තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 13:39

ඔබ නිතරම පරාජය වන්නේ ඇයි?

Written by 
අගයන්න
(0 මනාප)
පසුගිය කලාපවලින් සාර්ථකත්ව මාවතේ ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කළා ඔබට මතක ඇති.

 

එහිදී සාර්ථකත්වයට පත්වීමට කැමැත්තක් දක්වන හැමෝම කවදා හෝ දවසක පරාජයට ද, පත්වී ඉන් අත්දැකීමක් ලබාගෙන තිබිය යුතු බව ලෝකයේ සාර්ථකත්වයට පත්වූවන්ගේ චරිතාපදාන ඇසුරින් අප ඔබට පෙන්වාදීමට යෙදුණා. සුප්‍රකට හොන්ඩා මෝටර් රථ සමාගමේ නිර්මාතෘවරයා වන සොයිචිරෝ හොන්ඩා සඳහන් කළ මේ අදහස ඔබට මතක ඇති. “සාර්ථකත්වය යනු 99% කම පරාජයේ අත්දැකීමයි.” ඉතිං මෙම සාර්ථකත්වයට යන ගමනේදී වරක්, දෙවරක්, සිය වරක් නොව දහස් වරක් පවා පරාජයට පත්විය හැකි බව අපට මෙයින් පැහැදිලි වේ.

ඊට කදිම නිදසුනක් ලෙස විදුලි බල්බය සොයාගත් තෝමස් අල්වා එඩිසන් නම් වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා පෙන්වාදිය හැකියි. මන්ද, විදුලි බල්බය නිපදවීමට උත්සාහ ගැනීමේදී ඔහුට 999 වතාවක්ම වැරදුණු බව එනම් අසමත් වූ බව ඔහුගේ චරිතාපදානය අධ්‍යයනයේ දී අපට දක්නට ලැබෙන බැවිනි.වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී අපට දක්නට ලැබෙන කරුණක් වන්නේ අතළොස්සක් පමණක් දෙනා සාර්ථකත්වයට පත්වීමේදී බහුතරයක් දෙනා නිතරම අසාර්ථකත්වයට එහෙමත් නැත්නම් පරාජයට පත්වන බවයි. එම පරාජයට පත්වීම අප කලින් සඳහන් කළ සාර්ථකත්ව මාවතේ ගමන් කිරීමේදී පරාජයට පත්වීමට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. මන්ද, සාර්ථකත්ව මාවතේ ගමන් කිරීමේදී අපට මුහුණදීමට සිදුවන පරාජයන් අප සිතන්නේ අභියෝයන් නැතිනම් වෙස්වලාගත් ආශීර්වාදයන් ලෙසයි. ඉතිං අද අපි කල්පනා කරා මෙසේ බහුතරයක් දෙනා නිතරම පරාජයට පත්වීමට හේතු සාධක වන කරුණු කාරණා කිහිපයක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට.

ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තුවීම

ඇත්තටම අද සමාජයේ බොහෝ දෙනා සාර්ථකත්වයට කෙටි මං සොයති. එනම් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වේ. නමුත්, සාර්ථක වීමට එසේ කෙටි මං හෝ කිසියම් වූ ආශ්චර්යයමත් ක්‍රියාදාමයක් නොමැත. එය අප සතු වූ කුසලතාවයන් හඳුනාගෙන ඒවා ඔප මට්ටම් කරගනිමින් අවස්ථාවන් හඳුනා ගනිමින් කැපවීමෙන් යුතුව කටයුතු කරමින් ඉලක්කගතව ක්‍රමානුකූලව පියවරෙන් පියවර යා යුතු ගමනකි. එබැවින් සාර්ථකත්වයට යන ගමනේදී ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම පරාජයට පත්වීමට හේතුවකි.

තමන් කෙරෙහි විශ්වාසයක් නොවීම

සාර්ථක වීමට අවශ්‍ය ඉතා ප්‍රබල ගුණාංගයක් වන්නේ තමන් කෙරහි විශ්වාස කිරීම හෙවත් ආත්ම විශ්වාසය ඇතිකර ගැනීම බව අපගේ පසුගිය කලාපයකින් ඔබව දැනුවත් කරා මතක ඇති. නමුත්, වර්තමාන සමාජයේ ජීවත් වන බහුතරයක් දෙනා තුළ දක්නට නැත්තේ ද මෙම ආත්ම විශ්වාසයයි. එනම් තමන් කෙරෙහි විශ්වාසයක් නොවීමයි.

අතීතය පිළිබඳ පසුතැවිලි වීම

මේකත් 99% ක්ම වාගේ කරන වැරැද්දක්. නිතරම තමාට වැරදුණු දේවල්, තමන් මුහුණ දුන් දුක්බර සිද්ධීන් ආදිය ගැන සිතමින් ඒ පිළිබඳ පසුතැවිලි වෙමින් කාලය ගත කරනවා. මෙය කිසිසේත්ම පලක් නැති දෙයකි. මන්ද එසේ පසුතැවිලි වුණා කියලා අතීතයේ සිදුවූ දේවල් වෙනස් කිරීමට කිසිවකුට නොහැකිි. එබැවින් අතීතය පිළිබඳ පසුතැවිලි වීමෙන් වළකින්න. එය පරාජයට හේතුවකි.

අඩුපාඩු සකසා ගැනීමට ඇති නොහැකියාව

යම්කිසි කාර්යයක් සිදු කිරීමට යාමේදී අප අතින් වැරැදි සිදුවීම, අඩුපාඩු සිදුවීම සාමාන්‍ය දෙයක්. මන්ද, අප සැවොම සර්ව සම්පූර්ණ පුද්ගලයන් නොවේ. වැරැදීමෙන් තමා ඉගෙනගත යුත්තේ යම්කිසි වැරැද්දක් හෝ අඩුපාඩුවක් වරක්, දෙවරක් සිදු වූ විට එය නැවත සිදුවීමට නොදී සකසා ගැනීමට උත්සාහ කිරීමයි. නමුත් බොහොමයක් දෙනා එසේ තමන්ගේ අඩුපාඩු සකසා ගැනීමට උනන්දු වන බවක් දක්නට නොලැබේ. එබැවින් මෙය ද පරාජයට කරුණකි.

අනාගතය පිළිබඳ ඇති බිය

අප අතර සිටින බොහෝ දෙනෙක් නිතරම අතීතය ගැන සිතමින් ජීවත්වනවා මිසක් වර්තමානය තුළ ජීවත් වෙමින් එය මනාව සකස් කරගනිමින් අනාගතයට මුහුණ දීමට සූදානම් වන්නේ නැත. එනම් මේ මොහොතේ ජීවත් නොවේ. එබැවින් නිතරම අනාගතයේත් තමාට අතීතයේ මුහුණ දීමට වූවාක් මෙන් දුක්බර සිද්ධීන්වලට මුහුණදීමට සිදුවේ යැයි බියෙන් පසුවේ. එනම් අනාගතයට මුහුණදීමට බිය වේ.

වෙනස්වීමට බිය වීම

පරාජයට පත්වීමේ හේතු ගැන කතා කිරීමේදී ඉතා වැදගත් කරුණක් ලෙස මෙම වෙනස්වීමට ඇති බිය දැක්විය හැකියි. බොහෝ අය අලුතෙන් දෙයක් කිරීමට තබා එසේ කිරීමට සිතීමටවත් බිය වේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් කෙනෙක් සිදු කළ දෙයක් ඔහු හෝ ඇය සිදු කළ ආකාරයටම සිදු කිරීමටයි. එනම් ඔවුන් අවදානමක් ගැනීමට හෙවත් වෙනස් වීමට බිය වේ. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ පසුගිය කලාපයකින් අප සාකච්ඡා කළ පරිදි සැමදා ආරක්ෂිත කලාපයේ ජීවත් වීමටයි.

තම ශක්තීන් ගැන විශ්වාස නොකිරීම

මිනිසා යනු ඉතා ප්‍රබල විභව ශක්තියක් අත මිට මොළවා ගෙන මෙලොව එළිය දකින සත්ත්වයකි. එනම් ශක්තින් ගොඩක එකතුවකි. නමුත්, අවාසනාවක මහත වන්නේ එතරම් විභව ශක්තියකින් යුතුව මෙලොව එළියදැක සිටින බහුතරයක් දෙනා තමා තුළ සැඟවී තිබෙන මෙම ශක්තීන් මොනවාදැයි හඳුනා ගන්නේවත් තමන් හට එලෙස ශක්තීන් සමුදායක් තිබෙන බව විශ්වාස කරන්නේවත් නැත.අප යම්කිසි ආයතනයක් හෝ ව්‍යාපාරයක් සැලකිල්ලට ගත්ත ද එම ආයතනය සතු ශක්තීන් හඳුනාගැනීම සඳහා සාමාන්‍යයෙන් ශදුඅත විශ්ලේෂණයක් (ඉඑර්‍ණඊ ඒදචතරඵඪඵ) සිදු කරනු ලැබේ. මෙම විශ්ලේණය මඟින් සිදු කරනු ලබන්නේ ආයතනය සතු ශක්තීන් හා දුර්වලතා මෙන්ම ආයතනයට පිටතින් පැමිණෙන අවස්ථාවන් හා තර්ජන හඳුනා ගැනීමයි. මේ ආකාරයෙන්ම අප ද අප සතු ශක්තීන් හඳුනාගත යුතුය. එසේම එම ශක්තීන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ යුතුයි.

තම දුර්වලතා ගැන පමණක් සිතීම

අප සියල්ලෝම සර්ව සම්පූර්ණ නොවේ. අප සැමටම කිසියම් හෝ දුර්වලතාවයක් හෝ දුර්වලතාවයන් කිහිපයක් පවතී. එය මෙම ලිපිය ලියන මටත්, කියවන ඔබටත් යන අප සැමටම පොදු වූ කරුණකි. නමුත්, මෙම දුර්වලතාවයන් අභිබවා යන ශක්තීන් සහ කුසලතාවයන්වලින් අප පොහොසත්ය. ඉතිං අප අප සතු දුර්වලතාවයන් පිළිබඳ පමණක් සිත සිතා සිටීමෙන් සිදු වන්නේ පරාජයට යන මාවතේ දොරගුළු විවර කරගැනීම මිස අන් කිසිවක් නොවේ.අද අපි සාකච්ඡාවට බඳුන් කළේ බොහොමයක් දෙනා නිතරම පරාජය වීමට බලපාන්නා වූ කරුණු 08 ක් පිළිබඳයි. තවත් එවැනිම වූ කරුණු 08 ක් සමඟින් මීළඟ කලාපයෙන් හමුවෙමු. එතෙක් ඔබ විසින් කළ යුතු දෙයක් ඇත. එනම් ඔබ තුළත් ඉහත සඳහන් කළ ගුණාංග පවතී දැයි නිරීක්ෂණය කර බැලීමයි. එසේ තිබේ නම් ඒවා හැකිතරම් අවම කරගැනීමට උත්සාහ කිරීමෙන් සාර්ථකත්ව මාවතේ දොරගුළු විවර කරගැනීම ඔබට අපහසු කාර්යයක් නොවනු ඇත.

ඔබට ජය නියතයි.

 

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

200 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 14, අඟහරුවාදා 13:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න