තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 10:14

අමතර ආදායමක් හිතට සතුටක්

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
රෝස වර්ග රැසයි හඳුනා ගත්තොත් හොඳයි    රෝස මලකට අකැමැති කවුරුන්ද?

 

රොසියේසීස් කුලයට අයත් වන රෝස මල් විවිධ වර්ණයෙන්, විවිධ සුවඳින්, විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය.

එහි සුන්දරත්වයට අභියෝග කිරීමට සමත් වෙනත් කිසිදු මලක් නැති තරම්ය.

 

ලොවක් වසඟයට පත් කළ මේ රෝසමල්වල අසම සම ගුණාංගයන් නිසා සුවද විලවුන්, විවිධ ආලේපන සහ සබන් වර්ග වැනි නිෂ්පාදනය වී ඇත්තේ රෝස මල් පෙති සාරයෙනි. ඒ වගේම ආදරයේ සංකේතයක් ලෙස රතු රෝස මලත්, මිත්‍රත්වයේ සංකේතයක් ලෙස කහ රෝස මලත් විශේෂයි. විශේෂ අවස්ථාවන් සඳහා අලංකරණය කිරීමට රෝස මල් යොදා ගැනීමටත් බොහෝ අය ප්‍රියකරන්නේ එයින් ඇතිවන චමත්කාරය නිසාමයි.

ඔබටත් ගෙවත්තෙහි පුංචි රෝස වගාවක් කරන්නට හැකිනම් ගෙවත්තට ඇති කරන්නේ පුදුමාකාර සුන්දරත්වයකි. ඒ වගේම රෝස මලින් හමනා සුඟන්දයෙන් අවට පරිසරය රෝස සුවඳින් පුරවාවි.

එහෙත් රෝස වගාවක් ආරම්භ කිරීමට පෙර කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. එහිදී රෝස වර්ගයෙන් වර්ගයට වගා කිරීමට සුදුසු දේශගුණය සහ පස වෙනස් වෙයි. එම නිසා පළමුව එක් එක් රෝස මල් වර්ගයන් ගැන අවබෝධයක් ලබා ගැනීමයි සුදුසු වන්නේ.

දැනට අප අතර පවතින රෝස වර්ග ප්‍රබේද පහකි.

හයිබ්‍රිට් ටී රෝස (Hybird Tea Roses)

ෆ්ලෝරිබණ්ඩා රෝස (Floribunda Roses)

කුරු රෝස Miniature Roses)

වැල් රෝස (Climbers and Rombiers)

පඳුරු රෝස (Shurd Roses)
 

මේ එක් එක් රෝස ප්‍රබේදයන්ට අනුව ද රෝස මල් වර්ග රාශියක් පවතී.

හයිබ්‍රිට් ටී රෝස

මේවා ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය රෝස වර්ගයක් ලෙස හැඳින්වේ. පෙති රාශියක් ඇති මල් ද, නොපිපෙන කේතු ආකාරයට පිපෙන මල් ද පවතී. ඊට අමතරව තනි මල් හා මල් කීපයකින් සැදුම්ලත් මල් ද දැකිය හැකියි.

හයිබ්‍රිට් ටී රෝස ප්‍රබේදයට අනුව ඇලෙක්ස්, අලෆ - ෆයින් සන්සෙට්, චිකාගෝ ෆිෂ්, ගෝල්ඩ් ක්‍රවුන්, පීස්, පින්ක් ෆොචරිට්, සිල්ව ජුබිලි යෙලෝ පේස්ඩ්, හෙලන් ට්‍රොබෙල්, පිකඩලී, බ්ලූ මූන්, සර්ටන් හොලිඩේ සහ නේෂන්ට්‍රස්ට් යනුවෙන් විවිධ රෝස වර්ග රාශියකි. මේ වර්ග වගා කිරීම සඳහා නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයේ දේශගුණය ඉතා යෝග්‍යය වේ.

 

ෆ්ලොරිබන්ඩා

මේ වර්ගයේ රෝස මල් තරමක් කුඩාය. සුවඳක් නොමැත. එහෙත් මෙහි ඇති විශේෂත්වය නම් වැඩි කාලයක් පර නොවී පැවතීමය. ඒ සමඟ මල් විශාල සංඛ්‍යාවක් එකවර පිපේ. මේ වර්ගයන් ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණයන්ට ඔරොත්තු දෙයි. එහි වර්ග කිහිපයකි. එනම් මයි ගර්ල්, චැනලී, ක්වීන් එළිසබෙත්, හනිමුන්, ඩියරස්ට්, ටිකී, සී පර්ලි, බියුලි ඇබේ සහ ෆර්පෙක්ට් යන වර්ගයි.

 කුරු රෝස

ශ්‍රී ලංකාවේ දී පඳුරු වශයෙන් දැකිය හැකියි. උස අඟල් 5 - 10 අතර වේ. නිරන්තරයෙන් රෝගයන්ට ගොදුරුවීම නිසා වගා කිරීම අපහසුය. තෙත පස හා ශීත දේශගුණය තුළ තරමක් දුරට හෝ වගා කිරීමට හැකියි.

 වැල් රෝස

මෙය මූලික වශයෙන් වර්ග දෙකකි. එනම්, උසට වැඩෙන වැල් රෝස හා උසට නොවැඩෙන වැල් රෝස යනුවෙන් හදුන්වයි. එක් වර්ගයක් දිගුව වැඩේ. ඒ සමඟ වැලක ස්වරූපයක් ගනී. දෙවැනි වර්ගය පහළට කඩා වැටේ. මේ වර්ගය ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නැත. සාමාන්‍ය ලෙස ගෙවතුවල වගා කෙරේ. වැල් රෝස වගා කිරීමේදී විශාල ඉඩක් අවශ්‍ය වේ. ආරුක්කු මත හා පියසි මත සර්ථක ලෙස වගා කිරීමට හැකියි.

උසට වැඩෙන වැල් රෝසවලට අයිස්බර්ග්, ස්කූල් ගර්ල්, කැසිනෝ, ගෝල්ඩන් ෂවර් සහ වින්ක් පර්පැච් යන වර්ග අයත් වේ. උසට නොවැඩෙන වැල් රෝස සඳහා ඩොරිති, පර්තින් සහ ක්‍රීම්සන් ෂවර් යන රෝස මල් වර්ග අයත් වේ.

 පඳුරු රෝස

මෙය ශ්‍රී ලංකාවට ආවේණික රෝස මල් වර්ගයකි. එතරම් ජනප්‍රිය නොවූවකි. වර්ෂයකට එක්වරක් පමණක් මල් පිපේ. මෙම වර්ගය ‘මූන්ලයිට් ෆවුන්ටන්’ ලෙසට හැඳින්වේ.

රෝස වගා කිරීමේ දී මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුයි. එසේ නොදැන වගා කිරීමට යාම මඟින් වගාව අසාර්ථක වේ. රෝස ගස්වලට වැලඳෙන රෝග, පොහොර යෙදීම, පස සකස් කිරීම, කප්පාදු කිරීම පිළිවෙලට මනා අවබෝධයකින් යුතුව කළ යුතුයි.

 රෝස වගාවේදී පස සකසා ගැනීම, පැළ ලබාගැනීම, පොහොර යෙදීම සහ රෝග හා පළිබෝධ පිළිබඳව ලබන සතියේදී බලාපොරොත්තු වන්න. 

 උපදෙස්

රසික කුමාරසිරි

මූලස්ථාන කෘෂිකර්ම උපදේශක

ගොවිජන සේවා

මධ්‍යස්ථානය

මාලඹේ

298 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 10:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න