තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 19, සඳුදා 14:31

රැකියාවේ නිරතවන කාන්තාව සතුවිය යුතු ගුණාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(1 මනාපය)
අද කාලයේ කාන්තාවන් අතීතයේ කාන්තාවන්ට වඩා ඉගෙන ගන්නවා. ඒ වගේම ඔවුන් රැකියාවලත් නිරත වෙනවා. හැබැයි පිරිමියෙක් කරන්නේ රැකියාවක නිරතවෙන එක විතරක්ම වෙන්න පුළුවන් වුණත් කාන්තාවකට රැකියාවක් කළා කියලා ඇයගේ ඉතිරි වැඩකටයුතුවලින් මිදෙන්නට නොහැකියි.

 

 

මේ හේතුවම ඔවුන්ගේ රැකියා ස්ථානයේ හැසිරීම්වලට බලපාන්න පුළුවන්.

සමහරවිට තමන්ගේ නිවෙසේදී ඇයට නොලැබෙන ආකර්ෂණයක් බලෙන් ලබාගැනීමට ඇය උත්සාහ කරන්න පුළුවන්. කිසිම රැකියා ස්ථානයක හැසිරීමට අදාළ නීති පවතින්නේ නැහැ. හැබැයි රීති තියෙනවා. කළයුතු දේ තීරණය කිරීමට කාන්තාව බුද්ධිමත් විය යුතුයි. ඉතින් ඔබ කාන්තාවක් නම් රැකියාව කරන තැන අන් අයගේ ආදරය දිනාගන්න නම් හැසිරෙන්න ඕනෙ විදිය ගැනයි මේ කියන්න හදන්නේ.

ඔබ මුලින්ම රැකියාවට ආදරේ කරන්න ඕනේ. ලැබෙන වැටුපට සරිලන වැඩ නොවෙයි, ඔබේ දක්ෂතාවට සහ ඔබට සතුටු විය හැකි ප්‍රමාණයේ වැඩ ඔබ කළ යුතුයි.

ඒ හැමදේටම කලින් ඔබ රැකියාවට වේලපහ පැමිණිය යුතුයි. ඔබ රැකියාවෙන් කලින් යන්න උත්සාහ නොකළ යුතුයි. ඒ වගේම ප්‍රධානියාට පේන්න පමණක් කලින් පැමිණීම හෝ වැඩි වේලාවක් වැඩ කිරීම ඔබේ පෞරුෂයට එතරම් උචිත වෙන්නේ නම් නැහැ. ඔබ හදිස්සියේ ප්‍රමාද වීම හෝ කලින් යෑම සිදු විය හැකි වුවත්, එය පුරුද්දට යනවා නම් ඔබ රැකියාව තුළ කොතරම් දක්ෂයෙක් වුවත් ඔබට කිසිම දිනක උසස් වීමක් නම් බලාපොරොත්තු විය නොහැකියි.

ඒ විතරක් නෙවෙයි ඔබ ඉතාම පිළිවෙළට ඔබේ ඇඳුම් පැලදුම් සකස් කරගත යුතුමයි. එය අනික් කෙනා ලස්සනට අඳින පලඳින බැවින් කළයුතු දෙයක් නොවෙයි. ඔබ ඔබටම ආවේණික ලෙස ඇඳුම් පැලඳුම් ඇඳීම කළ යුතුයි එයින් ඔබ ඔබටම වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගත යුතුයි. සමහරවිට ඔබේ සාර්ථකත්වයේ රහස එයම විය හැකියි. මන්ද එයින් ලැබෙන ආත්ම අභිමානය ඔබට අන් කිසිම තැනකින් නොලැබෙන නිසයි. ඔබේ පෞරුෂය ගොඩ නගා ගැනීමට එය තරම් අන් කිසිවක් ඔබට බලපෑම් නොකරනවා වෙන්නත් පුළුවන්.

කාර්යාලය තුළ දෙදෙනෙක් කතා කරමින් ඉන්නවා නම් කිසිම අවස්ථාවක ඔබ එයට බාධා කිරීම නම් කරන්න එපා. එය කාන්තාවක් ලෙස ඔබට ගැළපෙන්නේ නැහැ. ඔබ ඔබටම අනන්‍යතාවයක් කාර්යාලය තුළ ගොඩනගා ගන්නවා නම් ඔබට රැකියා ස්ථානය අපුල තැනක් වෙන එකක් නම් නැහැ.

ඒ විතරක් නෙවෙයි. ඔබ ආහාර ගැනීමේදී ඉතාම පිළිවෙළට එය කළ යුතුයි. ආහාර ගැනීමට වෙනම ස්ථානයක් ඇත්තම් එතැනදී පමණක් එය සිදු කරන්න වගබලා ගැනීම නුවණට හුරුයි. ඒ වගේම ඔබ ඔබේ මේසය සහ මේසය අවට පරිසරය පිළිවෙළට තබාගත යුතුමයි. ඒ පිළිවෙළ අනිත් අයට පෙනීමට නොවේ එය ඔබේම මනසේ නිරෝගී භාවයට මහත් රුකුලක් වේවි.

ඔබ රැකියා ස්ථානයේ හැසිරීම පිළිබඳ මනා සංයමයකින් සිටිය යුතුයි. ඔබේ වයසට අනුව ඔබ තුළ අනෙක් අයගේ සිත් තුළ අප්‍රසාදයක් ඇති නොවන ආකාරයට හැසිරිය යුතුයි. කාන්තාවන් සමහර අවස්ථාවලදී අන් අයගේ අවධානය තමා වෙත ලබා ගැනීමට හයියෙන් කෑ ගැසීම, විිවිධ චර්යාවන් සහ සිනාසෙමින් අන් අය ආසන්නයේ හැසිරීම සිදුකරනවා. නමුත් ඒ හැසිරීමට අන් අය තුළ ඇති වන්නේ අප්‍රසාදයක් නම් ඔබේ උත්සාහය අසාර්ථකයි නේද? ඒ නිසා ඔබ ඔබම වෙන්න. ඔබ විනීතව සහ තැනට ගැළපෙන ලෙස පමණක් දොඩමලු නම් අන් අයගේ ප්‍රසාදය ඔබට නිතැතින්ම හිමි වේවි.

ඔබ කාන්තාවක් ලෙස සැලකිලිමත් විය යුතුම දේ වෙන්නේ ඔබේ පෞද්ගලිකත්වය අන් අයට හෙළි නොකිරීමයි. ඔබට කාර්යාලය තුළ හමුවන පිරිස ඔබේ අතීතය පිළිබඳ නොදන්නා පිරිසක් නම් ඔබේ ගැටලු සෑම දෙයක්ම ඔවුන්ට කියන්නට යාමෙන් ගැටලුව දෙගුණ තෙගුණ විය හැකියි. විශේෂයෙන්ම අතීතයේ දේවල්, ඔබ රැකියා ප්‍රධානියා පිළිබඳ සිතන පතන දේ, ඔබේ වැටුප පිළිබඳ ඔබ ප්‍රසිද්ධියේ කතා නොකළ යුතුයි.

මේ කරුණු ඔබ නිසි ලෙස ඉටු කළොත් ඔබට රැකියා ස්ථානය අප්‍රසාදජනක තැනක් වෙන එකක් නම් නැහැ. ඒ වගේම ඔබ කාන්තාවක් විදිහට අන් අයගේ සිනහවට බඳුන් වෙන එකකුත් නැහැ.

අන්තර්ජාලය ඇසුරිනි

767 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 19, සඳුදා 14:34
අදහස් එක් කිරීමට ලොග් වෙන්න