පාඨක නිර්මාණ

Week of අප්‍රේල් 28, 2021

අශෝකමාලාට පෙම් හසුනක්
නිරෝෂිනී සකුන්තලා පෙරේරා ~ අනුරාධපුරය

 

නෙත් තඹරු දුටුවෙමී
කොවුල් ගී ඇසුවෙමී
දුරින් හිඳ
චණ්ඩාල දේවී
කිසිදාක කියාගත
නොවුණු මුදු ප්‍රේමයක්
තිබුණේය චණ්ඩාල දේවී

ඉසුරුමුණි සුරවමිය
කසී සළු දවටාන
හිදිනු දැක නිරිඳු පුත තුරුලේ
රොඩී හිත සැඟව ගමි
වශී ගුරුකම් නොදෙමි
මට අහිමි චණ්ඩාල දේවී

කඳුළු දියසුළි මවන
දිව්‍ය රන් මසු උයන
හිත තදට පෑරුවා රහසේ
එක් වරක් කියන්නෙමි
හෙටත් හිත ඉඩ තබමි
නුඹ තමයි මගෙ ගාඩි දේවී


 

මගේ කඳුළු
මානෙල් මංගලිකා වෙත්තසිංහ ~ ටෙම්ප්ලර් පාර - ගල්කිස්ස


 
 ඔබ...
 නැති දවසක
 මං හිටියත්
 නෙතේ කඳුළු නැහැ හඬන්න
 ඔබ දුන් දිවුරුම් සමඟින්
 ඒ කඳුළැලි - ගියා යන්න
 
 මං....
 නැති දවසක
 ඔබ හිටියොත්
 ඔය දෙනෙතින් හිනා වෙන්න
 පෙර දවසක...
 ඔබෙ කඳුළැලි
 ඇය අරගෙන - ගියා යන්න
 
 ඇගෙ නෙතු ළඟ
 සෙනෙහෙ සිතින්
 ඔබ දැවටුණු - හැටි දකින්න
 ඔබ නුදුටුව...
 මගෙ කඳුළැලි
 ලියූ පදවැල් - තුළ බලන්න
 

 

ප්‍රාර්ථනා
වික්‍රම සෙනෙවිරත්න ~ හොරේතුඩුව - මොරටුව


 
 පෙරුම් පුරාගෙන මේ ජීවන මඟ
 ආවෙමි ඔබ නෙතු ගැටෙන තුරා
 පාන්දරම පිපි මල් පොකුරක් සේ
 ඔබ සිටියා මුව සිනා පපා...
 
 මේ දිවි ගමනේ රන් ටැඹ වී ඔබ
 රැගෙන ගිහින් හද මටද සොරා
 සඳවති ඔබ වී මා හද අඹරේ
 මුළු ජීවිතයම එකලු කළා
 
 සඳ තරු දිදුලන රෑ මුතු පින්නේ
 සිටියා මතකයි තුරුළු වෙලා
 මේ සංසාරේ මතු හැම භවයෙම
 පතනෙමි ඔබ මගෙ වෙන්න කියා

 

නැටුම් ගුරුතුමියගේ නික්මීම
එච්. ඒ. මුදිතා ~ බොපේ - ගාල්ල.


 
 වැයෙන බෙර පද තාලෙට
 ඔසරි පොට නැටුවෙ දොංකිට
 ගැයෙන මියුරු ගී තාලෙට
 ටිකිරි පා තැබුවෙ කදිමට...
 
 මුහුකුරා නොගිය තරු කැට
 පිරිවරා සිටිය සඳ නැත
 එනතුරා බලන පෙර මඟ
 පොඩි ඇසේ කඳුළු මුතු කැට
 
 අඹ ගහේ සෙවන වල් වැද
 බංකු පුටු හඬයි ඉකි බිඳ
 ඇය එතැයි බලා නැති කල
 හෙලා යයි සුසුම් මඳ නල
 
 උදා හිරු කිරණ මිහිමත
 පමා වී වැටෙණු ඇත හෙට
 විහඟ ගී ඇසෙනු කෙලෙසක
 සිනා පිරි වුවන නොම දැක...
 
 බෙර වැයූ ගැයූ කෙවිලිය
 රිදවනා සිතින් නොවුණද
 කිරි සිනා කඳුළු කරමින
 ඉගිල්ලා ගිහින් නගරෙට...
 


 
 කවියේ අත්දැකීම අපූර්වය. ගමේ පාසලේ නැටුම් ගුරුතුමී නරගයට මාරුවීමෙන් කම්පාවට පත්වන දරුවන්ගේ ශෝකය කිවිඳිය ශූර ලෙස කවියට නගයි. ඉකිබිඳ හඬන බංකු පුටු බෙර වැයූ ගැයූ කෙවිලිය වැනි රූපකාර්ථ සහිත බස කවියෙහි කලාත්මක ගුණය රකී.

ගිලිහුණු පැතුම
කේ එම්. එල්. රත්නසීලි ~ කණුල්වෙලා - බිබිල


 
 අතීතය යළි පැමිණ
 සමවැදුන ධ්‍යාන බිඳ
 තටු සලන මතක විහඟුන්
 සිතුවිලි ගෙන යනු දැනේ...
 
 කඳුළු දිය ඇල්ලක්ව මතු වී
 නෙතින් පැන රත’දර තෙමද්දී
 උඳුපියලි පලසේ ගැටුණු
 නුඹෙ පියවර හඬ සිහිවිණි
 
 සිහිනයක රන්රස පොවා
 කොහේ සිට පැමිණෙයෙද නුඹ
 සඳවතට සීපද අමුන අමුනා
 ඇහැළ මල්පෙති දිගැරෙන රැයේ්
 
 සෙනෙහස ලියකම් කළ පැතුම
 ජීවිතය සොයන ඇසිල්ලේ
 තරු මත විසුල පිනි බිඳු
 අරුණෙහි සැඟවිණි සිත රිදුම් දී
 
 

සැඳැල්ලේ සිට
ජයමිණි හේරත් ~ බිම්පොකුණ , පොලොන්නරුව


 
 ඉල්මහේ හද පළුව
 හන්තානට උඩින් පායලා
 තරු මල් කිනිති අතර
 බලන්නට ලස්සනයි
 
 විදුලි බුබුළු දැල්වෙන
 මහනුවර නගරයේ
 සොඳුරු මැඳුරුවල
 සියල්ලෝ නිදි යහන්වල
 
 අපේ සැඳැල්ලට මීදුමත්
 ඇවිදින් කියන්නෙම නැතුව
 සුදුම සුදු මීදුමේ
 පරිසරය හැංගිලා
 
 මහවැලි කොමළියේ
 මුනු මුනුව විතරයි
 ඇසෙන්නේ සවනට
 පෙනෙන්නට නෑ ඈ
 
 

Week of අප්‍රේල් 28, 2021