තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 14:34

මේ විභාග මාසයයි පීඩනය එපා

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(0 මනාප)
පාසල් වියේදී විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රයකට මුහුණදෙන පළමු විභාගයත් අවසන් විභාගයත් පැවැත්වෙන අගෝස්තුව අපේ දුවා දරුවන්ට විභාග මාසයක් වනවා. මේ විභාග පීඩනය දරුවන් පමණක් නොවෙයි විභාගයට මුහුණදෙන දරුවන්ගේ අම්මාවරුනුත් මේ දිනවල හොඳහැටි විඳිනවා.

 

ශිෂ්‍යත්ව විභාගයට අම්මාගේ විභාගය ලෙස සමාජයෙන් අනුවර්ථ නාමයකුත් ලැබී තිබෙනවා. ඇත්තටම පුංචි පහේ ක්‍රීඩාශීලී දරුවකුට විභාග මානසිකත්වයක පිහිටන්න බෑ.

ශිෂ්‍යත්ව විභාගයේ කටඋඩ හිටියත් දරුවාගේ හිත සෙල්ලමටයි. ඒ දරුවන්ගේ ළමාකමයි. මේ අතරේම දරුවාට පැහැබර අනාගතයක් පතන අම්මා ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ හිසමත තබන්න වෙහෙසනවා.

වරක් මම ශිෂ්‍යත්වයට පෙනී සිටින ගම්පහ ප්‍රදේශයේ දරු පිරිසකට දේශනයක් කළා. එහිදී ඔවුනට තම පවුල චිත්‍රයට නගන්නැයි පුංචි පැවරුමක් කරන්නත් දුන්නා.

පුංචි පහේ ළමයි තම පවුලේ පින්තූර තුළ අම්මාට විශේෂ තැනක් ලැබෙන විදිහටයි චිත්‍ර ඇඳ තිබුණේ. අම්මා පවුලේ අනෙක් හැමෝටම වඩා උසයි. මාල වළලු දාලා දරුවා ළඟින්ම ඉන්නේත් අම්මා. මේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවාට අම්මාව හැඟෙන හැටියි.

ඒත් විභාග පීඩනය ඕනෑවට වඩා දරුවාගේ හිසමතට පටවන්න ගියෝතින් දරුවාට විභාගය විතරක් නෙමෙයි අම්මාවත් එපා වෙනවා. අමතක කරන්න එපා බැරි බර ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ඔබේ දරුවා කැපකරන්නේ දරුවාට ආයෙමත් නොලැබෙන සුන්දර ළමා කාලයයි.

ඒ නිසාම විභාගය දොරකඩටම ඇවිත් තිබුණත් දරුවාට චුට්ටක් සෙල්ලම් කරන්න - පැය භාගයක් කාටුන් බලන්න අවස්ථාව සලසාලන්න. එය දරුවාගේ විභාග ආතතිය දුරලන්න හේතුවක් වේවි.

මේ දිනවල පාසලත් - ටියුෂන් පන්තියත් - ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණත් අතර සැරිසරමින් වෙහෙසට පත්වන දරුවන්ට මේ නිදහස වඩාත් වටිනවා.

මොළයේ ධාරණශක්තිය ඇතිකරන හෝමෝන ක්‍රියාකාරී වන්නට එය ඉවහල් වෙනවා. විභාග තරගය ඔබේ හිතට භීතිකාවක් වුණාට දරුවා පුංචි මිනිසෙකු නොව පුංචි දරුවකු බව සිහිතබාගන්න.

උසස් පෙළට විභාගයට පෙනී සිටින දරුවන්ට විභාග මානසිකත්වය බලහත්කාරයෙන් ආරෝපණය කළ යුතු නැහැ. මේ ඔවුන්ගේ අනාගතය කොයිබටදැයි විසදාලන විභාගය වනවා.

අම්මා තාත්තාගේ බලාපොරොත්තු, ඔවුන් මෙතෙක් විය හියදම් කළ මුදල් කන්දරාව, තමන් දෙවසරක් පුරා අපතේ හැරි කාලය ගැන සංවේගයට පත්වූ දරුවන් මේ දිනවල දැඩි ආතතියකින් පෙළෙනවා. ජීවිතේ හැම ප්‍රශ්නයකටම විභාග ප්‍රතිඵලයෙන් උත්තර බලාපොරොත්තුවන දක්ෂ දරුවන්ටත් විභාග ආතතිය වැඩියි.

මේ දරුවන් වෙනදාට වඩා විභාගය ආසන්න දින කීපයේදී අධි සංවේදීයි. වෙනදාට වැඩියෙන් තරහා යන ශෝකවන කලකිරෙන දරුවන් හදිසියේම අනුවණ තීරණවලත් එළඹිය හැකියි.

“විභාගය අතළඟ තියෙන ගෑනු ළමයෙක් බස් ඩ්‍රයිවර් එක්ක පැනලා ගිහින්.”

“විභාගයට දවස් දෙකයි යාළුවෝ ටික මත් පාටියක් දාලා.” විභාගය අත ළඟදි මෙවැනි පුවත් ඇසෙන්නේ ඒ නිසායි.

විභාගයට මුහුණ දෙන දරුවන් සමඟ මාපියන් ගනුදෙනු කළ යුත්තේ ඔවුන්ගේ මනෝභාවයන් සියුම්ව අවබෝධ කරගෙනයි. ඔබ දරුවා ගැන තබන අධික බලාපොරොත්තු දරුවා ඉදිරියේ මන්තරයක් වාගේ මතුරන්න එපා. මේ දිනවල දහසකුත් බාහිර ප්‍රශ්න දරුවාගේ හිසමතට පටවන්නත් එපා. ඔවුනට සැහැල්ලුවෙන හැකි පමණින් විභාගය කරන්න නිදහස් පසුබිම තනා දෙන්න.

අපේ අම්මලා තාත්තලා දරුවන්ව මෙහෙයවන්නේ වෛද්‍යවරයා, ඉංජිනේරුවරයා, ගණකාධිකාරිවරයා යන සීමිත ඉලක්ක වලට පමණයි. මේ මානසිකත්වයේදී අනෙක් හැම වෘත්තියක්ම අහඹු වෘත්තීන් වනවා. මා පියන් දුන් ඉලක්ක හඹා යන රේස් එකෙන් පැරදුණු තැනේදී අහඹු වෘත්තියක් පිළිගන්නට බැරි දරුවන් කල්තබාම ජීවිතටය ගැලවීම් හොයනවා. මෙවැනි දරුවන් පෙම්වතුන් සමඟ පැනලා යන්න, කෝච්චියට බෙල්ල තියන්න තීරණය කරනවා. මේ නිසාම ඉලක්කය වැරදුණත් තවත් ජීවිතය දිනන්නට අවස්ථා තිබෙන බවත් දරුවාට අවබෝධ කොට තබන්න.

ගිරාඳුරුකෝට්ටේ ගල්කඩන වයසක අම්මා කෙනෙක් වරක් මට බොහොම සංවේදී කතාවක් කිව්වා. ඈ විවාහ වී තිබුණේ මහවැලි ව්‍යාපාරයේ කොන්ත්‍රාත් වැඩ සඳහා මහියංගනයට පැමිණි රියදුරෙකු සමඟයි.

ඔහුට දාව ඇය දරුවන් දෙදෙනකු ලබනවා. මේ දරුවන් කුඩා කාලයේදී සැමියාට මැලේරියාව වැළදෙනවා. ඇය නොදැන කසාද බැඳ තිබුණාට ඔහු කලින් විවාහ වී දරු පවුලක් තිබූ අයෙක්. පෙර විවාහයේ දරුවන් පැමිණ මැලේරියාවෙන් අසරණ වූ පියාව රැගෙන යද්දී ඇය අසරණයි. ඉන්පසු ඇයට ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ.

මේ අසරණ දරුපවුලට මහවැලි නිලධාරීන්ගේ කරුණාව ලැබෙනවා. ඒ අනුව අඩුපාඩුවක් නැතිව දරුවන්ට අධ්‍යාපනය ලබන්න අවස්ථාව සැලසෙනවා. ඒ අනුව එක් දරුවකු ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම සමත් වනවා. ඔහු සා. පෙළ, උසස් පෙළ විභාගයත් ඉහළින්ම ජය ගන්නවා. ඔහු අද වෛද්‍යවරයෙක්. ගමෙන් පිටවූ මේ වෛද්‍යවරයා යළිත් මහියංගනයට එන්නේ නැහැ. අසරණ අම්මා තවමත් කළු ගල්කඩමින් දිවි සවිකර ගන්නවා.

ජය ගත යුතු ඉලක්කය පමණක්ම දකින දරුවාට ජීවිතයේ අගනාකම් අතහැරෙන්න හැකියි. තුන්තිස් පැයේම පොත මතම ඉන්නැයි දරුවන්ට අවවාද කරන අම්මාවරු මේ බවත් සිතන්න ඕනෑ.

තවත් පසෙකින් උසස් පෙළ විභාගයත් එක්ක දරුවා පාසල් ජීවිතයට සමු දෙන සංවේදී කාරණාවටත් මුහුණ දෙනවා. මෙතැනදී පිරිමි දරුවනටත් වඩා ගැහැනු දරුවනට මිතුරියන් අතහැරෙනවා. අද විවාහ මංගල්‍යයකට සහභාගි වුණෝතින් මනාලයා ඉන්නේ මිතුරන් පිරිවරාගෙනයි.

ඒත් මනාලියට අතේ ඇඟිවලින් අඩක්වත් මිතුරියන් නැති තරම්. මේ අතරේ අපේ රටේ කාන්තාවන් පිරිමින්ට වඩා මානසික රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවකුත් තිබෙනවා. ඇත්තටම අද අපේ දූවරුන්ට ජීවිතේ දුක බෙදා හදා ගන්න යෙහෙළියන් නැහැ. ඇය ඉන්නේ තනිව විඳවන පීඩනයෙනුයි.

මේ නිසා උසස් පෙළ විභාගයෙන් පසුව දූවරුන්ට කල්‍යාණ මිතුරියන් අතහරින්නැයි තහංචි දමන්නත් එපා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අත්තනායක එම්. හේරත් තරුණීට පමණක්ම ලබාදෙන ජීවිතයට

258 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 14:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න