තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 13:14

කප්රුක් පූජාවෙන් උපදින ආත්මයක් පාසා සිතූ පැතූ සම්පත් ලැබේ

ලිව්වේ  අචිනි ලක්මාලි
අගයන්න
(0 මනාප)
සෑම වර්ෂයකම පින්බර ඇසළ (ජූලි) මහේ සිට වප් (ඔක්තෝබර්) මහ දක්වා වස්කාලය උදාවේ. එබැවින් මේ කාලයේ දී 'අයං වස්සාන කාලෝ' යන පාඨය බොහෝ වෙහෙර විහාරවල දී ඔබ නෙත ගැටෙනවා.

 

මීට වසර දෙදහස් පන්සීයකටත් පෙරදී ආරම්භ වූ මේ ශාසනික සම්ප්‍රදාය අදත් අඛණ්ඩව ථේරවාදී බුදුදහම තුළ පවතින උතුම් පින්කමකි.

වස්සාන සෘතුවේ වැසිසාර මාස අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් සමාදන්ව වැඩ වසන කාලයයි. මෙම වස් කාලය සැදැහැවත් බෞද්ධයාගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ.

මේ කාලය තුළ සිදු කෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා මහෝත්සවයෙනි.

වප් පුර පසළොස්වක පොහෝ දා සිට මෙම කඨින මහා පිංකම ඇරඹෙයි. කඨින පින්කම් සිදු කළ හැකි අවසාන දිනය ඉල්පුර (නොවැම්බර්) පසළොස්වක පොහෝදා ය. මේ කාලයේදී සෑම වෙහෙර විහාරස්ථානයක් තුළම උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් සමාදන්වීම සිදු කරනු ඇත. එසේ තුන්මාසයක් වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වප් පෝය උදාවීමත් සමඟම කඨින පින්කම් සිදුකිරීම ආරම්භ කරයි.

වර්ෂය තුළ කඨින පින්කම භාරගත් සැදැහැවත් පිරිසගේ ශක්තිය අනුව අලි ඇතුන්, හේවිසි, නැටුම් - ගැයුම් ආදී විවිධ සංස්කෘතිකාංග එක්ව පෙරහර භික්ෂූන් වහන්සේ වස් විසූ විහාරස්ථානයට අයත් ගම් ආවරණය වන පරිදි සංචාරය කිරීම චාරිත්‍රයකි. විශාල පිරිසකට කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන්වීමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මෙහිදී කඨින චීවරය උඩුවියන් යටින් වැඩමවීමෙන් මඟ දෙපස සැදැහැතියන්ට සියතින්ම ස්පර්ශ කොට පින් අනුමෝදන් කිරීමේ භාග්‍ය හිමිවෙයි.

තුන්යම් රාත්‍රිය පුරාම ගමින් ගමට වීථි සංචාරය කළ කඨින පෙරහර අලුයම විහාරස්ථානයට ළඟාවෙයි. කොස් කොළ නැට්ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහර විහාරස්ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වෙලාවයි. මේ අනුව ගෙත්තම්කොට, පඬු පොවා වේලා සකසාගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උස ආසනයක තැන්පත් කෙරෙයි. මෙය පූජා කරනුයේ පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට පූජා කිරීම විනය ප්‍රඥප්තියයි. ඒ අනුව කඨිනය පිළිගත් භික්ෂූහු කඨින චීවරය සඝසතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්ෂුවක තෝරා විනයානුකුලව එය පැවැරීම සිදු කෙරේ.

කුසල් වඩන පිංකම්

කඨින පූජාව අටමහා කුසල් අතර ප්‍රමුඛතම පින්කම වේ.

"මහ පොළොව මෙන් කිසි කලෙක කම්පා නොවන මහා මේරු පර්වතය මෙන් අධික සුළඟින් නොසෙල්විය හැකි, ඒ ඝන වජ්‍ර පර්වතය මෙන් සිඳින්නට බිඳින්නට නොහැකි බව කඨින පූජාවේ ආනිසංසයි.

කඨින පූජාවකින් මෙසේ ස්ථාවර ආනිසංස ලැබෙනුයේ,කඨිනයක් පූජා කරනු ලබන්නේ වස් සමාදන් වී එය ආරක්ෂාකර ගැනීමෙහි ලා අවදියකින් යුතුව, විශේෂ ශීල සමාදානයකින් කැප කිරීමක යෙදී සිටි, මහා විනය කර්මයක් පවාරණය කළ ශ්‍රේෂ්ඨ භික්ෂුවරයකුට වීම.

බුදුරජාණන් වහන්සේ නියම කරන ලද සංඝයා විසින් විනය කර්මයක් මඟින් ම පවරනු ලබන සිවුරක් වීම.

එක් දිනයක් තුළ විනයානුකූලවම සිවුර මසා පිළියෙල කිරීම සහ විනයානුකුල ව අධිෂ්ඨාන කොට සම්පූර්ණ කරන ලද චීවරයක් වීම

කඨින චීවරය ගිහි සැදැහැවතුන් විසින් පිදීමත්, භික්ෂූන් වහන්සේගේ මහන්සිය ඇතිව එදිනට සම්පූර්ණ කිරීමත් යන දෙපිරිසකගේ එකතුවෙන් කරනු ලබන පූණ්‍ය කර්මයක් වීම.

වස් ආරාධනය කළ මොහොතේ සිට 'කඨින පූජාව කර කුසල් ලබමු' යන පූණ්‍ය චේතනාවෙන් මුළු සිවුමස පුරාම දායක පිරිස කුසල් වැඩීම.

වර්ෂයේ එක් වරක් පමණක් කළහැකි, එය ද වස් වැස පවාරණය කළ භික්ෂුවකට පමණක් දිය හැකි, මහත් දුර්ලභ ගණයේ පිංකමක් වීම.

මුළු මහත් ගමක් එකතු වී පොදුවේ කරනු ලබන පොදු කුසල චේතනා වඩන පිංකමක් වීම.

යන මේ කරුණු කාරණා හේතුවෙන් කඨිනය පිදීමෙන් ස්ථාවර වූ ආනිසංසයක් ලැබේ.

කප්රුක් පූජාව

මෙවන් පින්පුරන කඨින පුජා චාරිත්‍ර සියල්ලක්ම නිමවීමෙන් පසුව කඨින පූජා උත්සවය හා සම්බන්ධ වූ 'කප්රුක් පූජාව' ද විශේෂය. මෙය කොස් අත්තක් කපා සකසන ලද විශේෂ වෘක්ෂයකි. කඨින පූජා මණ්ඩපය අසල සිටුවා මෙහි විවිධ පුජා භාණ්ඩ තැන්පත් කෙරේ. කඨින වස්ත්‍රය සඝසතු කිරීමත් සමඟම මෙම අවශේෂ පූජා භාණ්ඩ සියල්ලක් ද සඝසතු වස්තූන් බවට පත්වෙයි.

ලොව ඇති ඉතා උසස් කුසල කර්ම අටක් පිළිබඳ බුදු දහමේ ඉගැන්වේ. කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස පූජාව, බුදු පාමොක් සංඝගත දක්ෂිණා පූජාව, බණ පොත් ලියා හෝ මිලට ගෙන පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කරවීම, කෙත්වතු පුජාව හා වැසිකිළි කැසිකිළි කරවීම යනුවෙන් වන මෙම අට මහා කුසල් සිදු කිරීමෙන් විශේෂ ආනිසංස රැස් වේ.

ඒ අතරින් කඨින පූජාව සිදුකිරීමේ දී එයට සමගාමීව කරනු ලබන කප්රුක් පුජාවෙන් ද ඒ හා සමානව ම පින් රැස්කර ගත හැකියි.

1. උත්තම පුරුෂයකුව ඉපදීම

2. අගතියට නොයාම

3. ඉසුරුමත්ව මිනිස් ලොව ඉපදීම

4. උසස් කුලයන්හි ඉපදීම

5. ධනවත් වීම

6. සියල්ලන්ට ප්‍රියවීම

7. සක්විති සම්පත් ලැබීම

8. තේජස හා කීර්තිය පැතිර යාම

වශයෙන් ලෞකිකව ද පාර ලෞකිකව ද සංසාරික වශයෙන් ආනිසංස රැසක් මේ වස් සමයේ ඔබට අත්පත් කර ගත හැකිවනු ඇත.

පෙර සඳහන් කළ පරිදි කප්රුක් පූජාවේදී අප පූජා කරන ලද වස්තූන්ට අනුගාමීව උපදින ආත්මයක් පාසාම වස්තුව ලැබෙනු ඇත. ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංගසම නිධාන ලෙස ඔබට මෙම පූජාව සිදු කළ හැකියි.

ආනිසංස

ස්ථාවර නිධාන යනු ඉඩකඩම්, ආරාම කරවා පූජා කිරීමයි. එම පූජාවන් හේතුවෙන් උපදින මතු භවයේ ඔබට එලෙසම ඉඩකඩම්, ගෙවල් දොරවල්, මන්දිර අත්පත් වනු නියතය.

ජංගම නිධාන ලෙසින් විහාරයට අවශ්‍ය කරන වාහන, මූල්‍යමය ආධාර (ජල, විදුලි බිල්පත් වෙනුවෙන්) පූජාව හැඳින්වේ. මෙවැනි පූජාවන් මඟින් ද උපදින භවයේ දී එවැනි දෑ ලැබීම් ඔබට හිමිවනු ඇත.

අංග සම නිධාන ලෙස අධ්‍යාපනයට අවශ්‍ය කරන පූජාවන් ද බුද්ධ, ධම්ම, සංඝ රත්නය උදෙසා පූජා කරන දෑවලින් බුද්ධ උපස්ථාන පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මහඟු පින් රැස් වේ.මේ අතරට කප්රුක් පූජාව වෙනුවෙන් මුතුකුඩ, වටාපත්, පාවහන්, ඖෂධ, පිරිසුදු කාරක, ඉදල්, කොසු, මදුරු දැල, කොට්ට, මෙට්ට, පැදුරු, දත් බුරුසු, දන්තාලේප ආදී ඕනෑම පූජාවක් ඔබට සිදු කළ හැකිවේ.

මෙවැනි කප්රුක් පූජාවලින් සැබැවින්ම ඔබට උපදින සෑම ආත්මයක් ආත්මයක් පාසාම කප්රුකක්ම පහළ වේ. ඔබට අන් අයට ප්‍රිය උපදවන ප්‍රි ජනක මුහුණක්, නිරෝගී සිරුරක් ලැබේ. ආහාර පාන, වස්ත්‍රාභරණවලින් කිසිදු අඩුවක් නොවේ. මෙලෙස මහානුභාව සම්පන්න පින් රැසක් ම කප්රුක් පූජා කිරීමෙන් ලැබේ.

ඔබට හැකි පමණින් සංඝයාවහන්සේලා උදෙසා අවශ්‍ය වූ විවිධ පුජා භාණ්ඩ කඨින පූජාව දා විහාරස්ථානයේ ඇති කිරි වෘක්ෂයේ රැඳවීමෙන් මහත් ආනිසංස ලැබිය හැකියි. එදින ඔබ පුජා කරන කුඩා දෙයින් වුවද මහත් කඨිනානිසංසම ලැබෙන බව යළි යළිත් සිහි ගන්වයි.

417 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 13:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න