තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 08, සඳුදා 16:21

සිත සමාධිගත කරන ආනාපාන සතිය වඩමු

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
ඔබ තුළ ඇති ඥානය ප්‍රඥාව දක්වා වර්ධනය කර ගැනීමට අත්වැලක් පිණිස භාවනාවට මනස හුරුකර ගන්නා ලෙස තරුණී සදහම් සෙවණ ඔස්සේ පසුගියදා ලිපියක් පළ කළා. එයට ආගම් භේදයකින් තොරව තරුණී පාඨක ඔබෙන් යොමු වූ ඇමතුම් අපි සතුටු සිතින් පිළිගත්තෙමු.

 

එහිදි ඔබ ඉල්ලා සිටියේ ආනාපානසති භාවනාව වැඩිය යුත්තේ කෙසේදැයි සඳහන් කරන ලෙසයි. ඔබේ ඒ ඉල්ලීම අපි අද මෙසේ පෙළගස්වමු. ගරු ස්වාමීන්වහන්ස, 'සියලුම යහපතේ හෝ අයහපතේ පෙර ගමන්කරුවා මනසයි' එය නිමල බුදු වදනයි. එසේ වී නම් මනස යහපත්ව පිහිටුවා ගැනීම පිණිස ආනාපානසතිය වඩවන අයුරු දේශනා කරනු මැනවි.

පින්වත්නි, ප්‍රසන්න මනසකින්, ප්‍රසන්න සිනහවකින්, ප්‍රසන්න ශරීරයකින් යුතුව ඔබ භාවනාවට වාඩි විය යුතුයි. හිතේ සමාධිභාවය ඇතිකර ගැනීම පිණිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ආනාපානසති භාවනාවයි. රූපාවචර ධ්‍යාන හා අරූපාවචර ධ්‍යානය. එමඟින් ඇතිකර ගැනීමක් සිදුවෙයි. ආනාපානසති භාවනාවෙහි ඇති මේ ධ්‍යානයන් පිළිබඳ දැක්ම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට පෙරත් දඹදිව තිබුණා. ආලාරකාලාම, උද්දකරාමපුත්ත වෙත ගොස් අපේ බෝධිසත්වයෝ ඉගෙන ගත්තේ මේ ධර්මයයි. නමුත් මේ ධර්මය නිවන් මාර්ගය උදෙසා ගළපා ගන්නට දන්න කෙනෙක් හිටියේ නැහැ.

ඔවුන් හිතුවේ දුක නිවන මාර්ගය රූපාවචර අරූපාවචර තුළ ඇති බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධකර ගත්තා මෙතුළ ඇත්තේ වේදනාවේ ආශ්වාදය පමණක් බව. අනතුරුව උන්වහන්සේ ආලාරකාලාම, උද්දකරාම පුත්තගෙන් විමසනවා මීට වඩා ධර්මයක් ඔබලා ළඟ නැති ද වග. එසේ නොමැති බව පැවසූ පසුවයි බෝධිසත්ත්වයෝ ඔවුන්ව හැර දා ගියේ. අනතුරුව සම්මා සම්බෝධිය අවබෝධකරගත් පසුව බුදුරජාණන් වහන්සේ ආනාපාන ධ්‍යානය, භාවනාව, විදර්ශනාව මතුකරන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය තියෙන දිශාවකට මෙය ගෙන ගියා.

ඒ අනුව බෝධි සත්ත්වයෝ ජය ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිට මා සම්මා සම්බුද්ධත්වය ලබා මිස මින් නොයමි යන අධිෂ්ඨානය ඇතිකර ගත්තෙත් මේ ආනාපානසති භාවනාවෙනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපිලා අවසාන හුස්ම පොද නිවී යන්නේද ආනාපානාසති භාවනාවට සම වැදීමෙනි.

එසේ නම් බුදුරාජණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරන මොහොතේත් පිරිනිවන මොහොතේත් උන්වහන්සේ ජීවිතයට එක්කරගත් ශ්‍රේෂ්ඨ භාවනාවකි මේ ආනාපානසති භාවනාව. ඹඅපේ සමාජයේ යම් මතයක් තිබෙනවා අධිෂ්ඨානය කිරීමෙන් මේ ආනාපනසති භාවනාව වැඩිය හැකි බව. නමුත් ඒ මතය සම්පූර්ණයෙන් වැරැදිය. එවැනි අධිෂ්ඨානයකින් ධ්‍යානයක් සකස්කර ගත හැකි බව බුදුදහමේ කොතැනකවත් සඳහන් වන්නේ නැහැ.

වෙනස හඳුනාගන්න

ඔබ නිරතුරුව නිවැරැදි ධර්ම මාර්ගය තුළ ගමන් කරන්න. ආනාපානසති භාවනාව තුළ සිත සමාධිකර ගන්නට පින්වත් ඔබ දක්ෂ වන්නට ඕනෙ.

ආනාපානසති භාවනාවත් විදර්ශනා භාවනාවත් අතර ලොකු වෙනසක් තිබෙනවා. කායානුපස්සනාව වඩන විට අසුබය, පිළිකුල, මරණානුස්සතිය වඩද්දී එසේත් නැතිනම් මෛත්‍රිය, බුද්ධානුස්සතිය වඩද්දී අධ්‍යාත්මික රූපය, බාහිර රූපයේ අනිත්‍යභාවය මෙනෙහි කරනු ලබනවා. මේ සියල්ල රූපය අරමුණු කරගෙනයි සිදුකරනුයේ. එහෙත් ආනාපානසති භාවනාවේ සුවිශේෂත්වය වන්නේ මෙය රූපය අරමුණු කරගෙන සිදුකරන භාවනාවක් නොවෙයි.

අරමුණ

ආනාපානසති භාවනාව වඩනුයේ හුස්ම අරමුණු කරගෙනයි. අපි කරන අනෙක් සියලුම භාවනාවන් රූපය අරමුණු කරගෙන රූපය ඇසුරු කරගෙනයි සිදු කරනු ලබන්නේ. එසේ නම් මේ ආනාපානසති භාවනාවේ දී අපේ පූර්ණ අවධානය හුස්ම වෙත තිබිය යුතුයි.

ආනාපානසති භාවනාව වැඩීමට පෙර කොන්දේසි කිහිපයක් පිළිපදින්නට වෙනවා.

පළමු කොන්දේසිය සිතීම තහනම්. මෙනෙහි කරන්නට බැහැ. අපි අනෙක් භාවනාවල දී රූපය මෙලෙසයි කියන, මෙනෙහි කරන නමුත් මෙම භාවනාවේදී සිතීම නොකළ යුතුයි. මොනම මොහොතකදීවත් සිතන්නට බැහැ. සිතුවොත් අපේ විචාර බුද්ධිය බැහැර වෙනවා. දැකීම පමණයි කළ යුතු වෙන්නේ.

කොන්දේසියක් පනවා ගන්නේ ඇයි?

මනස එක්තරා අවස්ථාවකට සකසා ගැනීම උදෙසයි මෙවැනි කොන්දේසියක් සකසා ගන්නේ.

මෙය බුද්ධදේශනයේ එන්නකි. ආනාපානසතියේ දී අපි ධ්‍යාන මට්ටම් සකසා ගන්නවා. එහෙත් දැන් මම ඉන්නේ මේ ධ්‍යානයේ මේ මට්ටමේ කියන කාරණාව නොසිතිය යුතුයි. ඒවා සිතන්නට ගියොත් ඔබ නිසැකවම සමාධියෙන් පිරිහීමට ලක්වෙනවා.

ආරම්භය

මේ කාරණා දෙක මුලින්ම සිතට ගෙන කය සෘජුව තබා ගෙන භාවනාව වැඩීම ආරම්භ කරන්න. ඔබට බුද්ධානුස්සතිය, මෛත්‍රිය වගේ භාවනා නිදාගෙන සිටින ඉරියව්වකදී වුව වැඩිය හැකියි. ආනාපානසතියේ දී පළමුව කය සෘජුව තබාගෙන වාඩි විය යුතුයි. එහිදී පුටුවක වාඩි වුණත් එරමිණියා ගොතාගෙන වාඩි වුවත් ගැටලුවක් නැත. වේගවත්ව ආශ්වාස ආශ්වාස කීපයක් ගන්න. ප්‍රසන්න අවංක සිනහවක් ඇති කරගන්න.

දැන් ඔබේ මනසේ නිරවුල් ප්‍රීතිමත් සිතකුයි ඇත්තේ. මුලින්ම ආශ්වාසය ගැන සිහියට ගන්න. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටිනුයේ ඔබට ඔබේ ආශ්වාසය ඉතා දිගු බව හැඟී යයි කියා. දැන් ඔබට ඇත්තේ හුස්ම දෙස බැලීම පමණයි. හුස්ම ගැන සිතීම නොවෙයි. ආශ්වාසයයේ දිග ගැන සිතන්නට එපා. එය ද මනසින් බැලිය යුත්තක් පමණි. ඔබ මේ ගන්නා හුස්මේ සුළං රැල්ල උදරයට ගොස් ආපිටත් උඩට ඇවිත් නාසයෙන් පිට වන තෙක්ම සුළං රැල්ලේ දිග දකින්න. සුළං රැල්ල ඔස්සේ සිත පිහිටවා ගන්න. ඔබ මෙලෙස සිත පිහිටුවාගත් කළ ක්‍රමානුකුලව ආශ්වාසයයේ සියුම් ස්වභාවය දකියි. ඇස් දෙක පියාගෙන සිටින ඔබට ආශ්වාසයයේ දිග භාවයත්, කෙටි භාවයත් දකින්නට සැලසේ. මෙය ආනාපානසති භාවනාවේ එක් අදියරකි.

දැනෙන හැඟීම්

දැන් ඔබට ඔබේ උදරය හරහා සියුම් හුස්ම රැල්ලක් එහාට මෙහාට ගමන් කරන බව පෙනී යයි. මෙය දකිමින් ඉන්නා ඔබට ඔබේ මුළු ශරීරයටම ප්‍රීත්මත් භාවයක් හැඟේ. එම ප්‍රීතියත් එක්කම සැපයක් ජීවිතයට එකතුවන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

දැන් ඔබ ප්‍රීතිය දෙස බැලුවා කියා ගැටලුවක් වෙන්නේ නැත. සියුම් ආස්වාස රැල්ලමයි ප්‍රීතියකට ඇත්තේ බව ඔබට අවබෝධ වී අවසන්.

යමෙක් වස්ත්‍රයක් අරගෙන වතුර බාල්දියක් ළඟට ගොස් වස්ත්‍රය වතුර බාල්දියේ ඔබමින් යම් සේ වස්ත්‍රය තෙත් කරනවාද එලෙසම ප්‍රීතියෙන් මුළු ශරීරයම ප්‍රබෝධ වන්නාක් වැනිය යැයි බුදුරාජාණන් වහන්සේ ආනාපානසති සූත්‍රයේ ආනාපානසති භාවනාවේ සැපය දේශනා කර තිබෙනවා. මේ සැපයේ ආශ්වාදය කැමැතිතාක් විදිය හැකි බව ද උන්වහන්සේ දේශනා කර තිබෙනවා. මෙය වඩ වඩාත් ප්‍රගුණ කර ගත් තැනැත්තාගේ නළල් තලයෙන් ප්‍රභාෂ්වර රශ්මියක් නිකුත් වෙයි. ආනාපානසති භාවනාව වඩාත් ක්‍රමානුකූලව වැඩූ තැනැත්තාට මෙය අත්විඳින්නට හැකියි. එයට කාල සීමාවක් නැත. තිගැස්සෙන මනසකින් හිතුවොත් වහා එය ඔබෙන් ඉවත්වී යයි. එයත් ඔබ මනසින් දැකිය යුතුයි. ආනාපානසතියේ රූපාවචර භාවය මෙයයි. මේ රූපාවචර භාවය දක්වාම ආලාරකාලාම, උද්දකරාම පුත්‍රත් ආනාපානසතිය සිදු කරනු ලැබුවා. එහෙත් මෙහි සුවිශේෂි අදියර ඇත්තේ ඉදිරි පියවරවල් තුළයි.

එය අපි ඉදිරි සතියකදී ඔබට පහදා දෙන්නෙමු.

රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනයක් ඇසුරිනි

185 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 08, සඳුදා 16:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න