තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 13, සඳුදා 15:23

දන්තාලේප භාවිතයේ දී ඔබේ තීරණය නිවැරැදි ද ?

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
ප්‍රචාරණයට හසුවී ටුත් පේස්ට් ගන්නවද? හරි දේ අරගෙන දත් ආරක්ෂා කරගන්නවද? අපි සෑම කෙනෙක්ම ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්නේ දත් ශක්තිමත් කරගන්න සහ දත් ආරක්ෂා කරගත යුතුයි කියලා හිතාගෙන.

 

ඔබ ඒ ආකාරයෙන් හොඳයි කියා මිල දී ගන්නා ටුත් පේස්ට් එකම ඔබට නරක ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා තිබෙනවා. නමුත් ඒ ගැන වැඩි දෙනෙක් දැනුවත් නොවීම නිසා එම ටුත් පේස්ට් එකම දිගටම පාවිච්චි කිරීමට පෙළඹෙනවා. එම නිසයි, මෙම දැනුවත් වීම ඔබට වඩාත් වැදගත් වන්නේ.

ටුත් පේස්ට් එකක් වෙළඳපොලේ තිබුණ පමණින්ම අප එය ගන්නට පෙළඹිය යුතුද?

හොඳ ටූත් පේස්ට් එකක් තෝරා ගන්නේ කොහොමද? හොඳ තත්ත්වයේ ටූත් පේස්ට් එකක් තෝරා නොගත්තොත් මොකද වෙන්නේ? මෙහිදී අප ප්‍රචාරණයට හසුවී කටයුතු කළ යුතුද?

අප පාවිච්චි කරනු ලබන්නේ තත්ත්වයෙන් උසස් ටූත්පේස්ට් එකක් නම් එයින් අපේ දත්වලට කිසිදු හානියක් සිදුවන්නට ඉඩක් නෑ. මුව තුළ ඇතිවන මැලියම් හොඳින් ඉවත්කර විෂබීජ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරලන්නට හැකියාව ඇති ටුත් පේස්ට් එකක් හොඳ ටුත් පේස්ට් එකක් හැටියට සලකන්න පුළුවන්. ඊට අමතරව එහි ප්ලෝරයිඩ් තිබිය යුතුයි. නැත්නම් දත් දිරායාම හා විදුරුමස් රෝග හා සටන් කළ හැකි ඒ සඳහා සුදුසු දන්තාලේපයක් ලෙස විද්‍යානුකූලව පර්යේෂණ මඟින් තහවුරු කරන ලද එකක් විය යුතුයි. එසේ නොමැති දන්තාලේප අප හොඳ තත්ත්යේ දන්තාලේපයක් වශයෙන් සලකන්නේ නෑ.

අප තෝරාගත් ටුත්පේස්ට් එක හොඳ තත්ත්වයේ එකක්ද? කොහොමද අප මෙය හඳුනාගන්නේ?

මුලින්ම අප එහි ඇසුරුම බැලුවහොත් එහි ප්ලෝරයිඩ් අඩංගු වී තිබෙනවාද නැද්ද යන බව. එමෙන්ම දබර ඇඟිල්ලට සහ මහපට ඇඟිල්ල අතරට ටූත් පේස්ට් ගෙන එය අල්ලා බැලූ විට එහි රළු ගතියක් නොමැතිවීම ඇඟිලි දෙක අතට ගෙන ටූත් පේස්ට් එක මදක් තුනීකරලා බලන්න. එහිදී එම රළු ගතියක් දැනෙනව නම් එය අපේ දතේ එනමලයට හානිකරයි. මෙය තිබිය යුත්තේ අතින් ඇල්ලූවිට ලිස්සා යන ආකාරයටයි.

අනෙක් කරුණ නම් එහි මින්ට් රසය හෝ මුවට ප්‍රියතාවයක් දැනෙ දත් මැදීමට කැමැත්තක් ඇතිවන ආකාරයේ රසයකින් යුක්තවීමත් වැදගත්. දත් මදින්නට පටන්ගත්විටම කට සෝදා දමන්නට හිතෙනවනම් එය හොඳ ටූත්පේස්ට් එකක් නොවෙයි.

සමහර ටූත් පේස්ට් ඉතාමත් රළුයි. එවන් ටුත් පේස්ට් වලින් දත් මැදීමෙන් දතේ එනමලය කැපී යන්න පුළුවන්. එය දිගින් දිගටම සිදුවුණොත් දත් සියල්ලටම ඉන් හානි විය හැකියි. ටූත් පේස්ට් එකේ රළු ගතිය ඕනවට වඩා වැඩි වුණොත් බ්‍රෂ් එකෙහි තද ගතිය වැඩි වුණොත් හානි සිදුවන්න පුළුවන්.

ප්‍රචාරණයට හසුවන්න එපා

විවිධ දන්තාලේප වර්ග ගැනීමට පොළඹවන ආකාරයේ දැන්වීම් බහුලව දක්නට ලැබෙන අවස්ථා බොහොමයි. දත් හිරිවැටෙනවද - එහෙමනම් මෙම දන්තාලේපය පාවිච්චි කරන්න” මෙවන් දැන්වීම් නිසා රෝගීන් විශාල වශයෙන් අමාරුවේ වැටී ඇති ආකාරය අප දැක තිබෙනවා. උදා: සීත කළ දෙයක් රස්නය ඇති දෙයක් කටට ගන්නා විට හිරිවැටීමක් සිදුවනවාය කියන්නේ අහිතකර දෙයක් නොවෙයි. එය අපේ ශරීරයෙන් නිකුත් කරන සංඥාවක්. එවන් සියුම් වේදනාවක් ඔබට දැනේනේ මුවතුළ කිසියම් තුවාලයක් හෝ ආසාදනයක් වැනි තත්ත්වයක් වන බව දැනුම් දෙන්නටයි. එවන් වෙලාවක ඔබ කළ යුත්තේ එම හිරිවැටීම වළක්වනවාය කියන ටූත් පේස්ට් එකක් අරන් දත් මදින එක නොවෙයි. එයින් වෙන්නේ තිබෙන තත්ත්වය තවදුරටත් වර්ධනය කරගැනීමක්.

මෙතනදී ඔබ කරන්නේ අනතුරු හඟවන සංඥාව වළක්වනවා වැනි දෙයක්. ඇතැම් ටූත් පේස්ට්වලින් කරන්නේ කෙලින්ම වේදනාව ගෙන දෙන සංග්‍රාම නැතිකර දැමීමයි. දතේ ඇති වී තිබෙන කුහරයක් නිසා ඉහත කී ආකාරයේ සංඥාවක් නිකුත් වන්න පුළුවන්. එහිදී හිරිවැටීම වලක්වන දන්තාලේප පාවිච්චි කරනවා. ඒ මඟින් වේදනාව හිරිවැටීම නැතිවුණත් එයට හේතු වූ දායකය ඉවත් වන්නේ නෑ. සිදුවන්නේ එය ඇතුළතින් තව තවත් වර්ධනය වීමයි.

අවසානයේ මෙම රෝගීන් දන්ත වෛද්‍යවරුන් කරා පැමිණෙන්නේ දත් ගණනාවක් නරක් වී ඇති පුද්ගලයෙකු ලෙසයි. එම නිසා අපි නිතරම කියන්නේ එවන් ටූත් පේස්ට් භාවිතය පෙළඹීම නිසා ඔබේ මුඛ සෞඛ්‍යයට හානිකර බලපෑම් ගෙනදිය හැකි නිසා ඉන් වැලකිය යුතු ලෙසයි.

මෙහිදී වැදගත්ම දේ ඔබේ දත් සම්බන්ධව කිසියම් ගැටලුවක් ඇතිවුවහොත් දන්ත වෛද්‍යවරයා මුණගැසී එයට අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකර්ම ලබා ගැනීමයි. එසේ නොමැතිව කිසිදු විමසුමකින් තොරව දන්තාලේප මිලදී ගැනීමට හෝ භාවිත කිරීමට යාමෙන් වැලකීම වැදගත්. එවන් දේ භාවිතකර මුඛ සෞඛ්‍යයට හානිකර ගන්නට එපා.

සමහරවිට ඔබ පාවිච්චි කරන දන්තාලේපය නිසා කට හමයනවා නම්, තුවාල වෙනවනම් නැවත නැවත එම දන්තාලේපය පාවිච්චි කිරීමට යාමෙන් වැළැකෙන්න.

 

 

 

 

උපදෙස් දන්ත ශල්‍ය වෛද්‍ය

විපුල සපරමාදු

කඳන

163 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 13, සඳුදා 15:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න