු වන්නේ.

ආයුර්වේදයට අනුව සම නිරෝගිමත් කරන සමේ පැහැය වර්ධනය කරන විශේෂ ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ වර්ග තිබෙනවා. නමුත් මෙම ප්‍රතිකර්ම හැමකෙනකුටම එකම ආකාරයට සිදු කෙරෙන්නේ නෑ.

ප්‍රතිකාර යෙදීමට පෙර මුලින්ම සොයා බලන්නේ එම තත්ත්වය ඇතිවීමට හේතුවයි. එනම් රෝග මූලයයි. මුලින්ම ප්‍රතිකාර කළයුත්තේ රෝග මූලයටයි. ලේ දූෂ්‍ය වීම නිසා, සෙම ගතිය අධිකවීම නිසා, සිරුරේ පවතින අධික උෂ්ණාධික බව ආදී වශයෙන් ත්‍රිධාතුන්ගේ විෂමතාවයන් මත ගැටලුකාරී තත්ත්වයන් මතුවන්නට පුළුවන්.

මුලින්ම මේ දේවල් සමනය කිරීමට අභ්‍යන්තර වශයෙන් ප්‍රතිකාර සිදුකර ඉන් පසුවයි බාහිර වශයෙන් කරනු ලබන ප්‍රතිකාර සිදුකරනු ලබන්නේ. අප මේ සඳහා ඉතාමත් විශේෂිත වූ අපේම දේශීය ඖෂධ වර්ග යොදාගනිමින් අවශ්‍ය ආලේප වර්ග සකසනවා. මෙහිදී කිසිම ආකාරයකින් හෝ කිසිදු රසායනික ද්‍රව්‍යයක් මුසු කිරීමක් සිදුවන්නේ නෑ. මෙහිදී දුර්ලභ ගණයේ ඖෂධ වර්ග යොදා ගැනෙන අවස්ථා තිබෙනවා. එමනිසා ඉන් ලැබෙන හිතකර ප්‍රතිඵල බොහොමයි.

මේ සඳහා සිදුකෙරෙන ප්‍රතිකාරවලදී මුළු සිරුරටම ඖෂධ ගැල්වීමක් සිදුකරනවා.

සම පැහැපත් කරන ලද ප්‍රතිකර්මයන්හිදී සිරුරේ එක් කොටසකට පමණක් ප්‍රතිකර්ම සිදුකිරීම නිවැරැදි ක්‍රමයක් නොවෙයි. සමට ප්‍රතිකාර කිරීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් ක්‍රමානුකූලව සිදුකළ යුතුයි. මෙහි ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ ක්‍රම ක්‍රමයෙන්. නමුත් සම පැහැපත් කරන ප්‍රතිකර්මයන්හිදී වැඩි දෙනෙක් ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වනවා. එය අනුමත කරන්නට බෑ.

ආයුර්වේද ක්‍රමයට සිදුකරනු ලබන ප්‍රතිකර්මයන්හිදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්න කටයුතු කිරීම ඉතා වැදගත්. මෙහිදී අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකර්ම නිවැරැදි ආකාරයට පිළිපැදීම අවශ්‍යයි. සිදු කරනු ලබන ප්‍රතිකර්මයන්හි විශේෂත්වය වන්නේ සමෙහි නිරෝගිමත් බව රැකදෙමින් සම ආරක්ෂා කරමින් සමේ පැහැපත් බව ළඟාකර දීමයි.

අපි අතීතය ගැන විමසා බැලුවොත් එදා අද මෙන් කෘත්‍රිම ආලේපන - සම පැහැපත් කරන රසායනික යෙදූ ආලේපන භාවිත කළ බවක් සඳහන්ව නෑ.

එදා රූප රාජිණියන් ඔවුන්ගේ සම පැහැපත් කරගන්නට රුව ලස්සන රැකගන්නට භාවිත කළේ ස්වාභාවික ඖෂධීය ශාකසාරයි. මේ පිළිබඳ අප අවධානය යොමු කරන්නේ නම් අපේ සම රැකගන්නට සම නිරෝගිමත්ව පැහැපත්ව තබා ගන්නට අපේ පාරම්පරික දේශීය ඖෂධ. ආයුර්වේදය වශයෙන් සිදු කෙරෙන රුපලාවණ්‍ය ප්‍රතිකර්ම කෙතරම් ඉවහල් වනවාද යන්න වටහා ගන්න හැකිවේවි.

 

 

උපදෙස් - ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනී

නිතූෂා හේරත්

හරීද්‍රා ආයුර්වේද රූපලාවණ්‍යාගාරය

0713485892

2729 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අප්‍රේල් 18, අඟහරුවාදා 14:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න