තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 19, සඳුදා 14:41

ෆේෂල් කිරීමෙන් සම එල්ලා වැටෙනවද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
“ෆේෂල් කරනවානම් මුහුණ ලස්සන වෙනවා. සම පැහැපත් වෙනවා.” “නිතරම ෆේෂල් කළොත් සම එල්ලා වැටෙනවලු.” මේ කතාව ඇත්තද? ෆේෂල් කියන්නේ මුහුණට කරන සත්කාරයක්.

 

එහෙමනම් ෆේෂල් නිසා සම එල්ලා වැටෙනවා කියලා කියන්නේ කොහොමද?

 

මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ලබාගන්නට ඔබට හැකිවේවි මෙහි දැක්වෙන කරුණු ගැන හොඳින් අවධානය යොමු කිරීමෙන්.

ඇයි අපි ෆේෂල් කරන්නේ. එය අපේ මුහුණේ නිරෝගිමත් බව පැහැපත් බව ලස්සන පෙනුම රැකදෙන හොඳම සත්කාරයක් වෙන නිසයි. නමුත් තමන්ට තියෙන්නේ නිරෝගිමත් සමක් නම් සමේ කිසිම ගැටලුවක් නැත්නම් එවන් අයකුට ෆේෂල් අනවශ්‍ය බවයි අප පවසන්නේ. මේ ලස්සන පෙනුම නිරෝගිමත් ස්වභාවය දිගටම පවත්වා ගන්නට අවශ්‍ය නම් සාමාන්‍ය ආකාරයේ ෆේෂල් එකක් කිරීම, නැත්නම් ක්ලීන්අප් එකක් පමණක් කිරීම ප්‍රමාණවත් වෙනවා.

මේ හේතූන් අනුව බැලීමේදී ෆේෂල් කිරීම නිසා සම එල්ලා වැටීමක් සිදුවන්නේ නෑ. නමුත් නිවැරැදි ක්‍රමවේදයන්ට අනුව ෆේෂල් කිරීම සිදුනොකොළොත් එනම් වැරැදි ආකාරයට කළොත් මුහුණේ සම එල්ල වැටීමක් සිදුවන්නට පුළුවන්.

එසේ වීමට හේතුව කුමක්ද?

මූලිකම දේ තමයි සමේ ස්වභාවය ගැන අවබෝධයක් නොවීම. අපේ මුහුණේ තමයි ඉතාමත් සියුම් මාංස පේශීන් පිහිටලා තියෙන්නෙ. එමෙන්ම මුහුණේ සම ද ඉතාමත් සියුම්.

අපේ ශරීරයේ තිබෙන අනෙක් මාංස පේශිවලට වඩා මුහුණේ සම වඩාත් සියුම් බව වටහාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

ෆේෂල් කරන විට වැරැදි දිශාවන් අනුගමනය කරමින් වැරැදි ආකාරයට මුහුණ සම්බාහනය කළොත් සමට තදින් තට්ටු කිරීමක් කළොත් අනිවාර්යයෙන්ම මුහුණේ මාංස පේශීන් ලිහිල් බවට පත්වී සම එල්ලා වැටීමක් සිදුවන්නට පුළුවන්.

එමෙන්ම මෙහිදී මුහුණ ක්ලෙන්සර් කිරීම මොයිස්චර්රයිසර් වැනි දේ තවරා මුහුණ පිරිමදින විට එය ක්‍රමවත්ව නිවැරැදි ක්‍රමවේදයන්ට අනුකුලව කිරීමට සැලකිලිමත් විය යුතුයි. එසේ නොවුණහොත් එය ද සමේ එල්ලා වැටීමට හේතුවක් විය හැකියි.

මෙම තත්ත්වයට බලපාන තවත් හේතුවක් වන්නේ ෆේෂල් කිරීමේදී මුහුණ අධික ලෙස වාෂ්පයට ඇල්ලීමයි. එය මෙහිදී නොදැනුවත්කම නිසා කරන ලොකු වැරැද්දක්. මෙහිදී සිදුවන්නේ මාංස පේශීන්ගේ තන්තු දුර්වලවීමයි. එසේ වීමෙන් මුහුණේ මාංස පේශින් පහත්වීමකට ලක්වන්නට පුළුවන්. ෆේෂල් කිරීමේදී දැඩි ලෙස මාංස පේශින් පීඩාවට පත් නොකළ යුතුයි. මේ නිසා සමේ

ඇදෙන සුලු බව නැතුව යාමෙන් සම්පූර්ණයෙන්ම මුහුණේ මාංස පේශින් පහත්වීමත් එල්ලා වැටීමත් සිදුවිය හැකියි.

 සමහරුන් නිතර නිතර ෆේෂල් සිදුකර ගන්නට පෙලඹෙන අවස්ථා තිබෙනවා නේද? සාමාන්‍යයෙන් ෆේෂල් එකක් කරනවා නම් එය කළයුත්තේ කොපමණ කාලයක් කොපමණ වාර ගණනකට අනුවද?

 නිතර නිතර ෆේෂල් කිරීම අනවශ්‍ය දෙයක්. ඒ ආකාරයෙන් නිතර ෆේෂල් සිදුකරමින් සම අනවශ්‍ය ආකාරයෙන් පීඩාවට පත් කළ යුතු නැහැ. සාමාන්‍යයෙන් මාසෙකට වරක් පමණ වන ආකාරයට ෆේෂල් එකක් කිරීම ප්‍රමාණවත්.

මුහුණේ දුර්වර්ණ බවක් තියෙනව නම් මුහුණේ සම අධික වියළි බවක් පෙන්නුම් කරනවා නම් එසේත් නැත්නම් තෙල් සහිත බවක් ඇත්නම් සුමාන තුනකට වරක් කිරීමත් වරදක් නෑ.

ෆේෂල් කිරීමේදී අප බොහෝවිට යම් යම් උපකරණ භාවිත කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන් ගැල්වනික් උපකරණය මෙහිදී භාවිත කරනවා. මෙහිදී එම උපකරණ ක්‍රියාත්මක කළයුතු නිවැරැදි ක්‍රමයක් තිබෙනවා.

මේ පිළිබඳ නිවැරැදි අවබෝධයක් නොමැතිව භාවිත කරන්නට යාමෙන් විවිධ ගැටලුකාරී අවස්ථා මතුවිය හැකි බව අවධාරණය කිරීම වැදගත්. මේ පිළිබඳ නිවැරැදි දැනුමක් පුහුණුවක් නැත්නම් එවන් උපකරණ භාවිත කිරීමට යාමෙන් වැළකිය යුතුයි.

අනවශ්‍ය ආකාරයෙන් ෆේෂල් කිරීමට යාමෙන් මුහුණේ මාංස පේශී පහත්වීම නිසා වයසට වඩා වයස්ගත වී ඇති පෙනුමක් ඇතිවන්නට පුළුවන්.

ෆේෂල් ගතහොත් විවිධ ආකාරයේ ෆේෂල් තිබෙනවා. එම ෆේෂල් ගැළපෙන්නේ කාටද යන්න ගැන දැනුවත් බවකින් යුතුවන්න. එකම ආකාරයේ ෆේෂල් සෑම අයකුටම ගැළපෙන්නේ නෑ.

මෙහිදී අවධාරණය යොමු කළයුතු වැදගත්ම දේ කුමක්ද?

වැරැදි ආකාරයට දැනුමකින් තොරව ෆේෂල් කරනවාට වඩා එතුළින් අහිතකර බලපෑම්වලට ලක්වනවාට වඩා එය නොකර සිටීම වඩාත් සුදුසු බවයි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්විනීතා කොතලාවල

සැලෝන් Sweni

1591 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 19, සඳුදා 15:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න