තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:51

සම වියළීම වළක්වා ගන්නේ කොහොමද? විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(2 මනාප)
ලප, කැළැල් ආදියෙන් තොර පැහැපත් සුසිනිඳු සම කාන්තාවකට නම් සැබෑම ආශීර්වාදයකි. පංච කල්‍යාණයේ ප්‍රබලතම කල්‍යාණයක් වූ ඡවි කල්‍යාණය එහෙමත් නැතිනම් පැහැපත් සම සොඳුරු රුවකට අත්‍යාවශ්‍ය සාධකයකි.

 

එම නිසා අප උපතින්ම රැගෙන එන මේ සමේ සුන්දරත්වය සහ නීරෝගීබව ආරක්ෂා කරගත යුතු අතර සමේ ආරක්ෂාව පිළිබඳ ඔබ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි.

වෛද්‍ය විද්‍යාත්මකව අප සම හඳුනාගන්නා ආකාරයට වඩා මඳක් වෙනස් ආකාරයකටයි ආයුර්වේදයේ සම හඳුනා ගැනෙන්නේ. එනම් ආයුර්වේදයට අනුව වාත ප්‍රකෘති, පිත්ත ප්‍රකෘති සහ කඵ ප්‍රකෘති ලෙසින් මෙය කොටස් තුනකට වර්ග කෙරේ. ගහකොළ සහ ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන කරනු ලබන ආයුර්වේදීය සත්කාරවලදී සියයට සියයක් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට නම් මේ ආකාරයට හොඳින් සම පිළිබඳ ඔබ හඳුනාගෙන තිබීම ඉතා වැදගත් බව මතක තබාගන්න.

වියළි සම

අප අතර සිටින වැඩි පිරිසක් සැමවිටම මැසිවිලි නගන්නේ තම සම ඉතාම වියළි ස්වභාවයකින් යුතු බවකි. මෙයට එක් හේතුවක් වන්නේ වයසයි. එනම් වයඞ කල්‍යාණයයි. පැහැපත් ඡවි කල්‍යාණයක් උදෙසා වයඞ කල්‍යාණය සැමවිටම බලපානු ලබන අතර අප කාටත් වයසට සීමා මායිම් පැනවිය නොහැකියි. මැදිවිය පසුකර යන ඔබ අප කාහටත් වාත දෝෂයේ වැඩිවීම නිසා සම වියළීමට හැකි පහසු පරිසරයක් සිරුර තුළින්ම නිර්මාණය වේ.

වියළි සමට හේතු

එපමණක් නොව අප ගන්නා ආහාරපාන වර්ගවල යම් යම් බලපෑම් ද ඇවතුම් පැවතුම් ආදියේ ගැටලු නිසාද මේ තත්ත්වය උදාවිය හැකියි. විශේෂයෙන්ම වායු සමීකරණය කරන ලද පරිසරයන් තුළ සහ විදුලි පංකා අසල වැඩි කාලයක් ගතකරනා අයගේ සම වියළී තිබිය හැකියි.ඊට අමතරව ජලය අඩු ප්‍රමාණයක් පානය කරන පුද්ගලයන් සේම පෝෂණ ගුණයෙන් සපිරි එළවළු, පලතුරු, පලා ආදිය නිතර භාවිතයට නොගන්නා පෝෂණ දුබලතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ද සම වියළි ස්වභාවයෙන් යුක්ත වේ. එමෙන්ම නිරතුරුවම මේක් අප් යෙදීම සහ සම පිරිසුදු කිරීම සඳහා  Forming Cleanser  වර්ග නිතර භාවිතය නිසාත්, මානසික ආතතිය හෝ නිරතුරුවම පීඩනයන්ගෙන් පසුවන පුද්ගලයන්ගේ ද සම වියළීමට ලක්වේවි.

මෙවැනි හේතු කාරණා බොහොමයක් නිසා වියපත් වන්නට පෙර වුවද තරුණ වියෙහිදිම සමේ වාත දෝෂයෙහි ගැටලු මතු කෙරේ.

වියළි සම හඳුනාගැනීම

වියළි සමක් හඳුනාගන්නට ඉතා පහසුය. එනම් වාත දෝෂයේ සඳහන් වූ ගැටලුවලට නිතරම මුහුණ දෙන්නට සිදුවන්නේ නම් අනතුරුව ඔබට වියළි සමක් හිමිවන බව මතක තබාගන්න. එමෙන්ම වියළීමෙන් අනතුරුව සොඳුරු රූ සපුවට ගැටලු මතුකරන බොහෝ ලක්ෂණ සමෙහි ඇතිවීම ස්වභාවයයි.

සම වියළීමේ දී දැකිය හැකි පළමු ලක්ෂණය වන්නේ වෙනදා මෙන් සමෙහි දීප්තිමත්, දිදුලන ස්වභාවයක් නොමැති වීමයි. සම ඉතා මෘදුව ස්පර්ශ කළ ද දැනෙන්නේ රළු බවකි.

ඊට අමතරව ඔබ රූපලාවණ්‍යාගාරයක් වෙත පිවිස හෝ විශාලකර නරඹන උපකරණයක්   (Magnifing glass)   මාර්ගයෙන් ඔබේ සම පරීක්ෂා කළහොත් සමේ සියුම්ව ඇතිවූ රැළි ස්වභාවය හඳුනාගත හැකියි.

මෙවැනි කරුණු කාරණා මඟින් ඔබේ සමත් වියළි ස්වභාවයක් ගන්නා බව ඔබටම අවබෝධ වේ නම් නොපමාව පහත සඳහන් පුරුදු ඇතිකරගන්න.

පිරිසුදු ජලය වැඩි ප්‍රමාණයක් පානය කරන්න.

පෝෂණයෙන් සපිරුණු ආහාර දිනපතා සෑම ආහාර වේලකටම එකතු කරගන්න.

වායු සමනය කරනලද ස්ථානවල හෝ විදුලි පංකා අසල නිරතුරුවම ගැවසීම සීමා කරන්න.

මේක් - අප් භාවිතයට පෙර ටෝනර්කර මොයිස්චරයිසර් වර්ගයක් භාවිත කරන්න. මේක්-අප් භාවිතයෙන් පසු ඒවා ඉවත් කිරීමෙන් අනතුරුවද ටෝනර් සහ මොයිස්චරයිසර් භාවිත කරන්න.

කිරි සහ කෝමාරිකා වැනි ස්වභාවික ආලේපන හැකි සෑමවිටම සමෙහි ආලේප කරන්න.

පසුගිය සතියේ දී අප හඳුන්වා දුන් තෛල අභ්‍යංගය හෙවත් තෙල් සත්කාරය (Oil massage)   වියළි සමට හොඳම විසඳුමයි. එබැවින් තලතෙල්, ආමන්ඩ් තෙල් හෝ වෙනත් ගැළපෙන ආයුර්වේදීය තෙල් වර්ගයකින් නිසි පරිදි අභ්‍යංගයේ යෙදෙන්නත් අමතක කරන්න එපා.

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

1195 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න