තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 පෙබරවාරි 12, සඳුදා 11:03

යුගයක් අවදි කළ යතිවරයාණෝ යළිත් වඩිනු මැන බුදු පුතණුවණේ

ලිව්වේ  නන්දි අලුත්ගේ රත්නවීර
අගයන්න
(0 මනාප)
නවම් මහේ අහස් කුස බබළමින් ලොවක් එළිය කළ පුරාහඳ කෙමෙන් කෙමෙන් බැසගියේ තම මෙහෙවර අවසන් කරමිනි. සඳට තනිරැකි පහන් තරුව පෑල දිග අහසේ සැඟවෙමින් තිබිණි. ශීතල තිමිරපට ඉරා දමමින් හිමිදිරිය පහන් වෙමින්, ඇඳිරිය පලවා හරිමින් ගතවන්නේ හෝරා කිහිපයකි.

 

අලුත් දවසකට ජීවිතය පහන් කළ ඒ මොහොතේ අප වෙත ගලා ආවේ ඇදහිය නොහැකි ශෝක පණිවුඩයකි. අප දේශයට පහන් ටැඹක් වූ ලක්වැසි ජනතාවගේ වන්දනීය ගෞරව බහුමානයට ලක් වූ පැවිදි පඬි රුවනකගේ අභාවයේ වේදනාබර පුවතයි. ජීවිතය අනියත බව සැබෑවකි.

එහෙත් මෙතරම් ඉක්මනට. මුළු රටම සෝ සුසුම් මැදින් හැඬූ කම්පිත හඬ සවන් වැකෙද්දීම ඒ අභිමානවත් සිහනද නිහඬව ගිය හැටි කෙලෙස නම් වාවනු හැකි ද? යුගයක් එකළු කළ සසුනඹරේ පායා දිදුල පහන් තරුවක් හදිසියේම නිවී ගියේය. ඒ පහන් තරුවේ ප්‍රභාවය ඉතින් යළි කිසිදා කාටනම් පිරිමැසිය හැකි ද ?

මුළු රටක් දැන හැඳින සිටි මහා පඬිරුවන අප නොසිතූ මොහොතක රටට අහිමි විය. බෙල්ලන්විල පුදබිමේ ශ්‍රී නාමය අභිමානවත්ව හෙබවූ විහාරාධිකාරී මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ අපවත් වී වදාළ සේක. ඒ උතුම් හිමියන්ගේ අනන්‍යතාවෙන් ආලෝකවත් වූ බෙල්ලන්විල රජමහා විහාරය අද මේ මොහොතේ බොදු දනන්ගේ නෙත ගැටෙන විට ඇතිවන්නේ මහත් වූ හුදකලා බවකි. සිතේ ගැඹුරුම තැනින් ගලා එන වේදනාබර සුසුමක, කඳුළක ඉකිබිඳුම එහි ලැගුම්ගෙන ඇතිවාක් මෙනි.

ජීවිතය යනු තණ අග පිනි බිඳක් බව පසක් කොට මුළු ලෝකයාටම එය පොදු වූ දහමක් ලෙස සමාජානුයෝජනය කරමින් ඒ අභිමානවත් දහම් නැණ කඳ මුළු ලොව හැර පියා අපවත් වී වදාළේ ලොව සියල්ල සිදුවිය යුතු ආකාරයෙන්ම අනියත බව අපට අවබෝධ කරගැනීමට මඟ සලසාය.

1956 වර්ෂයේ දී බෙල්ලන්විල විමලරතන හිමියන් ලෙස පැවිදි කෙතට පිළිපන් මේ ශ්‍රේෂ්ඨ පඬිරුවන, බෙල්ලන්විල සෝමරතන හිමියන් ගුරුතන්හිලා සිය පැවිදි මෙහෙවර පෙරමඟට දියත් කළේය.

තම සොයුරු වූ බෙල්ලන්විල ධම්මරතන හිමිපාණෝ ද ඒ ගමන් මඟට ආලෝක කදම්භයක් ගෙන දුන්හ.

බෙල්ලන්විල වෙහෙර බොදු දන මන තුටුපහටු කරවන පුදබිමක් කොට, එය පසුකලකදී මහත් ගෞරවයට පාත්‍ර වූ අනගි මෙහෙයක් ඉටු කළ තැනක් බවට පත් කළේ මේ අපගේ හිමිපාණන්ගේ දිරියෙනි.

බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම නමින් පිහිටුවා රටපුරාම සිටින තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවකට මඟ පාදා දුන්නේ මේ උදාර හිමිපාණන්ගේ කැප කිරීමෙනි.

ඒ වන විට අප ශිල්ප හදාරමින් සිටියේ පෙරදිග සංගීත අංශයෙහිය. මාලනී බුලත්සිංහල ගුරුතුමිය කමලානි පෙරේරා යන ඇදුරුතුමියන් අපට ඒ සඳහා මඟපෙන්වූහ. ඒ උදාර පින්බිමේ පහස ලැබීමට අප පින්කර තිබූ බව අද ද සිහිවන විට දැනෙන්නේ පහන් සංවේගයකි.

මේ සියලු කටයුතු සිදුවෙමින් පවතිද්දී විමලරතන හිමිපාණන්ගේ අධීක්ෂණය අප වෙත ලැබීමට තරම් අප පින්වත්ත වූයෙමු. අභිමානවත් පැවිදි පඬිරුවනක් වූවත් නිහතමානී ගති පැවතුම් ඒ පින්බර බව තවත් විදහා පෑවේය.

විහාරස්ථානයේ පවත්වාගෙන ගිය මේ ප්‍රජා පහසුකම් සියල්ල සමාජ මෙහෙවරක් ලෙස ඉදිරියටම ගෙන ගියේ එලෙසය. රථගාලේ ආදායම හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා පරිත්‍යාග කිරීම ද මහත් පුණ්‍යකර්මයක් විය. මේ අයුරින් විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් තවත් බොහෝ සමාජ සත්කාර සිදුවීම ද විමලරතන හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවූහ.

1942 වසරේ අප්‍රේල් 14 වැනිදා බණ්ඩාරගම, වීදාගම ප්‍රදේශයේ දී ජන්මලාභය ලද මේ පින්වත් කුමරාණෝ මුළු රටටම ශ්‍රේෂ්ඨ වූ පඬිරුවනක් වීමට තරම් භාග්‍ය නොඅඩුව ලබා තිබුණි. ගිල්බට් පෙරේරා නමින් ගිහි නමින් යුතුව ආදරණීය මවුපිය දෙපළකට දාව උපතක් දුන්හ.

දෙහිවල නිකපේ විද්‍යාරාජ විද්‍යාලයෙන් හා පිළියන්දල මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික සිප්සතර දිනා නැණ මඟ දැල්වූ අප හිමිපාණෝ 1964 වසරේ දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට පිවිස ශාස්ත්‍රවේදී උපාධියට හිමිකම් කියූහ. ප්‍රඥාව විසදකරගනිමින් 1965 දී පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවනේත්, රත්මලාන පරමධම්ම චේතිය පිරිවනේත් ආචාර්යවරයෙකු ලෙස ශිෂ්‍ය සමූහයක් බිහි කිරීමට දායක විය. ඉන් අනතුරුව 1976 දී එංගලන්තයේ ලැන්කෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද (ආචාර්ය) උපාධිය ලබාගත්හ. ප්‍රඥාවෙන් උපරිම පළනෙළා ගනිමින් නැණ පහන් සහසක් දල්වමින් පෙරට ආ ගමනේදී අපවත්වන නිමේෂය දක්වාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ කුලපති ධූරය හෙබවීමට තරම් භාග්‍යවත් වූහ.

තම නැණ පහනින් අන්‍යන්ට ද ආලෝකය බෙදාදුන් අප හිමිපාණෝ ග්‍රන්ථ රාශියක් ලියා පළකරමින් විදුමඟ එකළු කළහ. පාලි භාෂාව පිළිබඳ ගෞරව උපාධි දෙකක් ද ලබා තිබුණි.

1970 -1980 යුගය වනවිට බ්‍රිතාන්‍ය සංගමයේ ධර්මධූත සේවාවේ ද නිරතව කටයුතු කළ අතර 1986 ලෝක බෞද්ධ සංගමයේ නියෝජ්‍ය ලේකම් ධූරය ද දරමින් කළ ශාසනික මෙහෙවර අභිමානනීය වේ.

ධනය, බලය, පක්ෂ පාට නොතකා නොබියව තම මතය හෙළිකළ, යුගයේ අභීත පැවිදි මිණක් වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිසඳුන් සත්‍ය යුක්තිය ගරු කරන ජනතාවගේ හදවත් තුළ සදා නින්නාදවනු ඇත.

ඔබ වැනි අභීත නැණවත් බුද්ධිමත් පැවිදි මැණික් රටට වඩාත් අවැසි යුගයක ඔබ අපට අහිමි වී ගියේය. නිවන් දකින්නට පෙර තව එකම වතාවක් මේ හෙළ දෙරණේම උපදින්නේ නම් එය අපගේ පැතුමයි.

 

හිමියනි,

ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා!

 

 

ඇත් රජුනි

 

සුදහ ගිනි නිවා නුඹ කුස සනසන්ට

ඇති දැඩි කළේ ඒ මහ බෝසත් කමට

නුඹ පැටිවියේ හින්දා දඟ වැඩි කමට

වරදක් වුණි ද කියපන් ඇතුරජුනි මට

 

කසාවතින් විහිදෙන පින්කඳ අරුණේ

විඳ විඳ නුඹ සිටියේ ඒ බෝසත් අරණේ

පසුපස ගියත් සොයමින් හිමි වැඩිය තැනේ

මතු සසරකදි මිස යළි නැහැ හමුවන්නේ

 

 

 

 

498 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න