පාඨක නිර්මාණ

Week of අප්‍රේල් 21, 2021

නොකල්හි එළඹුම...
රමේෂ් සංජීව, ~ පන්සල පාර, තිඹිරිගස්කටුව.



වලාකුළ ඇවිදින් ගම් දොර
අකල් වැස්සක් අරගෙන
ගුගුර ගුගුරා හෙණ හඬින
විදුලි දිව දික් කර කර

දරණ ලා කඳුහිස මත
පෙණ ගොඩ නඟා අහසට
ළා හිරු මැණික ගිලගෙන
කළු නාගයකු විලසින

හීන් ඉඳිකටු වැහි පොද
වලින් ඇන තුරුපෙළ අත
පළවෙනි වසත් මල් මිට
උදුරා ගඟට විසිකර

නිල්ල නඟමින් හිනැහුන
ගොයමටත් කොඩිවින කර
වලාකුළ නුඹෙ එළඹුම
වලාහක දෙවි නොදැනද

වමාරා ළා හිරුමිණ
සුදු වලාකුළ හැම හැරී
ඉතිරි කර ගඟ බොර දිිය
ඇදී ගිය මුත් ඈතට

නුඹ උරුම කළ කඳුළැලි
තුරු පෙළ වගුරුවයි තව
වලාවේ මින් මතු
නොකිය නොඑන් ගම්දොර
අව්වෙ වැනු වී ටික
තෙතබරි වුණා හොඳටම....


 

අම්මා ළඟ නැතිව තනිවෙලා මං
ක. වි. ආ. වෛද්‍යතිලක ~ දෙනියාය පාර, මොරකවක



වෙල් එළිය සුන්දරයි
දුව පනින්න ආසයි
අත් පා වාරු මදි
තනි වෙලා මං

සැන්දෑව සීතලයි
ළඟින් ඉන්න ආසයි
මව් උණුසුම නැතිව
තනිවෙලා මං

සඳ එළිය පියකරුයි
රාත්‍රිය බියකරුයි
වකුටු වී ඉපනැල්ලෙ
තනිවෙලා මං

දිගටම වැසි වසියි
ගඟ දිය ගොඩගලයි
ළඟ අම්මා නැතිව
තනිවෙලා මං

හෝ හෝ ගා හඬ නඟයි
ගංවතුර හරි සැරයි
ගංතෙර බඩවැටියෙ
තනිවෙලා මං

අම්ම එන මඟ බලයි
උම්බෑ හඬ තලයි
සාගිනි නිවනු බැරි
තනි වෙලා මං

 

බිඳුණු සිතක ආදරය
බී. ඉරේෂා සංජීවනී ~ කිරිමැටියානවත්ත, ලුණුවිල

 

රෝස මලක කටු ඇනී
මගේ දෙනෙතට කඳුළු පිරී
බඹරු ඇවිත් මලින් මලට පියඹා
යන්නේ ඇයි මල රවටා

වනයේ මල් පිපුණත්
ඒ මල නෙළන්නෙ කවුරුද
සමනලයා මලට වසා ගියත්
මල් පරවෙන්නෙ ඇයිදෝ

පිනිබිඳු කඩා හැලී
සරාසඳට කවි ලියා
ආදරේ හැඟුම් රිදවයි
ඔබ මා නොදුටු සේ යාවිදෝ

සුළඟ වගේ හමාගියත්
වරුසාව සේ ඇද හැලුණත්
මගේ කඳුළු නුඹ නොදැක ගියත්
මට රිදවා ඔය හිත

ඇස් දෙකට හොරෙන් බලා
මගේ හදවත සිදුරු කළා
මා පැතූ ඔබ මට අහිමි වෙළා
මතු සසරේත් ඔබ මගේ වේවා



 

සසල සිතුවිලි
දිස්නා කුමාරි සායක්කාර ~ තෙට්ටුගොඩ පාර, තලංගම උතුර


 
 විහාරේ ඝණ්ටාර නාදයට මුසු වී
 සංසාර පුරුද්දෙන් මඟ අසා ගෙන
 හුරු පුරුදු මතකයන් අවදිව
 දඟකාර යෞවනය කසා වතක සැඟවුණා
 
 වසා ගෙන නෙතු පියන්
 කුමර බඹසර අසපුවේ
 සම වැදී හුන් දැහැන්
 ඇසිල්ලක දී බිඳී විසිරී ගිහින්
 
 තාරකා එළි ඉඟි මරා
 ගන අඳුරු රැය පුරා
 සඳවතක් හිනැහුණා
 හිත ගාව තනිකම මකා...
 
 බිඳෙයි විසිරෙයි සාගරය සේ
 සිතුවිලි පෙළ රළ ගසයි
 හිතට අරමුණු නිමක් නොපෙනෙයි
 නිවන තව බොහෝ ඈතයි....


  

හිතුවක්කාරී
සීතා ලියනගේ ~ මහර, කඩවත

 


මේ වන් දුරක් ආවේ තුරුලේ එල්ලී
ප්‍රාණය ලෙසිනි රැක ගත්තේ කිරිල්ලී
සිහින ලොවෙන් මිදුනද දැන් සමනල්ලී
කොතැන ගියේ අපෙ සුරතලි ඉගිල්ලී

මෙපමණ කලක් නොදැන සිටියේ ඔබගෙ උපා
මාපිය දෙදෙන රවටා ඔබ සෙනෙහෙ පපා
දැහැමි සිතින් සිප ගත්තේ අපගෙ දෙපා
පපුවට ගින්දරක් දෙන්නද කොමළ පපා

පැතු ලෙසම රස මසවුළු ලැබෙනවද?
පෙම්බර වදන් අහලා හිත පිරෙනවද?
මෙතුවක් වින්ද සැප සම්පත් අමතකද?
අප ගැන මතක අමතක කර දැමුවාද?

මල් මල් ගවුම තනිවී ඇත යහන මත
පොත් පත් දකින විට වාවනු බැරිය සිත
පොඩි දැරිවියකි තාමත් සියුමැලිය ගත
පතිනියක් වීද නොදැනම අසම්මත

විසකුරු සපුන් සිටිනා බව නොකීවෙද?
මව් පිය වදන් මුසා දෙසතැයි සිතුවාද?
මහමෙර තරම් ළෙන්ගතු බව නොදනීද?
මැවු සුර පුරය නොදැනීම අද අළුවීද?

ඔහු තව හිතක නතර වූ බව දනී ද?
සුරලොව එපා වී ඔබ අද තනි වී ද?
නොබිඳෙන සෙනෙහෙ දැන් මතකෙට එනවාද?
දැන්වත් කැදැල්ලට එන්නට නොසිතේද?

 


මව්පියන් හැර ගිය දියණියක පිළිබඳ ළතැවෙන මවකගේ වේදනාව අපුරු ජීවන අත්දැකීමක් බවට පත්කිරීමට කිවිඳිය සමත්වන්නීය. ජනකවි ආකෘතිය කවියේ අත්දැකීම හා මනාව බැඳේ. යසෝදරාවත කවියක් මතකයට නැඟේ.

Week of අප්‍රේල් 21, 2021