තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූලි 04, අඟහරුවාදා 11:30

විෂාදයෙන් පෙළෙන අය ආදරයෙන් බලාගමු

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(1 මනාපය)
දිනෙන් දින යාන්ත්‍රික වන සමාජය ඉදිරියේ මිනිසුන් කයින් මෙන්ම මනසින් ද රෝගී වීම අරුමයක් නොවේ. නමුදු මේ රෝග පීඩා අපේ සාමාන්‍ය දිවියට ගැටලු ඇති කරයි නම් එය සුළුවෙන් තකා බැහැර කළ හැකි ද යන්න ගැටලුවකි.

 

අද බාල තරුණ වැඩිහිටි බොහෝ දෙනකු මනසින් පීඩාවට පත්කර කයින් දුර්වලයන් බවට පත්කරන රෝග තත්ත්වයක් ලෙස ‘විෂාදය’ හඳුනාගත හැකියි. එනිසාම ඒ පිළිබඳ දැනුවත්වීම කාලීන අවශ්‍යතාවක් බව සලකා අපි මෙලෙස ලියා තබන්නෙමු.

රෝග ලක්ෂණ

විෂාදයේ දී මතුවෙන රෝග ලක්ෂණ බොහෝය. එහෙත් හැම අයකුගෙන්ම එකම ලක්ෂණ ද දැකිය නොහැකියි. මෙම රෝගීන්ගේ හඳුනා ගත හැකි සුලබම ලක්ෂණය වෙන්නේ චිත්ත ස්වභාවයේ ඇතිවන ප්‍රබල වෙනසයි. සිතේ ඇතිවන අධික දුකත් තමන් කැමැතිම දෙයකින් වුව සතුටක් නොලැබීමත් ප්‍රධාන ලෙසම දැකගත හැකියි.

දිගුකල් පවත්නා දුක, හිස්බව, කෑම අරුචිය, බර වැඩිවීම හෝ බර අඩුවීම සමහරුන්ට නින්ද නොයන අතර සමහරු වැඩිපුර නිදාගනිති. නොසන්සුන්තාවය සහ නුරුස්සනා ස්වභාවය තවත් ලක්ෂණයකි. හැමවිටම අසුබවාදීව කතා කිරීම, බලාපොරොත්තු කඩ වූ අයකු ලෙස හැසිරීම, අසරණ බව, මතක තබා ගැනීමේ සහ තීරණ ගැනීමේ අපහසුතාව, යමක් කෙරෙහි අවධානය රඳවාගත නොහැකිවීම, සමාජ ඇසුරින් මිතුරන් ඇසුරින් ඈත්වීම, ශක්තිය අඩුවීම, දුර්වලවීම, වේගය අඩුවීම, දිගුකල් පවත්නා සුවනොවන කායික රෝග මෙන්ම මරණය ගැන සිතීම සහ සියදිවි නසා ගැනීමට තීරණය කිරීම ආදී ලක්ෂණ විෂාදයට ගොදුරුවූ අය වෙතින් දැකිය හැකියි. සමහරකුට මේ සියලු ලක්ෂණ දැකගත නොහැකි වුවත් මින් කිහිපයක් හෝ තිබිය හැකියි.

එහෙත් ලක්ෂණ කිහිපයක් පළකරන මුල් අවස්ථාවේ හඳුනා ගැනීමෙන් එම පුද්ගලයා විෂාදයේ ගොදුරක් වීමට පෙර රැකගත හැකියි. එහෙත් සියදිවි නසාගැනීමට තැත්කිරීම හැර අනෙක් රෝග ලක්ෂණ සති දෙකකට වඩා තියෙනවා නම් පමණක් සැලකිලිමත්වීම ද වටී.

දරුවන්ටත් විෂාදය

කුඩාම දරුවන් වෙතින් මෙම ලක්ෂණ දැකගැනීම බෙහෙවින් අපහසු කාර්යයකි. බොහෝවිට දරුවන් විෂාදයට ගොදුරු වුවද මාපියවරු එය හඳුනාගන්නේ නැත. ඒ නිසාම මේ සඳහා නිසි ප්‍රතිකාර කිරීමට දරුවන් යොමු නොකරන තරම්ය. බොහෝවිට විෂාදයෙන් පෙළෙන තරමක් වැඩුණු දරුවන්ගේ දෛනික කාර්යයන්වල පැහැදිලි වෙනසක් දැකගත හැකියි. පාසල් යාමට මැළිකමක් දැක්වීම, අධ්‍යාපනයට උනන්දුව අඩුවීම, සමාජයට යාමට බිය වීම හෝ අකැමැතිවීම ආදී ලක්ෂණ පෙන්වයි. සමහර දරුවන්ගේ බාහිර ස්වරූපය වෙනස්වන අයුරු ද නිරීක්ෂණය වේ.

එහෙත් මේ පිළිබඳ වැටහීමක් ලබාගත හැක්කේ නිරතුරුවම දරුවන් සමඟ වෙසෙන දරුවන් ඉතා ළඟින් ඇසුරු කරන මාපිය වැඩිහිටියනට වේ. නමුත් වැදගත්ම දේ වන්නේ විෂාදයට පත්වෙන්නේ මාපිය ඇසුරින් බොහෝ දුරස් වූ දරුවන් වීමයි.

සමහර මාපියන් දරුවන්ගේ අකැමැත්ත නොතකා ඔවුන් බෝඩිංවල, ඥාතීන්ගේ ගෙවල්වල මෙන්ම පාසල් නේවාසිකාගාරවල ද නවත්වයි. මේ නිසා පළමුව සාංකාවට පත්වෙන දරුවා දෙවැනිව මාපියන් තමන්ට ආදරය නොකරන බවට මතයක් සිත තුළ ගොඩනඟා ගනී. ඒ පිළිබඳ දිගින් දිගටම සිතන්නට යාම, තනිකම ආදී තත්ත්වයන්ට මුහුණදීම, අලුත් පරිසරයට හැඩ ගැසීමට ඇති අපහසුව හා ඊට අකැමැතිවීම ආදී හේතු නිසා දරුවා මාපියනට වෛර කිරීමට ද පෙලඹෙයි. ඒ නිසා දරුවන් අකැමැති කිසිම විටෙක මාපියන් වෙතින් දුරස් කිරීමට උත්සාහ නොකළ යුතුයි.

හොඳ කරන්න ගිහින් වැටෙන්නෙ නරකට

සමහරු හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න යැයි සිතා මෙසේ නතර කළ ද අවසානයේ දරුවා ඔබට අහිමිවී යා හැකියි. එපමණක් නොව දරුවාට තමාම අහිමිවී යාමට ඉඩ තිබේ. මාපියන්ගෙන් දුරස්වෙන දරුවන් සුමඟට ඇදෙනවාට වඩා නොමඟට වැටෙන ඉඩ ද වැඩියි. එසේ වීමට ද විෂාදය බලපෑම් කළ හැකියි. මත්ද්‍රව්‍ය, මත්පැන්, ගණිකා ඇසුර ආදියට වැඩි වශයෙන්ම යොමුවෙන්නේ විෂාදයෙන් පෙළෙන දරුවන්ය. සමහරක් දරුවන් සියදිවි නසාගැනීමට ද පෙලඹේ. ප්‍රචණ්ඩකාරී හැසිරීම, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමුවීම, සමාජයට හිතකර නොවන කටයුතුවලට යොමුවීම ආදිය ද විෂාදයෙන් පෙළෙන දරුවන් අතින් සිදුවිය හැකි දේය.

රැඳෙන්න

ඒ නිසා නිතරම දරුවන් සමඟ රැඳෙන්නට කාලය කළමනාකරණය කරගන්න. දවසට පැයක් දෙකක්වත් දරුවන් සමඟ කතාබහ කිරීමට, ඔවුන්ගේ ගැටලු විසඳීමට වෙන්කරන්න.

ඔබ ජීවත් වෙන්නේ අරමුණක් තිබෙන නිසාය. ඒ අරමුණ ඔබේ දරුවන්ය. අද හරි හම්බ කරන්නේ ඔවුන්ගේ ජීවිත යහපත් කරන්නටය. එසේ නම් අන් සියලු කටයුතුසේම දරුවන් සමඟ රැඳීම ද අත්‍යවශ්‍ය දෙයක් බවට පත්කර ගන්න.

ඔවුන්ගේ අධ්‍යාපනික කරුණු පිළිබඳ විමසනවා සේම ඔවුන් ප්‍රියකරන දේවල්, දවසේ වූ සිදුවීම්, අඳින්න පලඳින්න කැමැති දේ පිළිබඳ කතාබහ කරන්න. ඔවුන් කන්න කැමැති දේ රැගෙන දෙන්න.

දරුවන් අකැමැති නම් ඔහු/ඇය ඔබෙන් හෝ පවුලෙන් වෙන්කර පිටස්තර තැන්වල නවත්වන්න එපා. බෝඩිං හෝ නේවාසිකාගාරවල රඳවන්න එපා. සමහර මාපියන් මේ කරන්නේ දරුවන්ගේ හොඳට බව මන්තරයක් වාගේ නිතර නිතර පවසමින් තම මතය ඉටුකර ගැනීමට උත්සාහ ගනී. එහෙත් එය නොවිය යුතු දෙයකි. දරුවා වැඩිහිටියකු වෙනතෙක් ඔබ අසල රැඳෙමින්, ඔබේ ආදරය සෙනෙහස විඳිමින් සතුටින් සැහැල්ලුවෙන් ඉඳීමට කැමැතිය. ඊටත් වඩා දරුවන් ඔබ සමඟ ඉන්නා විට රැකවරණය පිළිබඳ බොහෝ තෘප්තිමත්ය. පිට තැනක රැඳී ඉන්නේ සිතේ බිය රඳවාගෙනය. අද ලෝකය අනාරක්ෂිතය. මේ නිසා දරුවන් ඇස් මානයේ රඳවාගන්නට කරන උත්සාහයත් නොඅඩුවම හිමිවන ඔබේ ආදරයත් දරුවන් විෂාදයෙන් ඈත්කරනු ලබයි.

ආදරය පළමුව

ඉහත කී කුමන කරුණක් නිසා හෝ දරුවෙක් විෂාදයට පත්වී නිවෙසට නැවත රැගෙන ආවේ නම් නොපමාව ඔහුට/ඇයට ආදරය කරන්න. ඔවුන් සුරක්ෂිත බව ඒ සිත්වලට දැනෙන්නට හරින්න. නිතරම ආදරයෙන් කතා කරන්න. සැර පරුෂ වචන කිසිම විටක භාවිත කරන්න එපා. දරුවාගේ අවාසනාව, නොලැබීම ආදී වචන කියමින් ඒ සිත් පාරන්න එපා. සියල්ලම යහපත් බවත් නැවත දරුවා ඔබ වෙත පැමිණීම හොඳම දේ බවත් වටහා දෙන්න. එලෙස දුරබැහැර පාසලකට ගියේ නම් නිවෙසට ආසන්න පාසලකට දරුවා ඇතුළත් කරන්න.

මාපිය වෙන්වීම, දික්කසාදය, මාපියන් එක් අයකු හෝ දෙදෙනාම මිය යාම ද දරුවන් විෂාදයට පත් කළ හැකියි. ඒ නිසා දරුවන්ගේ මනසට අහිතකරවන ක්‍රියාවන් ගැනීමේදී ඔබේ යහපතට පළමුව ඔබ නිසා මෙළොවට පැමිණි දරුවන්ගේ යහපත ගැන සිතන්න.

මේ සංකීර්ණ සමාජයේ වැඩිහිටි අය ද බහුලවම විෂාදයට ගොදුරු වෙති. ඒ නිසා පවුලේ සාමාජිකයන් මේ පිළිබඳ දැනුවත්ව සිටීම ද බොහෝ වැදගත්ය.

අසුබවාදී සිතුවිලි පෙරට

විෂාද රෝගීන් තුළ තිබෙන්නේ අසුබවාදී සිතුවිලියි. ඒ නිසා එවැනි පුද්ගලයන්ට සිත සන්සුන්කර ගැනීමට භාවනා කිරීම නුසුදුසු දෙයකි. භාවනාව මඟින් සිත එක අරමුණකට ගනිද්දී අසුබවාදී සිතුවිලි නැවත නැවත ඇතිවීමට පටන්ගනී. එය විෂාදය වැඩි කරනවා. ඒ නිසා විෂාදයෙන් පෙළෙන අය සුවපත් කිරීමට නම් ඔවුන්ගේ සිතීමේ පරාසය වැඩිකළ යුතුයි. ඔවුන් තුළ ඇති තනිකම නැති කිරීමට ක්‍රියාකළ යුතුයි. ඒ සඳහා ඔබ නිතරම ඔහු/ඇය සමඟ සිටින බවත් ඔවුනගේ දුක/සතුට දෙකටම ළඟම හිඳින බවත් කිසිම විටෙකත් ඔවුන් තනිවී නැති බවත් ඒ සිත්වලට කාවැද්දිය යුතුයි.

 

මදේම වරදින බවත් කියයි. එවැනි විටෙකදී ඔවුන් සතු ‘නොහැකියි’ යන හැඟීම ඔවුන් වෙතින් ඉවත් කිරීමට හැකිවෙන ලෙස කටයුතු කළ යුතුයි.

නොහැකියාවේ බීජය

ඉගෙන ගන්නට නොහැකි යැයි ළතැවෙන දරුවන් තුළ තමන්ට හොඳින් ඉගෙනගත හැකියි යන බීජය පැළ කළ යුතුයි. එසේම පුංචි පුංචි ක්‍රියාකාරකම්වල නිරත වෙමින් කුඩා ජයග්‍රහණ ලැබෙන පරිදි කටයුතු කළ යුතුයි.

හැමෝම හැමදේටම දක්ෂ නොවුණත් කුමන හෝ දෙයකට දක්ෂ බව ඔප්පුකර පෙන්වීමට උත්සාහ කරන්න.

සමහර දරුවන් මෙන්ම වැඩිහිටියන්ද සුවනොවන රෝගවලින් පෙළෙන බව නිතර කියයි. ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඒ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මනෝ වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දිය යුතුයි. මෙහිදී බොහෝ අය මනෝ වෛද්‍යවරුන් වෙත යාමට අකැමැතිය. එයට හේතුව සමාජය ඔවුන් පිස්සන් යැයි සලකාවි යන බියයි. ඒ නිසා ඔබගේ වගකීම වන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔවුන් යොමුකරනවා සේම එම ප්‍රතිකාර නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදීමය. නිසි පරිදි ඖෂධ ලබාගන්නේ දැයි සැලකිලිමත් වෙන්න. නියමිත වෙලාවට කෑම බීම ලබාදීම ආදරය පෙන්වීම සිදු කරන්න. ජීවිතයේ වටිනාකම පෙන්වා දෙන්න. කිසිවිටෙකත් ඔවුන් කොන් කරන්න එපා. බැණවදින්න එපා. ඔවුන් අඳින පලඳින විදිහ ගැන සැලකිලිමත් වෙන්න. ලස්සනට අඳින්න පලඳින්න උනන්දු කරන්න. ව්‍යායාම කිරීමට යොමු කිරීමත් බොහොම හොඳයි. ඔවුන් සමඟ ඇවිදින්න යන්න. නිවෙසේ කටයුතුවලට හවුල්කරගන්න. එවැනි විටෙකදී යම් වරදක් සිදුවුවද සිනාසී එය කිසිසේත්ම ගණන් නොගන්නා බව අඟවන්න. එවැනි දේ සිදුවීම සාමාන්‍ය දෙයක් බව පෙන්වන්න.

විෂාදයට පත්වූවන් සමඟ මෙලෙස සහජීවනයෙන් කටයුතු කරන්නේ නම් එම තත්ත්වය ඉතා ඉක්මනින් සුව වී ඔවුන් ද සාමාන්‍ය ජීවිතයට හැඩගැසෙනු නොඅනුමානයි.

 

 

 

ස්තූතිය

ජාතික රෝහලේ

 

මනෝ වෛද්‍ය ඒකකයට

863 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 04, අඟහරුවාදා 11:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න