තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 12, අඟහරුවාදා 14:28

සන්නිවේදනයේ සොඳුරු ඉසව් මැවූ සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!

Written by 
අගයන්න
(0 මනාප)
අප දැඩි කම්පනයට පත්කළ සිදුවීමක් සතිය ආරම්භයේදීම අසන්නට ලැබීම අප මහත් සංවේගයට පත්කළේය.

ඒ සදාදරණීය මාධ්‍ය සහෘදයකුගේ හදිසි වියෝවයි.

හේමනලීන් කරුණාරත්න නම් වූ ඔහු වචනයේ පරසමාප්ත අර්ථයෙන්ම කෘතහස්ත නිවේදකයකු පමණක් නොව කලාත්මක වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක් ද වූයේය. අවුරුදු 56 ක් තරම් කෙටි කලකින් ජීවිත රඟමඬලෙන් සමුගෙන ඔහුගේ හඬට නැවතුම තබන්නට වීම ඔහුට ළබැඳි දහස් සංඛ්‍යාත ශ්‍රාවකයන්ට මෙන්ම මාධ්‍ය සගයන්ට ද දරාගත නොහැකි වේදනාත්මක පුවතක් වූ බව නොරහසකි.

ප්‍රේක්ෂක හදවතට කතා කළ බොහෝ ඇසූ පිරූ තැන් ඇති සුවිශේෂී මිනිසකු අපට අහිමි වීම නෙතට කඳුළක් ගෙන එන වේදනාබර සිදුවීමකි. නිවේදන කලාව නවමු මඟකට යොමුකළ හේමනලීන් කරුණාරත්න නම් ඒ සොඳුරු මිනිසා පේ‍්‍රමකීර්ති යුගයෙන් පසු අප දුටු හෘදයාංගම නිවේදන කලාව ප්‍රේක්ෂකයාට තිළිණ කළ නිවේදකයින් අතර සිටි ප්‍රමුඛයා ය.

1983 වසරේ මාධ්‍යට ප්‍රවිෂ්ට වන හේමනලීන් රූපවාහිනියට අවතීර්ණවන්නේ සහය නිෂ්පාදකවරයකු ලෙසය. කවියට, කලාවට අත්පොත් තැබූ ඔහු ඉතා කෙටි කලකින්ම සිය නිසඟ ප්‍රතිභාව ප්‍රකට කළේ ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත්කරමිනි. ජාතික රූපවාහිනියේ 9.05 වාර්තාමය වැඩසටහන නිෂ්පාදනය කළ ඔහු ඉන් මුළු රටක්ම තම වසඟයට ගත්තේ ඔහුගේ හැඟුම්බර, ආදරණීය ස්වරය අප හදවත් පතුළටම කාවද්දමිනි. මුළු රටක්ම එකම මොහොතක දී නිවෙසේ ආලින්දයට එක්කිරීමට තරම් ඒ හඬ ආකර්ෂණීය විය.

හේමනලීන් කරුණාරත්න මාධ්‍ය සොයුරා වැඩකරුවකු ලෙස අප මුලින්ම හඳුනාගත්තේ 9.05 වාර්තා වැඩසටහන සමඟයි. වාර්තා වැඩසටහන් සඳහා ජනතාව එතරම්ම සමීප නොවූ වකවානුවක දී ඔහු අමුතුªම තාලේ වැඩසටහනක් සමඟ අපගේ ආලින්දයට ගොඩවිය. නිර්ව්‍යාජ, නිරහංකාර සිනහවකින් මුව සරසාගෙන හෘදයාංගම බසකින් අප සවන් සනහාලු ඒ අතීතය මට අද ඊයේ මෙන් මතකය. පුදුමය නම්..... මාධ්‍ය ලොවේ හේමනලීන් බොහෝ දුර ගමනක් ගියත් ඔහුගේ පෙර දා දුටු ඒ අව්‍යාජ..... නිරහංකාර.....සිනහව මියෙන තුරාවටම වෙනස් නොවීමයි.

9.05 සහ හේමනලීන් අතර වූයේ මහා පුදුමාකාර විදියේ සහසම්බන්ධයකි. හේමනලීන් පසු කලෙක කොතෙක් නිර්මාණාත්මක වැඩසටහන් සමඟ හමුවූවත් සහෘද ප්‍රේක්ෂක මතකයේ තවමත් නිදන්ගතව ඇත්තේ 9.05 බව නොකියාම බැරිය. ටෙලි නාට්‍ය අතරේ අතරමං වී සිටි ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකයා හට නව ආනන්දනීය, වින්දනීය අඩපැයක් ලබා දෙමින් රූපවාහිනී කලාවට විචිත්‍රවත් බවක් ලබාදුන් ඒ රාත්‍රිය මට මෙන්ම ඔබට ද අමතක නොවන බව විශ්වාසය. කොටින්ම කියතොත් 8.30 රූපවාහිනී ටෙලි නාට්‍ය අඩහෝරාවෙන් මුදවා ගත නොහැකිව සිටි ප්‍රේක්ෂකයා මුලිනුපුටාගෙන 9.05 වෙත ඇද බැඳ තබන්නට සමත් වූ හේමනලීන් නිවේදන කලාව අමුතුම කලාවක් බවට පත්කළේය. චතුර කථිකයෙක් වූ ඔහුගේ හඬ ළයාන්විතය. සරල බසින් බස හැසුරුව ද ඔහුගේ ශෛලීය ව්‍යක්තය. ඔහු සතු භාෂා දැනුම මෑත යුගයේ බිහිවූ කිසිදු නිවේදකයකුට සම කළ නොහැක. ඔහුගේ බස හැසිරවීම නිවේදන ශෛලිය අපට පසක් කළේ අතිප්‍රවීණ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ කතා විලාසයයි.

ප්‍රේමකීර්ති කලාකරුවා සතු වූ හසල දැනුම ඔහුගේ ඉදිරිපත් කිරීමෙන් ප්‍රේක්ෂක අප මැනැවින් හඳුනාගත්තා සේම හේමනලීන් ද ඒ මඟ ඔස්සේ යමින් අපට සමීප වූ නිවේදකයකු විය. හේමනලීන්ගේ බස සරලය. සුගමය. කෙටිය. උච්චාරණ විලාසය හෘදයාංගම බවින් අනුනය.

9.05 න් පටන් ගත් ඒ නිර්මාණාත්මක.... ළෙංගතු කතා විලාසය මියෙන තුරාවටම ඔහුගේ වැඩසටහන් තුළින් අපි දුටුවෙමු. ඒ හඬ තුළ දයාව..... කරුණාව... අසීමිතව ගලා ගියේය.

හේමනලීන් වැඩසටහන් ඉදිරිපත් කරන විලාසය දකින්නට බොහෝ දෙනකු තුළ ඇත්තේ අසීමිත කැමැත්තකි. ප්‍රේක්ෂකාගාරයේ දී, රූපවාහිනී තිරය තුළ දී හෝ වෙනත් ඔහුගේ ළෙංගතු ආමන්ත්‍රණය හමුවේ ප්‍රේක්ෂක ඇල්ම බැල්ම එක එල්ලේම තබා ගැනීමේ ඔහු සතු කුසලතාවය දෙවැනි වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ නිර්මාණාත්මක මෙහෙයවීම අබියස පමණදැයි මට සිතේ. හේමනලීන්ගේ ඉදිරිපත් කිරීම එතරම්ම ප්‍රේමනීයයි. සෙනෙහෙබරයි. ළයාන්විතයි. 9.05 එන්නටත් කලින් පුංචි තිරය ඉදිරියේ නොඉවසිල්ලෙන් හේමනලීන් එනතුරා අපි බලා සිටි හැටි....... ඔහුගේ ඉදිරිපත් කිරීම හමුවේ ඒකාත්මික වූ හැටි සිහිපත් කරනවිට දැනුදු හිතට දැනෙන්නේ අමුතුම චමත්කාර හැඟීමකි. සමහර නිවේදකයන් බයිසිකල් හැන්ඩ්ල් ගිල්ලා සේ අසන්නන්ගේ පපුව හිරවන ලෙස අමතන හැටි අසන..... දකින... විට හේමනලීන් වැනි කෘතහස්ත නිවේදකයන්ගේ අඩුව අදට වඩා මතුවට දැනෙනු ඇති බව නම් නොඅනුමානයි. ඔහුගේ හඬ, බස මෙන්ම ඇඳුමෙන් පැලඳුමෙන් ද තිබුණේ පුදුමාකාර සරල චාම් නිවුණු බවකි. තිරය ඉදිරිපස හෝ වේදිකාව මත හිඳිමින් ඔහු අප අමතන විට ඔහුව එතරම්ම ළෙන්ගතුව දැනෙන්නට ඔහුගේ ඒ සරල හඬගැන්වීමත් හේතුවක් වන්නට ඇති.

ඔහුගේ හසල දැනුමට සමගාමීව ඉදිරිපත් කරන හෘදයාංගබව තරමටම ඔහු සතු නිහතමානී බව ද අප අගය කළ යුතු සේම මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන අය සේම, ආධුනිකයන්ට මෙන්ම ප්‍රවීණයන්ට වුවද ඔහුගේ මෙම ගුණය ආදර්ශයට ගැනීමෙන් කිසිදු වරදක් සිදුනොවේ.

ඔහුටම ආවේණික හඬ පෞරුෂය තුළ ගොඩ නඟාගත් ගමන් මඟේ හේමනලීන් වැඩසටහන් නිෂ්පාදකවරයකු, වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු, රූපවාහිනී නාලිකා අධ්‍යක්ෂකවරයකු සහ රූපවාහිනී නාලිකාවක හිමිකරුවකු දක්වා පැමිණියේ ඔහු සතු වූ අනුපමේප දැනුම් සම්භාරය සහ කළ කටයුත්තට තිබූ අවංක කැපවීම නිසාමයි. විශේෂයෙන්ම කලාව, සංස්කෘතික වාර්තා වැඩසටහන් සමඟ සමීප වූ හේමනලීන් මිය යන තුරුම අපේ උරුමය රටටත්, ලොවටත් අපූරුවට කියාපාමින් හෙරිටේජ් ටී.වී. සමඟ සිටියේ ය. හෙරිටේජ් ටී.වී. හේමනලීන්ගේ ම හිමිකමකි.

මා දන්නා තරමින් හේමනලීන් දේශපාලන අවශ්‍යතා මත කිසිවකුට නටවන්න හැකි වූ නිවේදකයකු වූයේ නැත. කිසිදා වරප්‍රසාද අපේක්ෂාවෙන් දේශපාලන අපේක්ෂකයන්ගේ ගැත්තෙක් වූයේ ද නැත. ඔහුට අවශ්‍ය වූයේ කලාව, සංස්කෘතිය පෝෂණය ලා ඇපකැප ව සේවයක් කරන්නට ය. ඔහු එම කර්තව්‍ය අකුරටම ඉටු කළේ ය. ඔහු සතුවූ ඉතිහාස දැනුම අතිවිශාල ය. කලාව, සංස්කෘතිය පිළිබඳ නිවැරැදි දැනුම නව පරම්පරාව වෙත ගෙන යන්නට හේමනලීන් තරම් හෘදයාංගම දායකත්වයක් දැක්වූ නිර්මාණකරුවෙක් නැතිතරම්ය. ප්‍රේක්ෂකයා හට වින්දනීය ප්‍රඥාගෝචර වැඩසටහන් සමඟ සමීප වූ හේමනලීන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන් උදෙසා ද නොමසුරුව තම දැනුම පුදකළ ආදරණීය ඇදුරුතුමෙකු විය. ඔහුගේ මඟ පෙන්වීම මත මාධ්‍ය ක්ෂේත්‍රයට එක්වූ පිරිස ද බොහෝ ය.

ඔබගේ අකල් වියෝව නිසා රූපවාහිනී වැඩසටහන් සහ නිවේදන ක්ෂේත්‍රයට සිදු වූ හිඩැස, පාඩුව කිසිවෙකුටත් පුරවාලිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. හේමනලීන් සොඳුරු මාධ්‍යවේදියාණෙනි, ඔබේ හඬ නිහඬ වුවද ඔබ කලාව තුළ තැබූ සලකුණ සදා අමරණීයයි. ඔබ ඉදිරිපත් කළ 9.05 වැඩසටහන අද හෙට නොව මතුත් ඔබ ගැන කතා කරන්නට යමක් ඉතිරි කළේය.

පනස් පහෙන් විශ්‍රාම ගොස් පනස් හයෙන් ජීවිතයෙන් සමුගන්නට ඔබ නොසිතන්නට ඇත. අප රට වෙනුවෙන්, ඉදිරි පරපුර වෙනුවෙන් දහසක් දේ කරන්නට ඔබ සිතාසිටින්නට ඇත. එහෙත් කිසිවෙකුටත් නොකියා රහසේම ඔබ නික්ම ගියේය. එය ඔබට ආදරය කළ මාධ්‍ය සගයන් වන අපට මෙන්ම ප්‍රේක්ෂක ජනතාවට ද දරාගත නොහැකි දුකකි.

ආදරණීය හේමනලීන් කරුණාරත්න ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයාණෙනි, සන්නිවේදනයේ සොඳුරු පූරකයාණෙනි, ඔබට නිවන් සුව පතමි.

 

මනෝලි සුබසිංහ

ප්‍රධාන කර්තෘ

දුරකථන : 0112429591

ෆැක්ස් : 0112429580

E-mail : editor.tharunee@
lakehouse.lk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

894 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 15:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න