තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 09, සඳුදා 12:05

පුංචි අතපසු වීමකින් ඇතිවන පසුතැවිල්ල...

Written by 
අගයන්න
(0 මනාප)
දිනක් මා මිතුරියක සමඟ බස් රියට ගොඩ වූයේ කාර්යාලයට පැමිණීමට ය. මිතුරිය ද කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන බව මම දැන සිටියෙමි.

 

ඒ දිනවල ඇය සිටියේ කුලුඳුල් දරු ප්‍රසූතිය ලබා ඒ ආස්වාදය ලබමිනි. ප්‍රසූත නිවාඩු අවසන්ව කුලුඳුලේ උපන් බිලිඳිය මවට භාරකොට ඇය කාර්යාලයට ගියේ රැකියාවෙහි නියුතු අනෙකුත් මවුවරු මෙන්ම දරාගත නොහැකි දාරක ස්නේහය තුරුලුකොට ගෙන වෙන කළ යුතු දෙයක් නොවන බැවිනි. ඇය දියණියගේ සුරතල් සිනහව, තතනමින් යම් යම් දේ මුමුනණ අයුරු ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරමින් මට ද නිතර පෙන්වූයේ ඇය ද ඒ දසුන් විඳගනිමිනි.

‘මම මේ ෆෝන් එක ගත්තේ බබාගේ ඇක්ෂන් පැහැදිලිව ගන්නමයි.

නූතන අංගෝපාංගයන් සහිත තරමක මිල අධික ජංගම දුරකථනයක් මිල දී ගනිමින් ඇය මා සමඟ පැවසූ අයුරුත් අවස්ථා කිහිපයක දී දියණියගේ දර්ශන පෙන්වමින් සතුටු වූ අයුරුත් මට මතකය.

දින කිහිපයකට පසු හමු වූ ඒ මිතුරිය සමඟ මා ආ ගිය තොරතුරු කතා කරමින් හිඳින විට එකවරම ඇය කී දෙයින් මට ද දුකක් දැනිණි.

‘අනේ බලන්නකෝ.. දවසක් මම බස් එකේදි බෑග් එක පිරිමි ළමයකුට දුන්නා. ඒ ළමය පි‍්‍රයමනාප කෙනෙක් වගේ පෙනුණේ.. ඒත් බැහැලා ගිහින් තිබුණේ මගේ ෆෝන් එකට විදලා.. මගේ බබාගේ පුංචි කාලේ එක ෆොටෝ එකක්වත් දැන් මගේ ළඟ නැහැ. ඔක්කොම ෆොටෝස් තිබුණේ ෆෝන් එකේනේ. ෆෝන් එක ගැන මට අමතක කරන්න පුළුවන්. ඒත් දූගේ මතක සටහන් ටික මතක් වෙනකොට දරා ගන්න බැහැ..’

උදේ හවස බස් රියේ.. දුම්රියේ කාර්යාලයට එන ඔබට මෙය ආගන්තුක සිදුවීමක් නම් නොවන බව මම දනිමි. බොහෝ දෙනකු මෙවැනි අකරතැබ්බයන්ට මුහුණ දී ඇති බවටත් සැකයක් නැත. දිනෙන් දින ම බස් රථවල දුම්රියේ මෙවැනි සොරකම් සිදු වීම වර්ධනය වනු මිස මර්දනය වීමක් නම් දක්නට නොමැති බැවින් මේ පිළිබඳ කාන්තාව දැනුවත්ව සිටීම කාලීන අවශ්‍යතාවක් වනු ඇත. මක් නිසාද කුකුළා හඬලන්නටත් පෙර නිවෙසේ දරුමල්ලන්ගේ සියලු මෙහෙවර නිමාකොට කාර්යාලයට ගොස් වෙහෙස මහන්සි වී නැවැතත් රාජකාරිය අරඹන ඇය ජීවත් වීම සඳහා ගෙනයනුයේ එසේමෙසේ සටනක් නොවන බැවිනි. ජීවන සටනට උර දෙන ඇයගේ පුංචි අතපසු වීමකින් ඇයට බොහෝ දේ අහිමි විය හැකිය.

ඒ නිසාම තමා සතු දේ රැක ගැනීම සඳහා මහමඟ දී විමසිල්ලෙන් සිටිය යුතුම ය. තමා සතු වටිනා කියන දේ ඇති හෑන්ඩ් බෑගය හැකි හැමවිට ම තමා සන්තකයේ ම තබා ගැනීමට ක්‍රියා කිරීම වටිනුයේ තමන්ට අමිල බොහෝ දේ අනුන්ට නොවටිනා බැවිනි.

මුදල් පසුපස ම හඹා යන සමාජයක මනුස්සකම අද වළපල්ලට ගොසිනි. තමාට තමන් මිස වෙන සරණක් නොමැති බව නිතර සිහියට ගන්න. උදේ කාර්යාලයට යන විටත් නිමා වී නිවෙසට එන විටත් ගත සිත කොතෙක් විඩාබර වුවත් නිරවුල් සිතින් සිටීමට අමතක නොකළ යුතුය. සමහරු තමන්ගේ ලැප්ටොප් බෑගය, අත් බෑගය දුම්රියේ ඉහළ රාක්කයේ තබා ඈතට වී පොතක් බලමින් සිටිනු පෙනේ. තවත් සමහරු පිරිස සමඟ අල්ලාප සල්ලාපයේ ය. නිදැල්ලේ හැසිරෙන හොරාට පාර සකසනුයේ අප ම නොවෙද? අසුන්ගෙන සිටින සමහරු මිත්‍රශීලිව බෑගය ගන්නට සූදානමින් සිටියි. සෙනඟ ගොන්නට සිර වී ගුළි වී පොඩි වී යන්නට සිදු වන උදවියට එය මහත් අස්වැසිල්ලක් බව නම් නොඅනුමානයි. එහෙත් තමන්ගේ බර සැහැල්ලු වූවා යැයි සිතා මනස වෙනතකට යොමු නොකර බෑගය ලබාගැනීමෙන් උපකාර කළ ඔහු හෝ ඇය ළඟට ම වී තමාගේ මලු පිළිබඳ විමසිල්ලෙන් සිටීමෙන් තමන්ට සිදුවිය හැකි අලාභයක් මඟ හරවාගත හැකි වෙයි. බස්රියේ.. දුම්රියේ.. මඟතොටේ හමුවන්නන් අසීමිතව විශ්වාස කිරීම නම් නුවණට හුරු නැත. අවිශ්වාස නොකළත් විශ්වාස නොකරන්න. මන්ද එක කුස උපන් ඇත්තන් පවා විශ්වාස කළ නොහැකි කාල වකවානුවක අනුන් කෙසේ නම් විශ්වාස කළ හැකි ද?

 

 විමසිල්ලෙන් තොර වන හැම මොහොතක් ම අපට අනතුරක් නැතහොත් පාඩුවක් විය හැකියි. තමාගේ ආරක්ෂාව මෙන්ම තමා සතු දෑ රැක ගැනීමත් තමා ම සතු වගකීමක් බව තරයේ සිතට ගැනීමෙන් අපට මහමඟ දී මුහුණ පාන්නට වන මෙවැනි අහිමිවීම් බොහෝදුරට වළකා ගත හැකි වනු ඇත.

830 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 12:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න