තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අප්‍රේල් 19, බදාදා 09:11

මේකප්වලින් දෑස ලස්සන කරමු... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
‘එ යාගෙ ලස්සන තියෙන්නේ ඇස් දෙකේ...’ මෙවැනි කියුම් කොතෙකුත් ඔබේ මුවින් ද පිටවී ඇති. ලස්සන ඇස් දෙකක් ලැබෙන සේ මේකප් කරන්නේ කෙසේදැයි අපි ඔබට කියා දෙන්නෙමු.

 

පසුගිය සති කිහිපයේ දී අයිෂැඩෝ, අයිලයිනර් ආදිය ගැන අපි ඔබව දැනුවත් කළෙමු. අද අපි ඇස් වර්ග පිළිබඳත් එම ඇස් මේකප් කරන්නේ කෙසේද යන්නත් ඉගෙන ගනිමු.

ඔබ වෙත මේකප් එකක් කරගැනීමට පැමිණෙන පුද්ගලයින් විවිධාකාර වන්නා සේ ම ඔවුනගේ ඇස්වල පිහිටීම හා ස්වභාවය ද විවිධාකාර ය. මෙවැනි විටෙක රූපලාවණ්‍ය ශිල්පියාගේ ශිල්පීය දැනුම, අත්දැකීම් හා හැඩගැන්වීම් කලාවේ මූලධර්ම උපයෝගී කරගෙන දෑස්වල ඇති විවිධ වූ තත්ත්වයන් නිවැරැදි කරගනිමින් සිත්ගන්නා සුලු පෙනුමක් ලබා දිය යුතු වේ. ඒ සඳහා අපි නිවැරැදි කළ යුතු දෑස් මොනවාදැයි හඳුනාගෙන ඒවා මේකප් කරන්නේ කෙසේදැයි බලමු.

එකිනෙකට ළඟින් පිහිටි දෑස් (Close set eyes)

දෑස් ඉතා ළංව පිහිටීම මුහුණට එතරම් අලංකාරයක් නොවේ. සාමාන්‍යයෙන් එක ඇසක පළල ප්‍රමාණය ඇස් දෙක අතර තිබිය යුතුය. මෙහිදී පළමුව කළ යුත්තේ ඇස්බැම (අයිබ්‍රෝ) ඇතුළත කෙළවරින් මඳක් ගළවා ඉවත්කර එතැන පරතරයක් ඇති කිරීමයි. අයිෂැඩෝ ඇස්වල පිටත කෙළවරට වන්නට හොඳින් ආලේප කළ යුතු අතර ළා පැහැති අයිෂැඩෝ වර්ග ඇස්වල ඇතුළත කෙළවර දෙසින් ආලේප කළ යුතු වේ. අයිලයිනර් ආලේප කිරීමේ දී ඇසේ ඇතුළත කෙළවරට මඳක් ඈතින් සිට අරඹා පිට කෙළවර පසුකර යන තෙක් සටහන් කළ යුතු වේ.

ඈතින් පිහිටි දෑස් (Wide set eyes)

මේකප් කිරීමේ පළමු පියවර ලෙස ඇහි බැම වඩාත් ඇතුළු පැත්තට වන ලෙස සටහන් කරන්න. අයිෂැඩෝ වර්ණ ඇතුළත කෙළවර වඩත් පෙනෙන ලෙස ආලේපකර හයිලයිට් වර්ණ ඇසේ පිට කෙළවරට වන ලෙස ආලේප කරන්න. අයිලයිනර් ඇසේ පිටත කෙළවර පසුකර නොයන ලෙස සටහන් කළ යුතුය.

රවුම් ඇස් (Round eyes)

රවුම් ඇස්වල රවුම් ස්වභාව අඩුකර මඳක් දිගටි හැඩයක් එක් කළ යුතුය. ඒ සඳහා අයිෂැඩෝ තැවරීම ඇසේ පිටත කෙළවර ආලේපකර එය පිටත දෙසට හා අයිබ්‍රෝ කෙළවර මඳක් ඉහළට වන්නට බ්ලෙන්ඩ් කළ යුතු වේ. අයිලයිනර් එක ඇසේ පිටත කෙළවර පසුකර යන ලෙස ආලේප කිරීමෙන් අසේ දිගු බව පෙන්නුම් කළ හැකියි. දෑස්වල කෙළවර ම්ඩධත පැන්සලක ආධාරයෙන් දිගුකර එය බොඳවන ලෙස බ්ලෙන්ඩ් කිරීමෙන් ඇසේ රවුම් බව අඩු කළ හැකි වේ. ඇස දෙපසින් මාළුවකුගේ ඇසේ හැඩය  (fish eye) හැඩය නිර්මාණය කිරීමෙන් ද රවුම් ඇසට දිගු බවක් එක්කළ හැකියි. මෙය කුඩා දෑස්වලට ද කළ හැකි මේකප් ක්‍රමයකි.

පිටතට නෙරා පිහිටි ඇස් (Bulging eyes)

මෙවැනි දෑස් මේකප් කිරීමේ දී ළා පැහැ වර්ණ භාවිතයෙන් වැළකී සිටිය යුතුය. හයිලයිට් කිරීමෙන් සිදුවන්නේ තව තවත් පිටතට නෙරා ඇති බවක් පෙනීමයි. ඇස් පියන මත තද පාට අයිෂැඩෝ එකක් ආලේපකර එය අයිබ්‍රෝ දක්වා බ්ලෙන්ඩ් කිරීමෙන් ඇස පසු පසට තල්ලු වී ගොස් ඇති බවක් දිස් වේ. ඉහළ අයිලයිනර් එක මැදක දී ආරම්භ කොට ඉහළ දෙසට හා පිටත දෙසට යන ලෙස සටහන් කළ යුතු වේ. පහළ ඇස් පියනේ අයිලයිනර් තැවරීමෙන් වැළකී සිටිය යුතුය. ඇස ඇතුළත වෝටර් ලයින් එකේ පමණක් (දාරයේ) අවශ්‍ය නම් යන්තමින් ලයිනර් පැන්සලක් භාවිතකර ලයින් එක ඇඳගත හැකියි.

ගිලුණු ඇස් (Deep set eyes)

ගිලී ගිය දෑස් මුහුණේ අලංකාරය අඩු කරයි. එමනිසා ගිලුණු බව අඩු කිරීමට මේකප් කළ යුතු වේ. එම දෑස් මේකප් මඟින් ඉදිරියට ගෙන ආ යුතුය. මෙහිදී දෑස් සඳහා තද පැහැ අයිෂැඩෝ භාවිතයෙන් වැළකී සිටිය යුතුම වේ. මධ්‍යස්ථ වර්ණ සහ ළා පැහැති අයිෂැඩෝ භාවිතකර දෑසේ ගිලුණු පෙනුම අවම කළ යුතුය. කළු පැහැති අයිලයිනර් වෙනුවට දුඹුරු වර්ණ භාවිත කළ හැකි වුවත් එය ද අවශ්‍ය නම් නොකර සිටිය හැකි වන්නේ ඇසේ ගිලුණු ස්වභාව වැඩිකර දැක්විය හැකි බැවිනි.  Lash bulding mascara වැනි මස්කාරා වර්ගයක් භාවිතකර ඇස් පිහාටු දිගුකර පෙන්වීමෙන් ගිලුණු දෑස් ඉදිරියට ගෙන ආ හැකිය.

පහතට බර වූ ඇස් පියන් සහිත දෑස් (Heavy lided eyes)

මෙම තත්ත්වය වයසට යාමත් සමඟ ඇතිවන තත්ත්වයකි. සම පහතට එල්ලා වැටීම නිසා මෙම තත්ත්වය ඇති වේ. මෙවැනි දෑසකට විවිධ වර්ණ භාවිත කිරීම වෙනුවට දුඹුරු වර්ණ භාවිතය සුදුසු ය.

* කුඩා දෑස්(Small eyes)

කුඩා දෑස්වල කුඩා බව අඩු කිරීමට ඇස වටා වර්ණ තුන හතරක් ආලේප කළ හැකියි. අයිලයිනර් තැවරීමේ දී ඉහළ සහ පහළ මුල සිට පටන්ගෙන ඇස් කෙළවර විවර වීමට හැර එය ඇඳිය යුතුය. අසේ කළු පැහැති රවුම ඇති කොටසට (ඇස මධ්‍යය) ඉහළින් සහ පහළින් මඳක් ඝනව මෙය ඇඳිය යුතුය.

 

 

උපදෙස් - සම්මානිත මහාචාර්ය රමණී අර්සකුලරත්න

2428 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අප්‍රේල් 19, බදාදා 09:13
අදහස් එක් කිරීමට ලොග් වෙන්න