තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 16, සඳුදා 16:09

මොකද මේ ඔයාගේ ඇස්යට කළු වෙලා? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
සමහරුන් කියන්නේ අපලෙට ඇස්යට කළු වෙලා කියලා. තවත් අය කියනවා සෙම නිසා ඇස්යට කළු වෙනවලු. ඔය එක එක දේවල් අහගෙන ඉඳලා හරියන්නේ නෑ. හොඳ ට්‍රීට්මන්ට් එකක් කරගන්න.

 

ඔබත් මේ ගැටලුවට මුහුණ දී ඇති කෙනෙක් නම් මෙයට කළයුත්තේ කුමක් ද යන්න ගැන මේ වන විට සිතනවා වෙන්නට පුළුවන්.

ඇස්යට කළුවීමක් සිදුවනවානම් බොහෝවිට එය හේතුවක් නැතුව සිදුවන දෙයක් නම් නෙමෙයි. ඒ එවන් තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපෑම් ඇතිකරන කිසියම් හේතුවක් ඇති නිසයි.

ඇස්යට කළුවීමක් සිදුවිය හැක්කේ කුමන හේතූන් නිසා ද?

  • මානසික ආතතිය
  • ජානමය බලපෑම්
  • පමණට වඩා ඇස් වෙහෙස වීම
  • ප්‍රමාණවත් පරිදි නින්දක් නොලැබීම
  • ඔබ දවසේ වැඩි වෙලාවක් පරිගණකය හා රැඳෙන අයෙක් නම් එය ද ඇස්යට ඇඳුරු පැහැයක් ගෙන දීමට හේතුවක්.
  • ඇස් තදින් ඇතිල්ලීම, පිසදැමීම
  • මේදය හා කොලැජන් අඩුවීම
  • වියපත් වීම

මේ කෙරෙහි බලපාන හේතූන් විය හැකියි. මේ අතරින් සමහර හේතූන් වළක්වාගත හැකි ආකාරයේ හේතූන් නිසා එවන් දේ වළක්වාගන්නට උත්සාහ කරන්න.

බොහෝවිට ඔබේ නොසැලකිලිමත්කම නිසා මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් එය දිගින් දිගටම වර්ධනය වීමේ ඉඩකඩ පවතින බවත් අමතක කරන්න එපා.

මේක්අප් භාවිත කරන බොහෝ දෙනෙක් ඒවා නැවත ඉවත් කිරීමේ දී ඇස් වටා ගල්වා ඇති මේක් අප් නිසි පරිදි ඉවත් කරන්නේ නෑ. මේවායේ අහිතකර බලපෑම් නිසා ද ඇස් අවට සම කළු විය හැකියි.

සමහරුන් බාල වර්ගයේ ආලේපන භාවිත කරනවා. බොහෝ විට තමන් භාවිත කරන ආලේපනය හොඳ තත්ත්වයේ එකක් ද? ඒවා ඇස් මත තැවරීමට තරම් සුදුසු තත්ත්වයේ තිබේද යන්න ගැන සැලකිලිමත් වන්නේ නෑ.

සමහර ආලේපනවල ඇති අහිතකර බව නිසා ඇස් වටා කළුවීම පමණක් නොවෙයි, ඒ වටා ඇති සියුම් සමට හානිවීමෙන් ඇස් වටා රැලි ඇති වීමටත් පුළුවන්.

ඉහත කී ආකාරයෙන් ඇස් වටේ ඇතිවන කළු පැහැය ඉවත්කරගත හැක්කේ මොන ආකාරයෙන් ද? මෙහිදී සැලකිලිමත් වියයුතු වැදගත් කරුණු මොනවා ද?

මුලින්ම කියන්නට ඕන ඇස්යට කළුවීම වළක්වාගන්නට කියා හිතුමතේ යම් යම් දේවල් ඇස් වටේ ගල්වන්නට යන්න එපා. සමහරුන් එක් එක් අය කීව පමණින් කිසිදු වගකීමකින් තොරව ආලේපන ගල්වන්නට පෙළඹෙනවා. මේවා හානිකර වෙන්නට පුළුවන්.

ඇස්යට කළුවීම වළක්වාගන්නට හොඳම විසඳුමක් ලෙස අන්ඩර් අයි ජෙල් එකක් භාවිතකළ යුතු බවට බොහෝ විට උපදෙස් ලැබෙනවා. මෙහිදී මිලෙන් අඩු වූ පමණින් බාල වර්ගයේ ආලේපන ගැනීම, භාවිතකිරීම සුදුසු නොවන බව කිවයුතුමයි.

අන්ඩර් අයි ජෙල් එකක් භාවිත කරනවානම් එය කුමන ආකාරයේ ආලේපනයක් ද මෙහි අඩංගුව තිබෙන ද්‍රව්‍ය මොනවා ද? එම ද්‍රව්‍ය ඇස්වලට හිතකර ද්‍රව්‍යය ද? යන්න ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඔබ එසේ සැලකිලිමත් වනවානම් බොහෝ දුරට බාල වර්ගයේ ආලේපන නිසා විය හැකි හානිකර බලපෑම්වලින් මිදී සිටීමට පුළුවන්.

අන්ඩර් අයි ජෙල් එකක් පාවිච්චි කිරීමට සිතනවා නම් ඇස්යට කළුවීම වළක්වාලන, ඇස්වටා සමට

පෝෂණය සපයන ආකාරයේ එකක් ගැනීමට සැලකිලිමත් වීමයි වඩාත් වැදගත්වන්නේ.

විශේෂයෙන්ම ගොටුකොළ ඇස්වලට ඉතාමත් හිතකර ඖෂධයක් බව අප කවුරුත් දන්නවා. එවගේම කෝමාරිකා ද ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහළයි. මෙම ඖෂධයන්හි පවතින ඖෂධීය ගුණය ඇස්වලට ඉතාමත් හිතකරයි. මේ නිසා ගොටුකොළ සහ කෝමාරිකා වල සාරය ඇස් සඳහා සැකසෙන ආලේපන සඳහා බොහෝවිට යොදාගැනෙනවා.

මෙම ඖෂධීය ගුණය නිසා ඇස් වටා ඇති අඳුරු ස්වභාවය ක්‍රමානුකූලව ඉවත්කරන අතරම ඇස් වටා තිබෙන සියුම් සම මනාව පෝෂණය කරනවා. ඒ විතරක් නොවෙයි ඇස් වටා සියුම් කේශනාලිකා ශක්තිමත් කරමින් ඇවපැහැවීම්, රැලිවැටීම් අවම කරනවා. බලන්න, ස්වාභාවික ඖෂධවල තිබෙන ගුණාත්මක බවින් ලබාගත හැකි හිතකර ප්‍රතිඵල කොයිතරම්ද කියා. මෙවැනි ඖෂධවල සුවපත් කිරීමේ ගුණය ගැන ඔබ දැනුවත් නම් ඔබ භාවිත කරන ආලේපනයන්හි එවන් ශාකසාර අඩංගුªව තිබෙනවාද යන්න ගැන සැලකිලිමත් වන්න. එයට හේතුව ස්වාභාවික ශාක සාර කිසිවිටෙකත් අහිතකර බලපෑම් ගෙන නොදෙන නිසායි.

සමහර අයගේ ඇස්වල නිතර දක්නට ලැබෙන්නේ විඩාපත් බවක්. මලානික පෙනුමක්. රුව ලස්සන ගැන උනන්දුවන අයෙකුට මෙය ද ගැටලුවක්. මෙම තත්ත්වය වළක්වාගන්නට නම් කෘත්‍රිම ද්‍රව්‍ය අඩංගු ආලේපනවලට වඩා ස්වාභාවික ඖෂධීය ගුණය කැටිකරගත් ආලේපනයක් දිනපතා භාවිත කරන්න. එතුළින් විඩාපත් බව, මලානික පෙනුම නැතිවී ආකර්ෂණීය බවක් ලබාදේවි.

දැන් බොහෝ දෙනෙක් ඇස්වටා අඳුරු පැහැය මඟහරවා ගන්න අන්ඩර් අයි ජෙල් භාවිත කරනවනේ? අන්ඩර් අයි ජෙල් එකක් ගැල්වීමේ දී

 

අනුගමනය කළයුතු නිවැරැදි ක්‍රමයක් තිබෙනවාද?

ඒ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්. මා එසේ කියන්නේ සමහරුන් ඇස් වටා ආලේපන ගල්වන විට ඇස් වටා තදින් පිරිමැදීම සිදුකරනවා. මෙය නොකළ යුතු දෙයක්. අපේ ඇස් වටා තිබෙන්නේ ඉතාමත් සියුම් සමක්. ඇස තදින් ඇතිල්ලීමෙන් මෙම සියුම් සම තෙරපීමකට, ඇදීමකට ලක්වීමෙන් ඇස් වටා රැලි වැටීමක්, ඇස්වල සම එල්ලා වැටීමක් සිදුවනවා. මෙවන් තත්ත්වයක් ඇතිකරගන්නේ තමන් විසින්මයි.

ඇස් වටා ආලේපන ගැල්වීමට පෙර ප්‍රවේසමෙන් ඇස් වටා පිරිසුදුකරගන්න. ඉන්පසු අන්ඩර් අයි ජෙල් අවශ්‍ය පමණට වෙදැඟිල්ලට ගෙන එය මෘදු ආකාරයට ඇස් වටා තවරමින් ඉතාමත් සෙමෙන් රවුමට සම්බාහනය කරන්න. ඔබ නිවැරැදි ආකාරයට අන්ඩර් අයි ජෙල් එකක් භාවිත කරනවානම් නිසැකයෙන්ම ඔබ ඉන් බලාපොරොත්තු වන හිතකර ප්‍රතිඵල ඔබටම අත්විඳින්නට හැකිවේවි.

 

උපදෙස් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාන්දනී බණ්ඩාර

2411 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 16, සඳුදා 16:09
අදහස් එක් කිරීමට ලොග් වෙන්න