තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 12:59

අනුන් විවේචනය කිරීම හොඳ පුරුද්දක් නෙමෙයි... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ඇය ප්‍රවීණ ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනියකි. සුරූපී කාන්තාවකි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට දක්ෂ ශිල්පීන් බිහි කළ ගුරු මාතාවකි. අද ක්ෂේත්‍රයේ දස්කම් පාන ඇතැම් දක්ෂ ශිල්පීන් ඇගේ සිසු සිසුවියන් ය. ඇය අශෝකා පල්ලියගුරුගේ ය. පසුගිය දා පැවැත් වූ ප්‍රථම රූපලාවණ්‍ය ජනාධිපති සම්මාන උළෙලේ දී ඇය ඇගයීමට පත් වූයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට කළ මහඟු මෙහෙවර නිසාමයි.

 

ඉතිං අශෝකා කොහොමද සැප දුක..?

මම කොහොමත් හිතේ බරක් නැතිව සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කෙනෙක්.. ඉතිං මම අනිත් අයට උදවු කරගෙන මගේ රූපලාවණ්‍ය වැඩ කටයුතු වගේම ඉගැන්වීමේ වැඩකටයුතුත් කරගෙන බොහොම සාමකාමී ජීවිතයක් ගෙවනවා.

හිතේ සතුට තවත් වැඩි වෙලා වගේ පේනවා..

ඔව්.. ඒක ඇත්ත. මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 27 ක් පුරාවට රැඳිලා ඉන්නවා. ඒ අවුරුදු 27 තුළ දී මගෙන් ක්ෂේත්‍රයට සිදු වූ සේවාව අගයලා පසුගිය දා කේෂාලංකරණ හා රූපලාවණ්‍ය ශිල්පීන්ට පිදෙන ජනාධිපති සම්මානයක් හිමි වුණා.. ඉතිං ඒ සතුට මගේ හිතේ පිරිලා ඉතිරිලා තියෙනවා. තමාගේ සේවය අගයලා සම්මානයක් දුන්නාම ඒක ඇත්තට ම කාට වුණත් ලොකු සතුටක්. මේ සම්මාන උළෙල පැවැත්වීමේ පූර්ණ ගෞරවය හිමි වෙන්නේ ප්‍රේමසිරි හේවාවසම් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියාට. ඔහු තමාට සම්මාන ලබා ගන්නේ නැතිව අනෙක් අය වෙනුවෙන් සිදු කරන මේ මෙහෙවර ඇත්තෙන් ම අගය කළ යුතුයි. අපි සතුටු වෙන්නේ ඔහු නිසා.. ඔහු මේ ක්ෂේත්‍රයට කරන සේවය අති විශාලයි.

ආයුර්වේද රූපලාවණ්‍ය අද නම් ගොඩක් ජනපි‍්‍රයයි. මීට දශක තුනකට පමණ එහා කාලයක දී ඔබ ඒවා ඉගෙන ගත්තේ කොහොමද?

මගේ සීයා වෙද මහත්තයෙක්. නිවාඩු කාලෙට ගමේ ගියාම සීයට ඒ වැඩ කටයුතුවලට උදවු කළා.. ඒ කාලෙ ලස්සනට ඉන්නත් ලොකු කැමැත්තක් තිබුණා.. ඒ නිසාම මම විලාසිතාවලටත් ආශා කළා.. මගේ අම්මත් ලස්සනට ඉන්න කැමැති කෙනෙක්. එයත් දේශීය දේවල්වලින් රූපය රැක ගන්න උනන්දු වුණා.. ඉතිං මටත් ඒ අභාසය එන්න ඇති..

මම ජාත්‍යන්තර ආසියානු රූපලාවණ්‍ය පාසලෙන් මුලින් ම රූපලාවණ්‍ය ඉගෙන ගත්තා.. ඉන්දියාවට ගිහින් ආයුර්වේදය ඉගෙන ගත්තා.. සම ගැන හිසකෙස් ගැන උගන්වනකොට රූපලාවණ්‍ය විෂය ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා.. ඉන්පස්සේ මම ඉන්දියාවේ සොෆ්ට් ටච්, රජීව් ගාන්ධි ආයුර්වේද පාසල යන ආයතනවලින් රූපලාවණ්‍ය හැදෑරුවා. කේෂාලංකරණ පැත්ත කරනවට තාත්තා විරුද්ධ වුණා.. මොකද එයාලට ඒක මදිකමක් වගේ සිතිවිල්ලක් ඇති කළේ.. තාත්තා නැති වුණාට පස්සේ තමයි මම කේෂාලංකරණ කටයුතු කරන්න පටන් ගත්තේ..

ඔබ ඉතාලියේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගියා නේද? ඒ කාලය ගැන කතා කළොත්...

ඔව්, මම වසර 14 ක් ඉතාලියේ ජීවත් වුණා.. ඒ කාලයේ දී රෝමයේ "සැලෝන් බෙල්ලෙස්සා" නමින් රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගියා. මෙය ආසියාතික පුද්ගලයෙක් විසින් පවත්වාගෙන ගිය එකම රූපලාවණ්‍යාගාරය වීම විශේෂත්වයක්. මුළු යුරෝපයට ම ආසියාතික පුද්ගලයෙක් පවත්වාගෙන ගිය රූපලාවණ්‍යාගාරයකට තිබුණේ සැලෝන් බෙල්ලෙස්සා විතරයි. වන් ශ්‍රී ලංකා, ශ්‍රී ටී.වී. කියන රූපවාහිනී නාලිකා දෙක යුරෝපයේ රටවල් 128 කට පේනවා. එම නාලිකාවල මම ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් රූපය රැක ගන්නා ආකාරය ගැන වැඩසටහන් පෙළක් කළා.. ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘මිල්ලදොන්න’ නමින් යුරෝපයේ පැවැති කාන්තා සංවිධානයක් මඟින් දේශීය ලෙස මනාලියන් හැඩ ගැන්වීම හා රූපලාවණ්‍ය කටයුතු සඳහා සම්මානයක් ලබා දුන්නා.

මේ ඔක්කොටම වඩා මට වටින්නේ මගේ ගෝලයන්ගෙන් ලැබෙන ගෞරවයත් ජනතාවගෙන් ලැබෙන විශ්වාසයත් තමයි..

ඉතාලියේ වසර ගණනාවක් හිටි නිසා ඔබට එහිත් මෙහිත් වෙනස හොඳින් පෙනෙනවා ඇති...

ඇත්තෙන්ම ඔව්. ඒ රටවල ඉන්නේ තමාගේ දේ හොඳින් කරන, අනුන් විවේචන කරකර ඉන්නේ නැති, ආචාරශීලී බවින් යුතු පිරිසක්. ඒ නිසාම ඔවුන්ගේ සිත්වල සතුට තියෙනවා. අපේ අය නිතරම බලන්නේ අනුන්ගේ වැරැදි. ඒවා විවේචනය කරනකොට නොදැනිම තමන්ගේ වැඩ අතපසු වෙනවා.. අනිත් අයට ඉරිසියා කරනවාට වඩා තමන්ගේ දියුණුවට යමක් කරනවා නම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අපේ රටත් මීට වඩා දියුණු වෙයි

ඔබ කරන කටයුතු ගැන වගේම කරන්න බලාපොරොත්තුවෙන කටයුතු ගැනත් මතක් කරමුද?

මම කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය යටතේ ළමයි දැනුවත් කිරීම් සිදු කරනවා. මේ දිනවල දුෂ්කර පළාත්වල ආයුර්වේද රූපලාවණ්‍ය පිළිබඳ සිසු සිසුවියන් පුහුණු කරනවා.. මෙය අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා නොමිලේත් සිදු කරනවා.. බොහෝ දුරට මම දුෂ්කර ප්‍රදේශවල අය නගා සිටුවීමට කටයුතු කරනවා.. මේ වෙනුවෙන් පෞරුෂත්ව දේශන පවා සිදු කරනවා. මගේ පාඨමාලාවන් හැදෑරීමට පැමිණෙන සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීමත් තවත් විශේෂත්වයක්.

ඉදිරියේ දී ආයුර්වේද රූපලාවණ්‍ය රෝහලක් ගොඩනැගීමටත් අදහසක් තියෙනවා. පැරැණි පුස්කොළ පොත්වලින් ලබාගත් වට්ටෝරුවලින් ස්වභාවික නිෂ්පාදන දැනටත් මම කරනවා. මේ හැම දේකට ම මට මගේ සැමියා, දුව වගේම මගේ අම්මත් උදවු කිරීම ඇත්තට ම මට ලොකු දෙයක්. ඒ වගේම මගේ ගෝලයෝත් මේ දේවල්වලට මට උදවු කරනවා. මගේ දුව ළමාරක්ෂණ අධිකාරියේ දේශකවරියක් ලෙසින් කටයුතු කරනවා.. ඒ අතරතුර තමයි ඇය මට උදවු කරන්නේ..

මධ්‍යම පළාතේ ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මට සහාය දක්වන කෙනෙක්. ඔහු ජාත්‍යන්තර සම්මේලන සඳහා මාව සම්බන්ධ කරනවා. ඉදිරියේ දී ළමා නිවාසයක් ගොඩනැගීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා.

ඔබ ක්ෂේත්‍රයේ අලුත් පරපුර ගැන හිතන්නේ කොහොමද?

ඔවුන් දක්ෂයි. ඒත් තමා දක්ෂයි, සම්පූර්ණයි කියලා හිතන්න හොඳ නෑ. තරුණ පරපුර අනුන් විවේචනය කරන්න හොඳ නෑ. හැම දෙනාම අගය කරන්නත් නිහතමානී වීමටත් පුරුදු වීමෙන් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට හැකියාව ලැබෙනවා..

 

 

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

531 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 13:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න