තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 09, සඳුදා 12:13

ජන්ම පත්‍රයේ ඉගෙනුමට හිමි තැන

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
ඕනෑම අයකුගේ ජන්ම පත්‍රයේ අධ්‍යාපනයට හිමිවන තැන කෙබඳු ද යන්න “ලස්සන ජීවිතයකට” තුළින් අද අප ඉගෙන ගනිමු.

 

 

කෙනකුගේ ජන්ම පත්‍රයේ පිහිටන ග්‍රහයන් අනුව ඔහුට හෝ ඇයට සහජයෙන්ම පවතින බුද්ධි ප්‍රභාවත්, අධ්‍යාපන ක්ෂේ්ත්‍රයන්හි ලබන ජයග්‍රහන හෝ පරාජයන් පිළිබඳත් තොරතුරු දැන ගැනීමේ හැකියාව පවති. ග්‍රහයන් වශයෙන් ගත්කළ බුධ ග්‍රහයාගේ දැනුම සහ බුද්ධියත් ගුරු ග්‍රහයාගේ ප්‍රඥාවත් නිවේදනය කරයි.

මේ අනුව ගත්කළ බුද්ධිය, දැනුම සහ අධ්‍යාපනය කෙරෙහි බුධ සහ ගුරු යන ග්‍රහයන් දෙදෙනාගේ සෘජු සම්බන්ධයක් පවතින බව පෙනේ.

කේන්දරයක පිහිටන භාවස්ථාන වශයෙන් ගත්කළ 2, 4, 5, 9 වැන්න අධ්‍යාපනය සහ බුද්ධිය පිළිබඳ තොරතුරු පවසන ස්ථාන ලෙස සැලකිය යුතුය.

ඕනෑම පුද්ගලයකුගේ 5 වැන්න 9 වැන්න යන ත්‍රිකෝණාස්ථාන දෙක බලවත්ව පවතී නම්, එම පුද්ගලයාගේ ප්‍රාථමික අධ්‍යාපනයත්, උසස් අධ්‍යාපනයත් යන දෙකම විශිෂ්ටත්වයට පත්වන බැව් කියයි.

විශේෂයෙන්ම ගුරු ග්‍රහයා 5 වැන්නේ හෝ 9 වැන්නේ පිහිටීම අධ්‍යාපනය කෙරෙහි අති විශිෂ්ට පිහිටීමකි. ඊටත් අමතරව රවි සහ බුධ යන ග්‍රහයන් දෙදෙනා සංයෝගව පිහිටීම අධ්‍යාපනය සහ විශේෂයෙන්ම විද්‍යා, ගණිත දැනුම කෙරෙහි ඉතා බලවත් ග්‍රහ පිහිටීමකි. එමෙන්ම රාහු, කුජ වැනි ග්‍රහයකු 5 වැන්නේ තැන්පත්ව සිටින්නේ නම් එය අධ්‍යාපනය කෙරෙහි අයහපත් පිහිටිමක් ලෙස සාම්ප්‍රදායික ජ්‍යෝතිෂයේ දී පවතින නමුත් සැමවිටම එය එසේ නොවන බව අවධාරණය කළ යුතුය. රාහු ග්‍රහයා 5 වැන්නේ තැන්පත්ව පිහිිටියේ නම් එම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්නේ යැයි මතයක් සමාජගතව පවතියි.

එහෙත් එය අර්ධ සත්‍යයකි.

කේන්දරයක 5 වැන්නේ රාහු ග්‍රහයා තැන්පත්ව සිටිනු දුටු මතින්ම එම කේන්දර හිමියාගේ අධ්‍යාපනය අසාර්ථක යැයි කිසිසේත් ම තීරණය කළ නොහැකිය.

මක්නිසාද යත් රාහු ග්‍රහයාගේ 5 වැන්නේ පිහිටීම භාව කේන්දරයේ එම ග්‍රහයා තැන්පත් ව සිටින නැකත සහ 5 වැන්න කෙරෙහි එල්ලවන ග්‍රහ දෘෂ්ඨි පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුව තිබේ. රාහු ග්‍රහයා 5 වැන්නේ තැන්පත්ව සිටිය දී උත්පත්තිය ලැබූ ඉහළම පෙළේ විද්වතුන් සහ වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ ආදී වෘත්තිකයන් කොතෙකුත් අප දැක තිබේ. ඒ අනුව පෙනී යන්නේ රාහු ග්‍රහයා 5 වැන්නේ සිටියත් ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි එයින් බාධාවක් සිදු වී නැති බවයි.

අධ්‍යාපනය කෙරෙහි බලපාන තවත් විශේෂ ග්‍රහයකු වන්නේ කේතු ග්‍රහයා ය. පුද්ගලයකුට මතක තබා ගැනීමේ ශක්තිය සහ ගැඹුරු අවබෝධය කේතු ග්‍රහයා විසින් ඇති කරනු ලැබේ. කේතු ග්‍රහයා 5 වැන්නේ තැන්පත් වීම ජීවිතයේ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පසුබෑමක් සිදුවිය හැකි නමුත් අධ්‍යාපනයට නම් හොඳ පිහිටීමකි. එමෙන්ම කිසියම් පුද්ගලයකුගේ කේන්දරයේ සෙනසුරු සහ ගුරු සංයෝග වී සිටීම, එකිනෙකා දැකීම රාශි හෝ නැකැත් වශයෙන් පරිවර්තනය පිහිටීම විශිෂ්ට ප්‍රඥා යෝගයකි. එවැනි පුද්ගලයන් තුළ ඕනෑම විෂයයක් කෙරෙහි ඉතා හොඳ අවබෝධයක් පවතී. රවි සහ ගුරු අතර සංයෝගය ද එබඳු ය. විශ්වීය ප්‍රඥාව රවීගෙන් ද රවීගේ ශක්තිය පරිවර්තනය කරන ග්‍රහයා වූ ගුරු ද එකිනෙකාට සංයෝග වීම බලවත් යෝගයකි. කිසියම් කෙනකු ගත කරන මහ දශා හා අතුරු දශා ද ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය කෙරෙහි සෘජු බලපෑමක් කරනු ලැබේ.

නිදසුනක් ලෙස අධ්‍යාපනය ලබන අවස්ථාවේ දී රාහු වැනි ග්‍රහයකුගේ මහ දශාවක් පැවතීම අවධානය කෙරෙහි යම් පීඩාකාරී තත්ත්වයක් ඇති කරවයි. එහෙත් නිසි පිළිවෙත් මඟින් එම බාධක දුරුකළ හැකිය. ඉගෙනුම ලබන වයසේ දී බුද, ගුරු, කේතු වැනි ග්‍රහයකුගේ මහ දශාවක් පැවැතීම ඉතා හිතකර තත්ත්වයකි.

පුද්ගලයකු තමාට ඔබින උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කුමක්දැයි හඳුනා ගැනීම ඔහුගේ කේන්දරය ඉතා ප්‍රබල සාධකයයි. ගණිත, විද්‍යා, වාණිජ, කලා හෝ වෘත්තීය පාඨමාලා යනාදිය කෙරෙහි යොමුවීමට පෙර තමාට පහසුවෙන් ගමන් කළ හැකි ක්ෂේත්‍රය හඳුනා ගැනීමටත් ඒවා ඉටු කිරීමටත් කෙනෙකුගේ ජන්ම කේන්දරය පරීක්ෂාව කදිම අත්වැලක් වේ.

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

කේ. සී. ජේ. රත්නායක

787 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 12:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න