තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 19, සඳුදා 12:41

සාර්ථක පවුල් ජීවිතයකට ඔබේ යුතුකම් හඳුනාගන්න

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
පෙම්වතුන් යුවළක් . . . පසුව විවාහක යුවළක් . . . ඔවුන් අතරට දරු මල්ලන් කිහිප දෙනෙක් . . . මේ හරිම ගීතවත්ව ගලා යන සුමිහිරි ගංගාවක්. පවුල නමැති සංකල්පය සොබාදහම විසින් මවා ඇති අන්දම පුදුම හිතෙන තරම්.

 

එක් වතාවක් නොව කිහිප වතාවක්ම සිතා සහකාරිය හෝ සහකරු සොයා යන ගමනේදී ඔබ නැවතුණු නවාතැන්පළ සැබෑවටම සොඳුරු එකක් වූයේ නම් අඹු සැමියන් ලෙස වෙසෙසින්ම තෘප්තිමත් වූ ජීවිතයක් ඔබට හිමිය. ඔබව බිරිය බවට පත් කරගනිමින් ඔහුගේ සිතේ ඔබ වෙනුවෙන් වැඩි ඉඩකඩක් වෙන්කර ගන්නට වැර වෑයම් කරගත යුත්තේත් ඔබමය.

පතිනිය ලෙසින් ගත කරන ජීවිතයට අංශු මාත්‍රයකුදු පළුද්දක් නොවේ නම් සැමියා ඔබට දක්වන දායාර්ද බව සුළුපටු නොවේ. ඔහු ඔබව විශ්වාසයේ උපරිමයට ගෙන යනු ඇත.

පවුලක් වීමෙන් ඔබ මෙන්ම ඔහු ද ආරක්ෂාව සහ නිදහසේ පහසුවෙන් ජීවත්වීමේ (ර්‍ථඥචජඥ ධට ර්ඪදඤ) ආයෝජනයන් සියල්ල භුක්ති විඳීමේ පරමාර්ථය ඇතිකර ගනියි. තමන් වෙනුවෙන් තවත් අය ඉන්නවා නේද යන සිතිවිල්ලත් සමඟින් ආත්මාර්ථකාමී ක්‍රියා කලාපයන්ගෙන් බැහැර වී පරාර්ථකාමී සිතිවිලි පතුරුවයි.

නිදහස් වටපිටාවක්

පවුලක් ලෙස ගතකරන දිවි පෙවෙතේදී අඹු සැමියන් දෙදෙනා ගත කරන ජීවිතයට ද ප්‍රමුඛස්ථානයක් හිමි වේ. නිදන කාමරයක, නිදහස් පරිසරයකදී එම කාර්යය සඳහා ඔහුට ඔබේ සහයෝගය ද නිරතුරුව අවශ්‍ය වේ. බිරියක් ලෙස ඔබ ඒ සඳහා සුදානම් වීම වැදගත් වේ. එහිදී ඔබ ද ක්‍රියාශීලී චරිතයක් වීම ඔහුට මහත් අස්වැසිල්ලකි.අනාගත මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම උදෙසා දරුවන් මෙලොවට දායාද කිරීම ඔබේ පවුලේ බැමි තව තවත් ශක්තිමත් කරවාවි. මගේ ජාන අරන් යන්න. මා සතු වර්ණ දේහ ලොව පුරා පතුරුවන්නට හැක්කේ සැමියා හා බිරිය යන දෙදෙනාගේ ලෙයින් මසින් හැදී වැඩෙන දරුවන්ට පමණි. බොහොමයක් පවුල් ජීවිතවලට දිගු ආයුෂ ගෙන එන්නේ දුවාදරුවන්ය. සැමියා තමා වෙතට නතු කරගැනීමේ අභිලාෂයෙන් මහත් කැපකිරීම් කොට දරුවන්ම වදන බිරියන් ද නැත්තේ නොවේ.

අගය කරන්න

සැමියාගේ ජීවිතයේ විශ්වාසවන්තම කෙනා බවට පත්විය යුත්තේ ඔබයි. ඔහුට ඕනෑම රහසක් ඔබට කියන්නට හැකි විය යුතුය. එය තවත් කනකට නොයෑමේ වගකීම ඔබ සතුය. කොයි කාගේත් උදව් ගත්තත් ඔබෙන් ගත් උදව් කිසිසේත් පෙරළා නොකියන ඒවා විය යුතුය. ඔහු කියු දේකින් පෙරළා පහර දෙන්නේ නම් ආදරණීය බිරිය වෙනුවෙන් කරන කැපකිරීම් සම්බන්ධව ඔහුගේ සිතේ ජනිත වන්නේ කලකිරීමකි.

ඔබ සතුව සේම පිරිමියකු සතුව ද ආත්ම ගරුත්වයක් පවතී. එය ආරක්ෂා කිරීම බිරියගේ යුතුකමකි. ඔහුගේ හඬට සවන්දීම, ඔහු ජීවිතයේ කඩා වැටුණු ඕනෑම වෙලාවක ඔහු අසලින්ම සිටීමෙන් ඔහු ඔබ ගැන ආඩම්බර වනු ඇත. ඔබේ නිහතමානී බව හැමවිටම අගයනු ඇත. හැම බිරියක්ම සැමියාගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවක් විය යුතුවේ. ඔබ හොඳ සවන් දෙන්නියක වීම, වැඩිපුර අත්පොළසන් දෙන්නියක වීම ඔහුගේ ජයග්‍රහණයේ සුබ මාවතය. ඔහුව අගයමින් සැමියා යහපත් දෙයක් කරද්දී බිරියක ලෙස ඔබ හොඳ ධෛර්යවන්තියක විය යුතුය. තමා වෙනුවෙන් කැප කිරීම් කරන්න කෙනකු සිටියි යන සිතිවිල්ලත් සමඟින් ඔහු ඔබව රැජනක් තරමටම ඔසවා තබාවි.

සැමියා ව්‍යාපාරයක නිරතව සිටී නම් එහි සාර්ථක, අසාර්ථක බව හමුවේ නොසැලෙන චරිතය විය යුත්තේ ඔබය. සැමියාගේ නායකත්වයට සවන් දෙන ඔබ ‘අනේ මම ගෙදර වැඩම කරකර ඉන්නවනේ, ළමයිම හදනවනේ . . .’ වැනි ප්‍රතිරූපයක් ඇතිකර ගන්නට එපා. බිරියක ලෙස ඔබේ කර්තව්‍යයන් එලෙසම ඉටු කරන්නේ නම් නිවෙසේ නිසිතැන නිසැකවම හිමිවනු ඇත.

රසට උයන්න

ලංකාව ඇතුළුව ආසියාකරයේ රටවල කාන්තාවන් රසට උයන්න පිහන්න දක්ෂයින් බව කොයි කාගේත් පිළිගැනීමයි. නිවෙසේ මෙහෙකරුවන් සිටියත් තම බිරියගේ අතින් රසවත්වන කෑම වේලක මිහිර විඳ ගැන්මට බොහොමයක් සැමියන් ප්‍රිය වේ. රැකියාවට යන සැමියා බිරිය අතින් පිළියෙල වූ බත්පත ගෙන යෑම බලාපොරොත්තු වේ. ඇතැම් සැමියන් මංගල උත්සවයකට සහභාගි වූවත් නිරාහාරව එන්නේ බිරිය අතින් පිළියෙල වන කෑම වේල කන්නටයි. එසේම තමාට ඉහළින්ම රස විඳිය හැකි කෑම එක පිළිවෙල කරදෙන්නේ බිරිය බව ඔහුගේ මුවින් පිටවන්නේ නම් . . . එය ඔබට නිහතාමානි ආඩම්බරයක් ගෙන දෙන්නකි. නිතරම සැමියා ලවා කඩෙන් කෑම ගෙනැවිත් කන්නට, දරුවන්ට කඩ කෑම කවන්නට උත්සාහ කරන්නේ නම් එය ඔහුගේ නොසතුටට කාරණයකි. ඉඳහිට විශේෂ අවස්ථාවකදී රෙස්ටුරන්ට් එකකින් කෑම ගැනීමේ වරදක් නැත.

රසයෙන් ගුණයෙන් පිරි කෑම වේලක් නොවැරැදීම ඔබ අතින් පිළියෙල වන්නේ නම් නැන්දම්මා ද ඔබ කෙරෙහි පැහැදීමක් ඇතිකර ගනියි. තම පුතුට ඉහළින්ම සත්කාර කරන ලේලිය පිළිබඳ නෝක්කාඩු සිතක් කොහෙත්ම ඇතිකර නොගනීවි. නැන්දම්මා යනු යම් දුරකට වයසට පත් වූ කෙනෙකි. ඇයගේ විශ්වාසයත්, හැඟුම් නොගැළපෙන ඒවා වුවත් වෙනස් කරලන්නට නොහැකි වේවි. දැනට නැන්දම්මා අනුගමනය කරන ක්‍රමයන් වෙනස් කරන්නට යෑම ගැටුමකට මුලපිරීමකි. අම්මාට නොසලකන බිරියක් තමාගේ ද එදිරිකාරියක් යැයි සැමියා සිතයි.

දරුවන්ගේ ජයග්‍රහණ

දූ දරුවන් හදා වඩා ගනිමින්, ශිල්ප ශාස්ත්‍රය නොඅඩුව ලබාදෙමින් දරුවන්ට යහගුණ කියාදෙන අම්මා කෙරෙහි කාගේ සිත් නොනැමේවිද? දරුවන් කඩඉම් විභාග ජය ගනිමින් පාසලෙන් පරිබාහිර කටයුතුවලදී ජයග්‍රාහී සැතපුම් කණු පසු කරද්දී ඔබ ඔවුන්ගේ සෙවණැල්ල බවට පත්වද්දී සැමියා ඔබ පිළිබඳ නිහඬවම සතුටු වේවි. නිවෙසට එන අමුත්තන්ට සංග්‍රහ කරමින් ඉඳහිට හෝ නිවෙසේ මිතුරන් සමඟින් සාදයක් පවත්වද්දී බිරියගෙන් ලැබෙන සහය කෙබන්දක් වේවිද? එවැනි අවස්ථාවකදී මධුවිත තොලගාන සැමියාට විරුද්ධ වීම කෙසේවත්ම නොකළ යුතුය. ඔවුන්ට කෑම බීමවලින් සත්කාර කරමින් මිතුරන්ගේ බිරියන් සිටී නම් ඔබ ද ඔවුන් අතරට සුහදශීලී මිතුරියක ලෙස එක්වන්නේ නම් සැමියා ඔබ පිළිබඳ නිහතමානී සතුටක් භුක්ති විඳියි. ‘මිසිස් නම් මාරයි ආ’ මිතුරන් ඔබව එලෙස අගයාවි.

අදින ඇඳුම

ඔබ අඳින පලඳින ඇඳුම් පැලඳුම් සඳහා සැමියාගේ විරුද්ධත්වයක් එල්ල වේ නම් ඒවායින් මිදීම හොඳම දෙයයි. ඔබ උස් මහත් වු දරුවන් සිටින මවක් නම් ගරුසරු ඇති ඇඳුමක් ඇඟලෑම සුදුසුය. සැමියාගේ තත්ත්වය, රැකියාව මේ හැමදේටම අනුගත වෙමින් ඇඳුම් තෝරා බේරා ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. ඇතැම් බිරියන් අඳින ඇඳුම් ඇඳගෙන තැනකට ගෙන යෑම ලැජ්ජාවක් වෙන, ඒ නිසාම මහත් අපහසුතාවට පත්වන සැමියන් ද සිටියි. එසේම තැනට සුදුසු නොවන ලෙස මේ මගේ බිරිය යැයි හඳුන්වා දිය නොහැකි තරමට බාල තත්ත්වයේ ඇඳුම් අඳින බිරියන් ද නැතුවා නොවේ. එහිදීි ද සැමියා පීඩාවට පත්වේ. බිරිය ද මුළුගැන් වී සිටියි. එබැවින් ඔබේ ඇඳුම සැමියා හා දරුවන්ගේ ගරුත්වයට හානි නොවන එකක් වීම වැදගත්වේ.නිවෙසේ සිටියදීත් ඔබේ ඇඳුමේ පිරිසුදුකම, පිළිවෙළ කෙරෙහි වෙසෙසින්ම සැලකිලිමත් විය යුතුවේ. රාත්‍රී ඇඳුම දවසේම ඇඳුම නොවිය යුතුය. මෙසේ වීම සැමියාගේ ලිංගික උද්දීපනයන් පවා පළා යන්නකි. ඉවුම් පිහුම් කටයුතුවලදී තමා ඇඳ සිටින ඇඳුමට උඩින් ඒප්‍රණයක් ඇඳීම බොරු සෝබන දෙයක් නම් නොවේ. එසේම නිවෙසේදී යට ඇඳුම්වලින් තොරව සිටීම ඔබේ සිරුරේ හැඩය එහෙම පිටින්ම පලායන්නට කරන එළිපෙහෙලි කිරීමකි.

පිළිවෙල, පිරිසුදුකම

නිවෙස ලස්සනට පමණක් නොව තිබූ දේ පහසුවෙන් ගත හැකි පරිදි පිළිවෙලට තැබීමත් බිරියකට සැමියකුගේ සිත ගන්නට ඇති අනගි අවස්ථාවකි. මැහුම්, ගෙතුම්, අත්කම්, ගෙවතු වගා මේ ආදී ලලනාවන්ටම ආවේණික වූ දෑ කෙරෙහි ඔබ දක්වන දස්කම් ද බිරියකට වටිනා කියන දෑය.බොහොමයක් බිරියන් නිවෙසේ වැඩ කටයුතු ඉක්මනින් නිමකර හෝ නිවෙසේ වැඩ කටයුතු එහෙමපිටින්ම තිබියදී අසල්වැසි නිවෙස්වලට ගොස් ඕපාදූප කියවමින් සිටීම කෙරෙහි සැමියකුට ඇත්තේ අප්‍රසන්න හැඟුමකි.

ආදරයක බලමහිමය හැමදාටමත් පවත්වාගෙන යන්නට මේ දේවල් ඔබටත් නිසැකවම රුකුලක් වේවි. මෙතෙක් වූ අඩුපාඩු ඉහත කී ලෙසට ජය ගන්නට උත්සාහ කරන්න. ඔබ සැබෑවටම දක්ෂයෙකි. සැමියා සතුටින් තබන්නට ඔබ ගත්ත වෙරවෑයම අපතේ නොගියා විය හැකියි.

උපදෙස් - මමෝ විද්‍යාව පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

එච්. ඒ. බුද්ධි ජයසේකර

1597 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 19, සඳුදා 12:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න