තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 11:27

සාර්ථකත්වයේ රහස් කියවමු

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
බිස්නස් එක සාර්ථක කරගන්න මෙන්න රහස්   ජීවිතය පිළිබඳ ලස්සන හීන දකින මිනිසුන්ගේ මුවග රැව් දෙන වදනක් වේ නම් ඒ සාර්ථකත්වයයි.

 

වයස කුමක් වුවද හෙට දවස ගැන සුබ ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන ජීවිතය දිනන්නට හිතන කවුරුත් යන්නේ මේ සාර්ථකත්ව මාවතේය. එනිසාම අපි ඔබ වෙත සාර්ථකත්වය අත්පත් කරගත හැකි අයුරු නිරන්තරයෙන්ම පහදා දෙන්නෙමු.

බොහොමයක් දෙනෙක් ව්‍යාපාර ලෝකයට පිවිසෙන්නේ ද සාර්ථකත්වය අරමුණු කරගෙනය. ඒ ස්වයං රැකියා ලෙසින් ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ ලෙසින් විය හැකියි. සමහරුන් හවුල් ව්‍යාපාර, සමූහ ව්‍යාපාර මෙන්ම සමාගම් දක්වා වඩාත් වර්ධනය වූ ව්‍යාපාර ද කරගෙන යති. එහෙත් මේ කිසිවක් පළමුව විශාල ලෙසින් ආරමභ කළ ඒවා නොවේ. කුඩාවට පටන්ගෙන ක්‍රමයෙන් විශාල කරගත් ඒවාය.

ඕනෑම ලොකු ව්‍යාපාරිකයකුගෙන් ඇසුවොත් ඔවුන් කියන්නේ මේ තමන් බොහොම පුංචියට ආරම්භ කළ දෙය අද විසල් රුකක් ලෙස වර්ධනය වී ඇති බවකි.

එසේ නම් ඔබත් පුංචියට ව්‍යාපාරයක් ආරම්භ කළ අයෙක් ද? නැතිනම් ආරම්භ කරන්න සිහින දකින අයෙක් ද? එසේත් නැත්නම් ව්‍යාපාරයක් ආරම්භකර එය තවමත් වර්ධනය කරගන්නට නොහැකී වී ළතැවෙන්නෙක් ද? නැතිනම් ආරම්භ කළ ව්‍යාපාරය කරගන්නට නොහැකිව එය වසා දමන්නට කල්පනා කරන්නෙක් ද? එසේ නම් අද අපේ සාර්ථකත්වයේ රහස් කියැවීම ඔබ වෙනුවෙන්මයි.

 

මූලික අරමුණ

ව්‍යාපාරයක් ආරම්භ කරන අයගෙන් ව්‍යාපාරය ඇරඹීමේ මූලික අරමුණ මොකක්ද කියලා ඇහැවුවොත් වැඩි දෙනෙක් ගේ පිළිතුර වන්නේ ලාභ ඉපැයීම යන්නයි. නමුත් ඒක වැරැදි පිළිතුරකි.

ඇත්තම අරමුණ විය යුත්තේ අලුත් ගනුදෙනුකරුවකු ඇති කරගැනීමත් ඉන්නා ගනුදෙනුකරු රඳවා ගැනීමත්ය.

ඒ නිසා ව්‍යාපාරයක නියැළෙන ඔබ ඔබේ කාලය, වියදම් සහ උත්සාහය යන ඒවායෙන් 50% ක් දැරිය යුත්තේ ඉහත අරමුණ ඉටුකර ගැනීම සඳහාය. එනම් කිනම් අයුරකින් හෝ අලුත් ගනුදෙනුකරුවකු ඇති කර ගැනීමටත් දැනට ඉන්නා ගනුදෙනුකරුවන් රඳවා ගැනීමටත්ය. එසේ වුවහොත් පමණක් ඔබට ලාභ ලැබේ.

 

ප්‍රධාන මිනුම

 

ව්‍යාපාරයක සාර්ථකත්වයේ මූලික මිනුම විය යුත්තේ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමය. ඔබගේ ව්‍යාපාරික ස්ථානයෙන් යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්නා පුද්ගලයා ඔබ අලෙවි කළ භාණ්ඩය හෝ සේවාව පිළිබඳ තෘප්තිමත් නම් එය නැවත ලබාගැනීමට නිසැකවම ඔබ ළඟට එනවා.

ඒ විතරක් නෙමේ ඔහු/ඇය ඒ පිළිබඳ ඔහුගේ/ඇයගේ යහළු යෙහෙළියන්, හිතවතුන් ද දැනුවත් කරනවා. ඔවුන් ද කැටුව එනවා. ඒ නිසා ඔබ පාරිභෝගිකයා තෘප්තිමත් වන ලෙස හොඳම භාණ්ඩ හා හොඳම සේවයක් සැපයිය යුතුයි.

ඒ කියන්නේ ඔබ අලෙවි කරන දෑ අලෙවිකරන වෙනත් ව්‍යාපාර ගත් විට ඒවාට සාපේක්ෂව ඔබේ ව්‍යාපාරය වෙතින් ඊටත් වඩා සුහද හොඳ සේවයක් සැපයීම කළ යුතුයි. ඒ නිසා ඔබ වෙත පැමිණෙන පාරිභෝගිකයා තෘප්තිමත්වන ආකාරය පිළිබඳ යම් වැටහීමක් ඔබ සතුව තිබිය යුතුයි.

 

මූලික අවශ්‍යතාව

ධනය වර්ධනය කරගැනීමටත් ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහාත් ප්‍රධාන අවශ්‍යතාව වන්නේ ඔබ යම් ආකාරයකින් වටිනාකම් එකතු කිරීමයි.

එනම් දිනෙන් දින ඔබ වෙහෙස විය යුත්තේ ඔබ සපයන භාණ්ඩයේ හෝ සේවාවේ වටිනාකම වැඩිවන ලෙස විවිධ අංගයන් එකතු කිරීමටයි. ඔබ අයිස්ක්‍රීම් වෙළෙඳ සලක් පවත්වාගෙන යන්නේ නම් අයිස්ක්‍රීම් මහා පරිමාණයෙන් එනම් ලීටර් දෙක, තුන හෝ ඊට වැඩි ලෙස ඉල්ලුම් කරන්නන්ට අයිස් කෝන් නොමිලයේ හෝ වට්ටමක් සහිතව සැපයීම ඔබේ අයිස්ක්‍රීම්වල වටිනාකම වැඩිකරයි.

ඔබ වැනිලා අයස්ක්‍රීම් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ සිටම කෑමට විකුණන විට එම අයිස්ර්‍ක¡ීම් වැඩිපුර රසවත් කිරීමට වියළි මිදි, චොකලට් කැබලි හෝ වෙනත් දෙයක් එකතුකර දිය හැකියි. එය පාරිභෝගිකයාගෙන් අසා ඔහු/ඇය කැමැති ලෙස සකසා දිය හැකියි. එමෙන්ම එය එලෙස ලැබෙන්නේ අයිස්ක්‍රීම්වලට අමතරව නොමිලයේ බවත් ඒත්තු ගැන්විය යුතුයි. අද ඔබෙන් අයිස්ක්‍රීම් කන අය ඊළඟ දවසෙත් නිසැකවම ඔබ ළඟට එනවා. ඒ එය පාරිභෝගිකයාට අලුත් අත්දැකීමක් නිසාත් අයිස්ක්‍රීම්වලට අලුත් වටිනාකමක් ලැබී ඇති නිසාත්ය.

 

මූලික අවධානය

ව්‍යාපාරයේ වටිනාම පුද්ගලයා ඔබේ පාරිභෝගිකයායි. ඒ නිසා ඔබ වෙත එන පාරිභෝගිකයාට හැම මොහොතකම හොඳ අවධානයක් ලබා දිය යුතුමයි. ඒ මොකද කියනවා නම් පාරිභෝගිකයෙක් කියන්නේ නොඉවසිලිමත්, වහා වෙනස්වෙන, ඉක්මනින් කෝප විය හැකි කෙනෙක් නිසයි. දැන් බලන්න, පාරිභෝගිකයෙක් යම් දෙයක් මිලදී ගන්න ඔබගේ වෙළෙඳසලට එනවා. ඒත් ඔබ ඔහු/ ඇය ගණන් නොගත්තා වගේ ඔහේ පාඩුවේ ඔබේ වැඩක් කරගෙන ඉන්නවා. පාරිභෝගිකයා මොකද කරන්නේ බලාගෙන හිටියා. කවුරුත් අවධානයක් දුන්නේ නැහැ. එතැනින් එළියට බැහැලා වෙන තැනකට යනවා. දැන් පාඩුව කාටද බලන්න? මොකද බඩු ගන්න තියෙන්නේ ඔබේ ව්‍යාපාරය විතරක් නෙමේනේ. එහෙනම් ඔබ හොඳ අවධානයක් දීලා භාණ්ඩය විකුණා ගන්න හිතන්න ඕනේ.

 

මිල

ඔබ ව්‍යාපාරිකයෙක් ලෙස භාණ්ඩ හා සේවා සඳහා යම් මිලක් නියම කරයි. ඒ මිල හදන්නේ එම භාණ්ඩය ඔබ ගත් මිලට බදු හා තවත් යම් ලාභයක් එකතු කරගෙනය. සමහර විට එයට එම භාණ්ඩය ඔබ වෙත ගෙන ඒමට ගිය ප්‍රවාහන කුලිය ද එක්කරයි.

සේවක වේතන අනුව ද එයට කොටසක් එක්කරයි. මෙලෙස විවිධ කරුණු අනුව විවිධ හේතු අනුව විවිධ දෑ එක්කරමින් එම භාණ්ඩය අලෙවි කිරීමට මිලක් නියම කරයි. එහෙත් එම මිල ඔබ ළඟට එන පාරිභෝගිකයාට දැරිය නො හැකි මිලක් නම් කිසි දිනෙක ඔබේ භාණ්ඩය අලෙවි වන්නේ නැත.

ඔබේ සේවාව ලබාගැනීමට කවුරුත් එන්නේ නැත. ඒ නිසා මිල තීරණය කිරීමේ දී එයට විවිධ දෑ එක්කරමින් මිල තීන්දු කරන්නට පෙර එම මිල පාර්භෝගිකයාට දැරිය හැකි මිලක් ද යන්න පළමුව සිතන්න.

ඒ නිසා ව්‍යාපාරය දිගින් දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් පාරිභෝගියාට ගෙවිය හැකි මිලක් භාණ්ඩයේ අවශ්‍යතාව අනුව නියම කරන්න.

ඔබ ගෙවන බදු, ගෙන ඒමට ගිය ප්‍රවාහන

 

කුලී හෝ සේවක වැටුප් පාරිභෝගිකයාට අදාළ නොවේ. හැබැයි මොනතරම් මිල ඉහළ ගිය ද සමහර භාණ්ඩ හා සේවාවන් මිල ගැන නො හිතා මිලදී ගන්නා අවස්ථා ද ඇත. එවැනි භාණ්ඩයක ට යම් ඉහළ මිලක් නියම කළ හැකි වුවද එය සාධාරණ මිලක් විය යුතුමයි. සාධාරණ මිල යනු පාරිභෝගිකයා නිරන්තරයෙන් ඔබ වෙත රඳවා ගත හැකි ප්‍රබල සාධකයක් බව කිසිවිටෙකත් අමතක නොකරන්න.

 

තත්ත්වය

ඔබ සපයන භාණෟඩයේ හෝ සේවාවේ තත්ත්වය ඉතා ඉහළ විය යුතුයි. එනම් ඉස්තරම් ඒවා විය යුතුයි. ඔබ ඇඳුම් අලෙවි කරන්නේ නම් උසස් නිමාවේ ඒවා විය යුතුයි. කල්පැවැත්ම, සායම් යන නොයන බව ආදිය පිළිබඳ හොඳ අවධානයක් ලබා දිය යුතුයි. ඒ වගේම විලාසිතා පිළිබඳ ද අවධානය යොමු කරන්න. යල් පැන ගිය විලාසිතා සදහා ඉහළ ඉල්ලුමක් නැති බව වටහාගන්න. ඔබ අලෙවි කරන්නේ ඉහත කී කරුණූුවලින් මිදුණු, යම් ඩැමේජ් තත්ත්වයක් සහිත භාණ්ඩ නම් ඒ පිළිබඳ ඔබේ පාරිභෝගිකයා දැනුවත් කළ යුතුයි. ඔබ ඉහළ නිමාවක ඇඳුම් අලෙවි කරන්නේ නම් ඇඳුමේ සායම් යන්නේ නම් හෝ සිතා ගත නොහැකි ලෙස නිකම්ම ඉරී ගියේ නම් එම ඇඳුම ගෙන නැවත හොඳ ඇඳුමක් ලබා දීමට ඔබට හැකි විය යුතුයි.

 

මෙලෙස ව්‍යාපාරයක් සාර්ථක කරගන්නට ඔබ දැන සිටිය යුතු තවත් සාර්ථකත්වයේ රහස් බොහෝය. අපි ඉදිරියේ දී එම කරුණූු පිළිබඳ ද කතා කරමු.

232 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 11:28
අදහස් එක් කිරීමට ලොග් වෙන්න