තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 14:48

නිරෝගීබව තරම් ධනයක් ලොව නැත

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
මෙලොව උපන් අප සැමගේ බලාපොරොත්තුව සතුටින් සිටීමයි. අපට සතුටින් සිටීමට අවශ්‍ය කරන දේවල් හතරකි. අඳින ඇඳුම්, කෑමට ආහාර, සිටීමට නවාතැනක්, අසනීප වුවහොත් හෝ රෝග වළක්වා ගැනීමට අවශ්‍යකරන ඖෂධ ගිහිපැවිදි කාහටත් අවශ්‍ය වේ.

 

බුදුරජාණන් වහන්සේ සිවුපසය ලෙසින් භික්ෂූන් වහන්සේට අනුමත කළේ මේ හතරයි. අපි මෙහි දී හතරවන අංගය වන ඖෂධ හා රෝග පිළිබඳ සාකච්ඡා කරමු. මෙලොව කාහටත් ජීවත්වීම සඳහා අවශ්‍ය කරන්නේ මේ හතර පමණි. එහෙත් අප මේවා අධිකව සොයන්නට යෑම නිසා, ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කිරීමට යෑම නිසා අපේ සතුට අඩු වී ඇත.

ගිහියකුගේ සතුට වර්ධනය වීමට නම් ඒ සඳහා අවශ්‍ය කරන දේ බොහෝමයකි. ඒ අතර සම්පත් ලාභ, ධනය, හොඳ නෑයන් ආදිය ඉවහල් වේ. මේ මොන දේ තිබුණත් නීරෝගිකම නොමැතිනම් වැඩක් නැත. අපට කොතරම් යානවාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, මිලමුදල්, ඥාති මිත්‍රාදීන් මොන දේ තිබුණත් කවුරු සිටියත් ලෙඩක් නම් ඒ කිසිවකින් ඇති ඵලය කුමක්ද?

බුදුරජාණන් වහන්සේ එදා මෙලොව ඇති ලාභ අතුරින් උතුම්ම ලාභය නිරෝගීකම යනුවෙන් හැඳින්වූයේ මේ නිසා නොවේ ද? මොනතරම් ධන සම්පත් තිබුණත් සතුට තරම් තවත් ධනයක් ලෝකයේ තිබෙනවාද? මොනතරම් නෑදෑයන් සිටියත් විශ්වාසවන්ත නොවේ නම් ඒ නෑදෑයන්ගෙන් කවර ප්‍රයෝජනයක්ද? ලේ ඥාතීන් නොවුණත් විශ්වාසවන්ත අය නියම නෑදෑයෝ නොවේද? මෙලොව මොන සැප තිබුණත් ඒ සියල්ලට ම වඩා හොඳම සැප නිවන් සැප නොවේ ද? එසේ නම් අප ලොව හොඳම සැප සොයා යන ගමනට නිරෝගීව ගමන් කළ යුතුය. එනිසා නිරෝගිබව රැක ගැනීමට කටයුතු කළ යුතුය.

බුදුරජාණන් වහන්සේ නීරෝගීභාවය උදෙසා භික්ෂූන් වහන්සේට උදේ අවදිවූ මොහොතේ පටන් දත් මැදිය යුතුය. මුහුණ සේදිය යුතුය. නියපොතු කැපිය යුතුය. ස්නානයක කළ යුතුය. සිවුරු සෝදා පිරිසුදුව තබාගත යුතුය. ඇඳ ඇතිරිලි, මෙන්ම කාමර පිරිසුදුව තබාගත යුතුය. ආහාර ගැනීමේ දී සැලකිලිමත් වියයුතුය. පැන් පෙරා වැළඳිය යුතුය. යනාදී බොහෝ කාරණා පිළිබද දේශනා කොට ඇත. මේ සෑම දෙයක්ම තුළින් ම භික්ෂූන් වහන්සේගේ නීරෝගීතාවය මෙන්ම සැහැල්ලුබව සලකා ඇත. එයින් කායික නිරෝගිතාවය මෙන්ම මානසික නීරෝගිතාව ඇති වේ. එසේ කිරීම තුළින් නිර්වාණය කරා ගමන් කිරීම පහසුවනු ඇත.

රජ සැප විඳිමින් සිටි සිදුහත් කුමාරයා ගිහිසැප ගැන කලකිරුණේ පෙර නිමිති තුනක් දැකීමෙනි. (සතර පෙරනිමිති දැක කලකිරුණා යැයි පැවැසීම වැරැදි මතයකි. භික්ෂූන් වහන්සේ නමක් දැක සසර පිළිබඳ කලකිරීමක් ඇතිකර ගත්තේ නැත.) එහි එක් පෙර නිමිත්තක් වූයේ රෝගියෙකි. දේවදුත සූත්‍රය අනුව අපට සසර දුක් තේරුම් ගැනීමට සසර දුක අවබෝධ කරගැනීමට රෝගියා යනු දේව දූතයකි. රෝගීන් දෙස බලා අපටත් මෙවැනි දේ කවදා හෝ ඇතිවිය හැකියැයි සිතා පින්දහම් කළ යුතුය.

ප්‍රධාන රෝග දෙක

අපට වැලඳෙන ප්‍රධාන රෝග දෙකකි. පළමුවැන්න කායික රෝගයි. දෙවැන්න මානසික රෝගයි. එනිසා ම ලොව වෛද්‍යවරුන් ද කොටස් දෙකකි. ඒ කායික වෛද්‍යවරු සහ මානසික වෛද්‍යවරු යනුවෙනි. මේ ලෝකයේ බොහෝ දෙනා අනෙකකුට කායික රෝගයක් ඇතැයි දැනගත් පසු අනුකම්පා කරති. සැපදුක් විමසති. උදව් කිරීමට ඉදිරිපත් වෙති. තමා දන්නා අත් බෙහෙත්, තෙල් වර්ග ආදී දේ දීමට ඉදිරිපත් වෙති. වෛද්‍යවරයකු වෙත ගෙනයෑමට උදව් කරති.

එහෙත් මානසික රෝගයක් ඇතැයි දැනගතහොත් සිනාසෙති. උපහාසයට ලක්කරති. අනුකම්පා නොකරති. විහිළු කරති. නමුත් අප මේ රෝග දෙකෙන් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කායික රෝගවලටත් වඩා මානසික රෝගවලට බව බොහෝ දෙනෙක් නොදනිති. මානසික රෝග සෑදුණු පසු කය පිළිබඳ කිසිම හැඟීමක් නොමැත. අපගේ කායික රෝගවලට ප්‍රතිකාර කිරීමටත් මනස නීරෝගිව තිබිය යුතුය. එසේ නොමැතිනම් කායික රෝග ද වර්ධනය වේ. ඒවාට ප්‍රතිකාර කිරීමට පවා නොහැකි වේ.

කායික රෝග

අපට සෑදෙන කායික රෝග කීයක් තිබේ ද? ගණන් කළ නොහැකි තරම් රෝග අපට ඇත. පැරැණි අපේ මුතුන් මිත්තන් අට අනූවක් (98) ව්‍යාධි නව අනූවක් රෝග (99) යනුවෙන් හැඳින්වූයේ සිරුරේ බොහෝ රෝග ඇති බව වටහාගත නිසා වෙන්නට ඇති. හිස මුදුණේ සිට දෙපතුල දක්වා ඇති මුළු සිරුර ම රෝග ගොඩකි. අසවල් තැන වේදනාවක් ඇති නොවේ. අසවල් ඉන්ද්‍රියයේ වේදනාවක් ඇති නොවේ. අසවල් ඉන්ද්‍රීය විකෘති නොවේ. මේ ඉන්ද්‍රියේ රෝග ඇතිනොවේ යැයි කියා අපට කිව නොහැකි ය. සෑම ඉන්ද්‍රීයයක්ම දුබල වේ. කැඩේ බිඳේ. වේදනා ගෙන දේ. තුවාල වේ. විකෘති වේ. රෝග ඇති වේ. මේ නිසා ම බුදුරජාණන් වහන්සේ මේ ශරීරය රෝගවලට කැදැල්ලක් ලෙස හඳුන්වා ඇත.

වාතය නිසා ඇතිවන රෝග, පිත නිසා ඇතිවන රෝග, සෙම නිසා ඇතිවන රෝග, විෂම චරියා නිසා ඇතිවන රෝග, ආහාර වර්ග නිසා ඇතිවන රෝග, වයසට යෑම නිසා ඇතිවන රෝග ආදී වශයෙන් රෝග බොහෝ තිබේ. බුදුරජාණන් වහන්සේ විසින් අපට ඇතිවන රෝග පිළිබඳ දීර්ඝ විස්තරයක් ගිරිමානන්ද සූත්‍රයේ දී දේශනා කරන ලදී.

එහි දී ඇස් රෝග, කන් රෝග, නාසයේ රෝග, දිවේ රෝග, කාය රෝග, හිසේ රෝග, කනේ මුල ඇතිවන රෝග, මුඛයේ ඇතිවන රෝග, දත් රෝග, කාස රෝග, ස්වාස රෝග, පීනස් රෝග, දැවිල්ල, උණ රෝග, උදර රෝග, මූර්ජාව, අතීසාර රෝග, ඉදිමීමේ රෝග, විසූචිකා රෝග, කුෂ්ඨ රෝග, ගඩු රෝග, කිලාස රෝග, සෝස රෝග, අපස්මාර රෝග, දද රෝග, කණ්ඩුති රෝග, කච්ඡු නම් කුෂ්ඨ රෝග, රත් පිත රෝග, මධුමේහ (සීනි අමාරු) රෝග, අංශ රෝග, පිළිකා රෝග, බගන්දලා රෝග, පිතෙන් ඇතිවන රෝග, සෙමෙන් ඇතිවන රෝග, වාතයෙන් ඇතිවන රෝග, සන්නිපාතික ආබාධ, සෘතු විපර්යාසය නිසා ඇතිවන රෝග, විෂම හැසිරීමෙන් ඇතිවන රෝග, උපක්‍රම නිසා හටගන්නා රෝග, කර්ම විපාක නිසා හටගන්නා රෝග, සීතල නිසා, උෂ්ණය නිසා, කුසගින්න නිසා, පිපාසය නිසා, මලමුත්‍ර කිරීම නිසා හටගන්නා රෝග වශයෙන් බොහෝ රෝග පවත්නා බව පෙන්වා දුන්සේක.

අද වන විට මීටත් වඩා රෝග ඇති බව අපි දනිමු. එදා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දී අපට කියා දුන්නේ මෙවැනි රෝගවලින් යුක්ත වූ අපේ ශරීරය දෙස අසුභ ලෙස බලන ලෙසයි. මිනිසාට ඇති රෝග පිළිබඳ දේශනාවක් ලෙසින් නොව ශරීරයේ අසුභය ගැන සිතීමට කළ මෙම දේශනාවේද බොහෝ රෝග සංඛ්‍යාවක් දක්වා ඇත. අපගේ ජීවිතයේ ඇති අස්ථීරත්වය, දුක් සහිත බව, මරණයෙන් කෙළවර වන බව තේරුම් ගත යුතුය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බොහෝ ධර්ම දේශනාවල මේ ජීවිතයේ අනිත්‍යතාව, දුක් සහගතබව, රෝගවලට මුල්වන බව දේශනාකොට ඇත.

පරිජිණ්න මිදං රූපං - රෝග නිඩ්ඪං පභංගුරං
භිජ්ජති පූති සංදේභෝ - මරණං තංහි ජීවිතං
ජාතං භූතං සමුප්පන්නං කතං සංඛතමද්ධුවං
ජරාමරණසංඝාතං රෝග නිඩ්ඪං පභංගුරං
ආහරනෙත්තිප්පභවං නාලං තදභිනන්දිතුං

 

මෙලොව ඉපදුණ අපට කායික සුවය මෙන්ම මානසික සුවය ද ඉතා වැදගත් වේ. සමහරවිට කායිකව මොන සැප සම්පත් තිබුණත් මානසික සුවය නොමැති නම් ඵලක් නැත. එනිසා කායික මානසික යන අංශ දෙකෙහිම සුවය රැකගැනීමට වගබලා ගත යුතුය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහනසේට පණවා ඇති විනය ශික්ෂාපද විමසා බැලීමේ දී පෙනී යන්නේ ඒ සෑම ශික්ෂාපදයක් ම අපේ කායික හෝ මානසික නීරෝගීතාවයට උපකාර වන බවයි. අසූහාර දහසක් ධර්මස්ඛන්ධ අතරින් විනය පිටකයට අදාළ විසි එක් දහසක් ධර්මස්ඛන්ධ මෙන්ම සූත්‍ර පිටකයේ බොහෝ කාරණා අපගේ නීරෝගීතාවයට ඉවහල් වේ.

අඩුම තරමින් ඔබ දන්නා දස සිල් ගැන සිතන්න. පන්සිල්වලින් පසුව එන විකාල භෝජන සිල්පදය නීරෝගිකමට කොතරම් ඉවහල් වේද? අද වෛද්‍ය උපදෙස මත සමහර අය රාත්‍රී ආහාර නොගෙන සිටිති. තවත් සමහරු මහත් වේ යැයි බියෙන් ආහාර නොගෙන සිටිති. ලෙඩ රෝග අඩුවීමට කායික සැහැල්ලුවට එම සික්ෂාපදයේ අදාළත්වය කොතරම් ද යන්න අද අපට මනාව පසක් වේ. එසේ ම අදි සුඛෝපභෝගිත්වය නිසා මිනිසුන් බොහෝ සේ ලෙඩරෝගවලට ගොදුරුවෙන බව අප දන්නා කරුණකි. අල්පේච්ඡ ජීවිතය තුළින් අපේ නිරෝගි බව, සැහැල්ලුබව ඇති වේ. එනිසා උච්චාසයන මහාසයනා ශික්ෂාපදය වැදගත් වේ. එපමණක් නොව නැටුම් ගැයුම් වැයුම් ආදිය නිසා අපේ මානසික සුවය වර්ධනය වේ යැයි ඔබ සිතනු ඇති. එහෙත් සත්‍යම දේ නම් ඒවා ද අපේ මනස විකෘති කිරීමට බෙහෙවින් හේතු වේ. එදා කෝලිත උපතිස්ස දෙදෙනා ගිරග්ග සමජ්ජ නාට්‍ය බලා ජීවිතය කලකිරුණා සේ අපටත් විසූකදස්සන නිසා විකෘතිවන සිත යහමගට ගැනීමට හැකිනම් කොතරම් අගනේද?

අපට ඇතිවන රෝග පීඩාදිය මෙන්ම ඖෂධ පිළිබඳ ආදී තොරතුරු සෙවීමේ දී සල්ලේඛ සූත්‍රය, රෝග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, චුන්ද සූත්‍රය, ජරා සූත්‍රය, සලල සූත්‍රය, සම්බාසව සූත්‍රය, සදාපුඤ්ඤප්පවඩ්ඪන සූත්‍රය, මා මොග්ගල්ලාන සූත්‍රය, මහා කස්සපත්ථෙර සූත්‍රය, විච්ඡින්දනික සූත්‍රය, ගිලානො ගිලානුපට්ඨක සූත්‍රය, පිහින සූත්‍රය මෙන්ම භික්ෂු භික්ෂූණී ප්‍රාතිමෝක්ෂවලත්, චුල්ලවග්ග පාලියෙහි සේනාසනක් ඛන්ධකයෙහි ද චුල්ලවග්ග පාලියේ වත්තක්ඛන්ධකයෙහි ද බොහෝ සේ දැකිය හැකි වේ.

 

අපි ලබන සතියේ මානසික රෝග හා ඒවා නැතිකර ගැනීමට ගතහැකි පියවර ගැන සාකච්ඡා කරමු.

646 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 14:52
අදහස් එක් කිරීමට ලොග් වෙන්න