තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 12:44

සත්කාරයට පෙර සමේ වර්ගය හඳුනාගන්න විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
සොඳුරු රුවක් හිමිකර ගන්නට අප කවුරුත් කැමැත්තෙමු. මේ කැමැත්ත කාන්තා පාර්ශවය තුළ ඉතා ඉහළින් දකින්නට ලැබෙන අතර සිය සුන්දරත්වය වැඩි දියුණු කරගැනීම උදෙසා රූපලාවණ්‍ය සත්කාර ආදියෙහි නියැළෙන්නට ද ඇය වැඩි උනන්දුවක් දක්වන්නීය.

 

මෙහිදී ආයුර්වේද හෝ ස්වාභාවික ශාකසාරමය ප්‍රතිකාර කෙරෙහි වර්තමාන කාන්තාව වැඩි නැඹුරුවක් දක්වන අතර ගැටලුව බවට පත්වී ඇත්තේ නිවැරැදි ස්වාභාවික සත්කාර තෝරා ගැනීමයි.

ඇතැම් අවස්ථාවන්හි දී කොහොඹ, සුදුහඳුන් වැනි දෑ සමේ ආලේප කරනු ලැබුව ද ඒවායින් නිසි ප්‍රතිඵල ලබාගැනීම අපහසු වී ඇත. මන්ද ඒවා භාවිත කිරීමේ නිවැරැදි ක්‍රමවේදය පිළිබඳ හෝ සමට ගැළපෙන සත්කාර නිසිලෙස හඳුනා නොගැනීම ඊට හේතුවයි.

 

සම

සාමාන්‍යයෙන් සම වාත, පිත්ත, කඵ වශයෙන් වර්ගීකරණයකට ලක් කෙරේ. ශ්‍රී ලංකාව සමකාසන්න හොඳින් හිරුඑළිය පතිතවන රටක් නිසා අපේ රටේ වැඩි පිරිසකගේ සම ‘පිත්ත’ කාණ්ඩයට අදාළවන බව ඔබ මතක තබාගන්න.

පිත්ත ප්‍රකෘති සම

කුරුලෑ සහිත, තෙල් අධික වැනි ගැටලු වැඩි වශයෙන් පවතින්නේ පිත්ත ප්‍රකෘති සමෙහිය. මෙවැනි පිත්ත ප්‍රකෘති සමක් ඔබට හිමි නම්,

සම පැහැයෙන් තරමක් තද පැහැතිය.

තෙල් සහිත බව නිසාම හටගත් දීප්තියකින් යුතු වේ.

මධ්‍යම පිරිපුන් බවින් යුත් මුහුණක් හිමිය.

සාමාන්‍ය මධ්‍යම ඝනකමක් සහිත සමක් හිමි වේ.

උණුසුම් සමකි. උෂ්ණාධිකයි.

බාහිරව භාවිත කරන ආලේපන සඳහා ඉක්මනින් අසාත්මිකතා පෙන්වයි.

මෙම ලක්ෂණ සම හොඳින් නිරීක්ෂණය කිරීමෙන්, ස්පර්ශ කිරීමෙන් හඳුනාගත හැකිවේ.

ලංකාව ඇතුළු ආසියාතික රටවල් සමකාසන්න නොඑසේ නම් උෂ්ණ රටවල් නිසාම ඒවායේ වැසියන් ද වැඩි වශයෙන් පිත්ත ප්‍රකෘතිකයන් ලෙසින් දැකිය හැකියි.

එහිදී ඔවුන්ගේ සම පමණක් නොව ගතිගුණ, සිරුරේ හැඩය පවා පිත්ත ප්‍රකෘති ලක්ෂණ පෙන්වයි.

පිත්ත විකෘති සම

ඉහත සඳහන් පිත්ත ප්‍රකෘති එහෙමත් නැතිනම් නීරෝගී සමකට වඩා ගැටලු සහිත සමක් හිමි පුද්ගලයන් අද සමාජයේ බහුලව දක්නට ලැබේ.

මෙම ගැටලු සහිත සම විකෘති සමක් ලෙස හඳුනාගැනේ. මෙම පිත්ත විකෘති අවස්ථාවේ දී සමෙහි දීප්තිය මනාව රැකදෙන මට්ටම අභිබවා අධික තෙල් සහිත බවක් මතුවීම ආරම්භ වේ.

අනතුරුව ක්‍රම ක්‍රමයෙන් සම මතුපිට කුරුලෑ මතුවන අතර එහි අවසානයේ අඳුරු කුරුලෑ ලප සම මත ඉතිරි වේවි. ඔබගේ සම මෙහි සඳහන් පිත්ත කාණ්ඩයට අයිතිවීමට හෝ නොවීමට පුළුවන. ඇතැම්විට පිත්ත ප්‍රකෘති අවස්ථාවේ, එනම් මේ වනවිටත් ඔබට නීරෝගි සමක් හිමිව තිබීමට ඉඩ ඇත. එහෙමත් නැතිනම් පිත්ත විකෘති තත්ත්වයෙන්, එනම් පීඩාකාරි ගැටලු සහිත සමක් ඔබට තිබෙනු ඇත.

මේ කුමන තත්ත්වයේ සමක් තිබුණ ද එහි ගැටලු ස්වභාවය ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර ලබගත යුතු අතර නීරෝගී සමක් නම් එම නීරෝගීබව ඉදිරියටත් රැකබලා ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්.

 

පිත්ත ප්‍රකෘති සම රැකගන්නට

 

ඔබේ මුහුණ නිතර පිරිසුදු සිසිල් ජලයෙන් සෝදන්න. සතියකට වරක්වත් ස්ක්‍රබ් එකක් කරන්න. ඒ සඳහා, කොකුම් පොතු, වැල්මදට, කොත්තමල්ලි සම ප්‍රමාණයෙන් ගෙන බඳුනකට දමා ඉදුණු වැලි අනෝදා හෝ ගස්ලබු යුෂයෙන් මිශ්‍රකරගන්න.

පිරිසුදු කරගත් ඔබේ මුහුණෙහි, දෑත, දෙපා, ගෙල ආදියෙහි මෙම ස්ක්‍රබ් එක තවරා විනාඩි 10ක් පමණ තබා මෘදුව පිරිමදිමින් ඉවත්කර පසුව පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

මින්ට් හෝ පෙපර්මින්ට් ශාක පත්‍ර බ්ලෙන්ඩර්කර එහෙමත් නැතිනම් එම ශාකපත්‍ර අඹරා යුෂ ලබාගන්න. අනතුරුව එම යුෂ දමා අයිස් කැට සාදා තබා එමඟින් මුහුණ ටෝනර් කරගන්න.

ඔබ නිවෙසින් පිටතට යාමට මෙම ටෝනර් එක භාවිත කිරීම මඟින් හිරු එළියට සම නිරාවරණය වීමේ දී සිදුවන හානිය වළක්වා ගතහැකියි.

 

පිත්ත විකෘති සම යටතේ කුරුලෑ සහිත සම පිළිබඳ අපි ලබන සතියේ දැනගනිමු.

 

 

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

557 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 12:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න