තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 10:22

ලොකුවට සිතන්න පුරුදු වුණොත් ඔබ දිනුම්

Written by 
අගයන්න
(0 මනාප)
සාර්ථක වෙන්න අවශ්‍ය නම් අප පුරුදු පුහුණු කළ යුතු ගුණාංග 10 ක් වෙත පසුගිය සතියේ ඔබගේ අවධානය යොමු කළා. අද අප ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ සාර්ථක වෙන්න අවශ්‍ය නම් අප සියලු දෙනාම අනිවාර්යයෙන්ම අනුගමනය කළයුතු ඉතා වැදගත් දෙයකි. ඒ තමා ලොකුවට හිතන්න පුරුදු වෙන එක.

 

ඇත්තටම මොකක්ද මේ ලොකුවට සිතනවා කියලා කියන්නේ. අමෙරිකන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු වන T. Harv Eker යනු තරුණ කාලයේදීම ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිස සාර්ථකත්වයට හා අසාර්ථකත්වයට යන දෙපැත්ත පිළිබඳ ම ප්‍රායෝගික අත්දැකීම් ලැබූවෙකි. ඔහු විසින් රචිත Secrets of the Millionaire Mind කෘතියෙහි ඔහු මෙම ලොකුවට සිතීම පිළිබඳ මෙවැනි අදහසක් පළ කරයි. ඒ තමා ‘ධනවත් පුද්ගලයෝ ලොකුවට සිතති.

දුප්පත් මිනිස්සු කුඩාවට සිතති’ යන්නයි.

ඇත්තටම සමාජයේ ජීවත්වන මිනිසුන් දෙස අවධානයෙන් බලා සිටින විට අපට දක්නට ලැබෙන දෙයක් තමා හැමදාම ධනවතුන් තව තවත් ධනවත් වන බවත්, දුප්පතුන් තව තවත් දුප්පත් වන බවත්. මෙයට හේතුව කුමක්ද කියලා ඔබ නිකමටවත් සොයා බැලුවාද? මෙසේ ධනවතුන් තව තවත් ධනවත් වීමට එකම හේතුව අද අප සාකච්ඡා කරන ලොකුවට සිතීමේ ක්‍රියාවලියයි.

අපි නිකමට සිතමු ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට උපතින්ම දක්ෂයෙක් කියලා. ඉතිං ඔබට අවශ්‍ය වන්නේ තම ප්‍රදේශයේ පවතින කුඩා කණ්ඩායමකට ක්‍රීඩා කිරීමටද? නැතිනම් කවදා හෝ දවසක ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමටද? එය තීරණය කිරීමේ වගකීම ඔබ සතුය.

ඔබ කුඩා කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට සිතුවොත් ඔබට හැමදාම එම කණ්ඩායමටම ක්‍රීඩා කරමින් සිටීමට හැකියි. නමුත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවශ්‍යය යැයි සිතුවොත් ඔබට කවදා හෝ දවසක එම භාග්‍යය උදාවනු නිසැකය. ඇත්තටම මෙයට මූලිකවම බලපාන්නේ සිතයි. එනම් ලොකුවට සිතීමයි. නමුත්, බොහෝ දෙනා මින් තෝරා ගන්නේ කුඩා කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ විකල්පයයි.

ඔවුන් එසේ කරන්නේ ඔවුන් තුළ පවත්නා තමා පරාජය වේ යැයි පවතින බිය නිසයි.

තවද ඔවුන් තමන්ගේ වටිනාකම හරිහැටි නොදනී. ඔවුන් කුඩාවට සිතන නිසා ඔවුන්ට කුඩා කණ්ඩායමක් ගැළපේ. ඔවුන්ට ද අන් අය අපේක්ෂා කරන මට්ටමේ කාර්යයක් කළ හැකි වුවද ඔවුන් ඒ බව නොදැනීම කණගාටුවට කරුණකි. ඒ නිසා ඔවුන්ට හිමි තැන නොලැබී යයි. ඊට වරදකරුවෝ වන්නේ ද ඔවුන්මය.

 

 

ජනතාවගේ කතාව

මේ සඳහා කදිම ආදර්ශයක් පල්ලියේ ගීතිකා ගායනා කිරීමෙන් ලොව ප්‍රකට වූ ජානාගේ කතාවෙන් ගතහැකියි. ඇය නමින් ජානා ස්ටෑන්ෆීල්ඩ් ය.

ඇය අද වන විට ලෝක ප්‍රසිද්ධ ගායිකාවකි. ගීත රචිකාවකි. ඇයට මේ තත්ත්වයට පත්වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ලොකුවට සිතීමයි. ජානා කුඩා කාලයේ ඇගේ සිහිනය වුණේ කවදාහරි දවසක ගායිකාවක් වීමයි.

ඇයට ඒ සඳහා උපතින්ම ගෙනා ඉතා හොඳ හැකියාවක් ද තිබුණා. නමුත් කවදාවත් ඇයට ඒ සඳහා අවස්ථාවක් උදාවුණේ නෑ. එසේ වුවත්, ඇගේ ගායිකාවක් වීමේ සිහිනය නම් වෙනස්වුණේ නෑ. වයසෙන් වැඩෙත්ම ඇය තීරණය කළා සංගීත ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගැනීමට.

මොකද, ඇය සිතුවා එසේ වුවහොත් කවදාහරි දවසක තම ගායිකාවක් වීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා.

ඒ අනුව ඇය සංගීත ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගන්නවා. ඒ කාර්මික ශිල්පිනියක් විදියට.

ඇය කාර්මික ශිල්පිනයක් ලෙස සංගීත වැඩ කටයුතු සදහා දායකත්වය ලබා දෙන්නේ කවදා හෝ තම ගායිකාවක් වීමේ සිහිනය සැබෑවේයැයි බලාපොරොත්තුවෙන්. නමුත් ඒ සඳහා ඇයට කිසිම අවස්ථාවක් උදාවෙන්නේ නෑ.

මේ නිසා ඇය බෙහෙවින් කලකිරීමට පත්වෙනවා. මෙම කලකිරීම නිසා ඇයට තමන්ගේ රාජකාරි කටයුතු පවා නිසියාකාරව කරගැනීමට නොහැකි වෙනවා. මේ හේතුවෙන් ඇයට තම රැකියාවත් අහිමිවෙනවා.

වාසනාව උදාවෙනවා

නැවත ගෙදර එන ඇය ජීවත්වීම සඳහා පුංචි පුංචි රැකියාවල් කිහිපයක්ම කරනවා. එහෙත් ඇගේ සිහිනය නම් කිසිසේත්ම අත්හරින්නේ නෑ.

මේ සමයේ මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගිටාරයක් ද අතැතිව යන ඇය තමන්ගේ ගීත අසා සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත්, කිසි කෙනෙක් ඇය වෙත අවධානය යොමු කරන්නේ නෑ.

ඔවුන් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. නමුත්, ඇය නොවේ අධෛර්යයට පත්වෙන්නේ. ඇය මේ සඳහා නව උපක්‍රමයක් භාවිත කරනවා. ප්‍රදේශයේ ඇති සියලුම පල්ලිවලට ලිපියක් යවන ඇය එයින් ඉල්ලා සිටින්නේ තමනට එම පල්ලිවල ගීතිකා ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත්, ඒ සඳහා තමා කිසිදු මුදලක් අය නොකරන බවත්ය.

බොහොමයක් පල්ලිවලින් මේ සඳහා යහපත් ප්‍රතිචාර නොලැබුණත්, එක් පල්ලියකින් ගීතිකා 02 ක් ගායනා කිරීම සඳහා ඇයට ආරාධනා ලැබෙනවා.

ඉන් උද්දාමයට පත්වන ජානා ගීතිකා 02 තමන්ට හැකි උපරිම අයුරින් ගායනා කරනවා. ගීතිකා ගයා අවසානයේ එක් විශේෂිත දෙයක් සිදුවෙනවා.

එදින පල්ලියට පැමිණ සිටි සියල්ලෝම ඇයව වටකරගෙන “ඔබේ ගීත ඇල්බමය කුමක්ද? එසේ ගීත ඇල්බමයක් කරන්න ඔබේ අදහසක් නැද්ද?” ආදී ලෙස ප්‍රශ්න කරනවා. ඉන්පසු ප්‍රදේශයේ පවතින සෑම පල්ලියකින්ම පාහේ ගීතිකා ගැයීම සඳහා ඇයට ආරාධනා ලැබෙනවා.

මින් ජානා කෙතරම් ප්‍රසිද්ධියට පත්වෙනවා ද කියනවා නම් පල්ලිවල ගීතිකා ගායනා කිරීමට ඇය නැතිවම බැරි කෙනෙක් වෙනවා.

සෞභාග්‍ය හා බාහුල්‍යය

ඔබත් දියුණුවීමට කැමැති නම් මුලින්ම කළයුතු කාර්යය වන්නේ සෞභාග්‍යය හා බාහුල්‍යය ගැන සිතීමයි. එනම් ලොකුවට සිතීමයි. අප නිතරම අභාග්‍ය හා දිළිඳුකම ගැන සිතන විට එය යටි සිතේ පැල පදියම් වේ.

අපගේ යටි සිත වැඩ කරන්නේ හරියට වහලෙක් එහෙම නැතිනම් මෙහෙකරුවෙක් වගේ. උඩු සිත ස්වාමියා වගේ. මෙම ස්වාමියා සිතන දෙය මෙහෙකරුවා සිදු කරන්නේ කිසිදු තර්ක විතර්කයකින් තොරවය.

ඉතිං උඩු සිත නිතරම සෞභාග්‍යය හා බාහුල්‍යය ගැන සිතුවොත් එය ඉටු කරදීමට යටි සිත සැදී පැහැදී සිටී. ඒ වගේම උඩු සිත නිතරම පරාජය හා දිළිඳුකම ගැන සිතුවොත් එම සිතුවිල්ල ද සාර්ථක කරදීමට යටි සිත ක්‍රියා කරන්නේ කිසිදු වග විභාගයකින් තොරවයි.

එබැවින් සාර්ථකත්වය කරා යන ඔබ අද මේ මොහොතේ සිටම සෞභාග්‍යයට නැතිනම් සාර්ථකත්වයට පත්වූවකු ලෙස සිතන්න. එසේ හැසිරෙන්න. එවිට ඔබ නිසැකවම සාර්ථකත්වයට පත්වේ. එබැවින් අප මනසින් පොහොසත් වෙමු. අපි පොහොසත් වී සිටින්නේ යැයි මනසින් විශ්වාස කරමු. ඒ සඳහා ලොකුවට සිතමු. ඔබට ජය නියතයි.

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

357 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 10:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න