තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 19, සඳුදා 12:55

ජීවිතය පරදුවට තබන සෙල්ෆි මාෆියාව

ලිව්වේ  මාලනී වේරගොඩආරච්චි
අගයන්න
(0 මනාප)
අද වනවිට ජංගම දුරකථනය මිනිස් දිවියේ ප්‍රවර්ධනයට මෙන්ම විනාශයට ද හේතු වී ඇති බව දිනෙන් දින ප්‍රචාරය වන විවිධ ප්‍රවෘත්ති හරහා දැනගන්නට ඇත.

 

සෙල්ෆි ඡායාරූප ගැනීමත් ඒවා තාක්ෂණිකව අන්තර්ජාලයට මුදා හැරිමත් උන්මාදයක් වන තරමට ප්‍රචලිතව තිබේ. මේවායින් ඇතැම් සිදුවීම් සමාජ ප්‍රගමනයට හේතු වුවද ඇතැම් ඒවා ව්‍යසනයන් බවට පත්ව තිබේ. අනාරක්ෂිත ලෙස හැඟීමකින් තොරව ඇතැම් පුද්ගලයන් සෙල්ෆි ඡායාරූප ගැනීමට යාම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ඇත. ඒ සඳහා ආසන්නතම සිදුවීම් වාර්තා වූයේ පසුගියදා කොල්ලුපිටිය හා කහව යන ප්‍රදේශවලිනි. එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු හා ළඟදී විවාහ වුණු යුවළක් දුම්රිය මාර්ගයකදී අනතුරට පත්වී ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූ සිදුවීම් කාගේත් නෙතට කඳුළක් කැඳවූ සංවේදී සිදුවීම්ය.

ජංගම පුස්තකාලය

එදා මෙන් නොව අද වන විට දුරකථනය අතේ ගෙන යා හැකි ජංගම පුස්තකාලයක් බඳු වී තිබේ. පාසලේ විෂය කටයුතු සම්බන්ධ දැනුම දියුණුකර ගන්නට, නොදන්නා විෂයක වුවත් මතුවන ගැටලුවක් නිරාකරණය කරගන්නට, නොදන්නා ප්‍රදේශයක වුවත් අවශ්‍ය තැනක් සොයා යන්නට, ජංගම දුරකථනය උපයෝගී කරගන්නට හැකිවීම තාක්ෂණික දියුණුවත් සමඟ අපට හිමිවු දායාදයන්ය. මෙතරම් ප්‍රයෝජනවත් උපකරණයක් විනාශය සඳහා භාවිත කිරීම කනගාටුවට කරුණකි.

හදිසි අනතුරු

සමහර පුද්ගලයන් අනවශ්‍ය වීරකමක් පෙන්වන්නට ගොස් විවිධ අනතුරුවලට මුහුණ පා ඇති අවස්ථා අසන්නට ඇත. අනතුරුදායක ස්ථාන, අනතුරුදායක සතුන් සමඟ මෙන්ම වාහනවල ගමන් කරද්දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම ඛේදවාචකයකි. එදා මහමඟදී හදිසි අනතුරක් වූ විට මිනිසුන් වටවෙන්නේ උදවු කිරීමටයි. එහෙත් අද උත්සාහ කරන්නේ සිදුවීම වීඩියෝගතකර අන්තර්ජාලයට මුදා හැරීමටයි. දියුණු රටවල නම් ඡායාරූප ගැනීම සම්බන්ධව කුඩා කාලයේ ආකල්පමය වෙනසක් ඇතිකර තිබේ. සමහර රටවල යම් යම් ප්‍රදේශයන්හි රතු පැහැති සලකුණු යොදා එම ස්ථානවල සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම්කර ඇත. එමෙන්ම ඡායාරූප මාධ්‍ය මඟින් හෝ අන්තර්ජාලය ඔස්සේ මුදා හැරිමේදී ඒ හා සම්බන්ධ ආචාරධර්ම පද්ධතියක් ඇත. එමෙන්ම එවැනි රටවල පුද්ගලයන්ට අදාළ පුද්ගලයාගේ අවසරයකින් තොරව ඡායාරූප ගැනීම හෝ අන්තර්ජාලයට මුදා හැරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එවිට එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකියාවක් තිබේ. නමුත් අපේ රටේ මේ හා සම්බන්ධ නීති රීති නොමැතිවීම නිසා විවිධ පුද්ගලයන් හිතුමතේ අනවශ්‍ය ස්ථානවල සිට සෙල්ෆි ගැනීමට යාමෙන් තමනුත් කරදරයට පත්වී අන් අයත් කරදරයට පත්කරවන බව පෙනෙන්නට තිබේ.එපමණක් නොව යම් අනතුරක් හෝ ස්වාභාවික ව්‍යසනයක් සිදුවූ අවස්ථාවල මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සම්බන්ධව යම් යම් ප්‍රමිතීන් ඇත. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ පසුගියදා ලන්ඩන් නුවර සිදුවූ බෝම්බ පිපිරීමයි. ඒ හා සම්බන්ධ කිසිම මළසිරුරක් පෙන්වූයේ නැති බව ඔබට මතක ඇති. සිද්ධිය පිළිබඳ දැනුවත් කිරීම විනා ඒ හා සම්බන්ධ සංවේදී දර්ශන ඕනෑම පුද්ගලයකුට රැගෙන ප්‍රචාරය කිරීමට එවැනි රටවල හැකියාවක් නැහැ. එහෙත් අපේ රටේ තත්ත්වය බලන්න. නායයාමෙන්, ගංවතුරෙන් මිය ගිය අයගේ ඡායාරූප ප්‍රචාරය වුණේ තරගයට වගේ.

ඕපදූප සෙවීම

රැකියාවක් නොකර නිවෙසට වී සිටින බහුතරයක් කාන්තාවන් දැනට අවුරුදු කිහිපයකට පෙර නම් උදෑසන 8 - 11 අතර කාලයේදී රූපවාහිනිය මඟින් ප්‍රචාරය වන ඵලදායී වැඩසටහන් හරහා අත්කම්, විවිධ කෑම සැකසීම්, රූපලාවණ්‍ය දැනුම ලබා ගත්තත් අද වන විට එම ගෘහණියන් අතුරින් 40% ක් රූපවාහිනිය නැරඹීමට වඩා ඵලදායී නොවන අන්තර්ජාල කටයුතු කෙරෙහි යොමුවී ඇති බව සොයා ගෙන ඇත. ඒ සඳහා ෆේස්බුක් මිතුරු මිතුරියන් සමග චැට් කිරීමට, සෙල්ෆි ඡායාරූප හුවමාරු කරගැනීමට කාලය යොදවන අතර ඒ මඟින් සිදුවන්නේ අන්තර්ජාලය හරහා තම පෞද්ගලිකත්වය නිරුවත් කිරීමයි. එවිට සිදුවන්නේ තම වටිනා කාලය අපතේ යාමත් ඵලදායී ලෙස තම ශ්‍රමය යෙදවීමට අවස්ථාවක් නොලැබීමත්ය. මේ නිසරු ක්‍රියාවන් මඟින් රටටවත්, පවුලටවත්, තමාටවත් සිදුවන සෙතක් නැත. එහෙත් ඒ පිළිබඳ බහුතරයක් තරුණ පරපුර අතර හැඟීමක් නැත. සෙල්ෆි ගැනීම කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වී ඇති තරුණ පරපුර දෙස බැලීමේදී ඔවුන්ට ඒ අවස්ථාවේ අදාළ කාර්යය ගැන මිස වටපිට හෝ සිටින ස්ථානය ගැන කිසිදු හැඟීමකින් තොරව කටයුතු කර ඇති බව පැහැදිලි කරුණකි.

ඇබ්බැහිවීම

නිතර නිතර සෙල්ෆි ඡායාරූප ගැනීමත්, ඒවා නරඹා රසවිඳින අතරම අන් අයට ප්‍රදර්ශනය කිරීමත් ඇබ්බැහියක් වී ඇති පිරිස් අපට හමුවේ. දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ගෙන අන්තර්ජාලයට මුදා හරින්නේ නම් එය මානසික විකෘතිතාවක මූලික ලක්ෂණයක් ලෙස වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත. එබඳු පුද්ගලයන්ට තමාගේ පෞරුෂත්වය පිළිබඳ ඇත්තේ සැක සහිත බවකි. ඔවුන් තමා පිළිබඳ හීනමානයෙන් පෙළෙන අතර එයින් මිදීම සඳහා තමාගේම ඡායාරූප ගෙන ප්‍රදර්ශනය කරන්නට පෙලඹේ.

මෙම ඇබ්බැහියෙන් මිදීම සඳහා කටයුතු කළයුත්තේ තමාමයි. සැබෑව වටහා ගෙන ඇබ්බැහියෙන් මිදෙන්නට නොහැකි නම් මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යයි. ඡායාරූපයට පෙර ඇසිපිය හෙළන නිමේෂයේදී විය හැකි අනතුරත් තම ජීවිතයේ වටිනාකමත් තේරුම් ගන්නේනම් බොහෝ අය සෙල්ෆි සෙල්ලම අත්හරිනු ඇත.

නිවැරැදි පරිහරණය

ජංගම දුරකථනය භාවිතය මඟින් අපේ ජීවිතයට උදාකර ගත හැකි යහපත් දේ මෙන්ම අයහපත් දේවල් ද ඇති බව තේරුම් ගන්න. එය සමාජ ප්‍රගමනය සඳහා යොදා ගන්නා ආකාරය වටහා ගන්න. පසුගියදා අපේ රටේ ගංවතුර නිසා ඇතිවූ ආපදා තත්ත්වයේදී අන්තර්ජාලය හරි ආකාරයට භාවිත කරමින් බොහෝ පිරිස් ප්‍රසංශනීය සේවාවක් කළ බව මතකයි නේද? ඒ නිසා ජංගම දුරකථනය තමාගේ විනාශයට නොව සමාජයේත් පවුලේත් ප්‍රගමනය උදෙසා යොදා ගන්න. එය සැමගේ යහපතට හේතුවනු ඇත.

 අදහස් දැක්වීම-වෛද්‍ය නිලධාරිනී

චාන්දිමා සුරංජී දහනායක

(MBBS, MSC, MDI)

සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ 10.

1597 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 19, සඳුදා 13:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න