පාඨක නිර්මාණ

Week of මැයි 12, 2021

වසා ගනිමි...
එම්. ආර්. නිලන්ති ~ ජයරාජපුරය - මහකුඹුක්කඩවල

 


දෙ ඇස
එක් මොහොතක,
නුඹ ගැන වූ
මතකයක ඡායාව
දකින්නට මනසින්...
තුරුළෙහි රැඳෙන්නට...
සෙනෙහස විඳින්නට...
වරම් අහිමි වූ
අවාසානවන්තිය මා...
සුළඟට ලෙළ දෙන
සුදු කොඩි...
අහස් කුස සිඹින්නට
වෙර දැරූ එදා...
පුංචි එකියකි මා...
ලඳ බොළඳ වියේ හුන්
නමුත්...
සිහි වන විටදි හද පාරවයි
සිත ඇවිළෙනු වේදනාව
එදාටත් වඩා අද දින
නුඹ අවැසිවග
හැඟේ මට...


 

අම්මේ ඔබ යන්න ගියා මැකිලා
නිශාලි විජේසිංහ ~ මහාබෝධි මාවත - කඩවත


 
 මුසුවූ අවසන් සුසුම හිස් අවකාශයට
 ගියේ කොහෙද අම්මේ සැඟවී දුරක
 අදහා ගත නොහැක ඔබ යළි නොඑන බව
 දුටුවෙ සිහිනයක්මැයි මම සිතනෙමි එවිට
 
 දැනුණා ඔබට රැඳෙනු බැරි බව මෙලොව
 හැඬුවා ඔබට හොර රහසේ මා දෙනෙත
 සනහා ඔබව මා ළය වෙත තුරුළු කර
 සිටියා මා ඔබේ ළඟ අවසන් මොහොත
 
 මරණයෙ දුක දැනෙන්නේ මියගියවුන්ට නොව
 ඒ දුක දැනෙන්නේ ජීවත්වන්නාවුන්ට බව
 ඒ බව පසක් කරදී මා දමා දුක් ගින්දරක
 ඔබ යන්න ගියා මැකිලා මෙලොවින් නික්ම
 
 පාළුයි අම්මෙ ඔබ හඬ නොඇසී රුවද මැකී
 බැලූ බැලූ හැමතැනම පෙනුණා ඔබව මැවී
 ඔබෙ සීතල මුහුණ අදරින් සිපගනිමි
 මව්වත් ඔබේ සුවඳේ තව තව රැඳෙමි
 
 ඔබ හා එක්ව ගෙවූ කාලය මදි බව දැනුණා
 පසුගිය සොඳුරු මතක යළි සිහියට නැඟුණා
 හමුවේවා මතු භවයක යළි ඔබෙ දියණිය ලෙසිනා
 පතනෙමි සුබ ගමන් ඔබට අදරැති මගෙ අම්මා
 

 

මූදු ගිය අප්පච්චි
රමේෂ් සංජීව ~ තිඹිරිගස්කටුව


 
 හැපි හැපී වෙරළ මත
 ඉකිබිඳින රළ අතර
 ඔබේ හඬ ගීයක්ව
 තවම මට ඇසෙනවා
 
 දුර ඈත ක්ෂිතිජයේ
 සැඟව යන හිරු මඬල
 තුළ ඔබේ වත කමල
 මැවි මැවී පෙනෙනවා
 
 නිසල පොල් රුප්පාව
 උස් මහා පවුරක්ව
 ඔබට අපට සෙවණ දුන්
 අයුරු සිහි නැගෙනවා
 
 ගන අඳුර හා මුසුව
 තනිකමට ළඟ සිටින
 මඳ සුළඟ ඔබ ගැනම
 කියා ඉකි බිඳිනවා
 
 සත් සයුර ගෙවා ඔබ
 එළිය ගෙන වඩිනතුරු
 පියාණෙනි අඳුරේම
 මම බලා සිටිනවා...
 

 

මා දකින ලොව ඔබට
දිලිනි කුමාරිකා කරනායක ~ කිරලවැල්කටුව පාර - ඇඹිලිපිටිය


 
 කෙළිකවට සිනා මැද නුඹ වැඩෙන ගම තරම්
 නිදහසක් නම් මෙහේ දකින්නට නැති තරම්
 අහිංසක සිහින වැල් කඩුල්ලට හිර කරන්
 මමත් නුඹ වගේමයි කලක් හිටියා බලන්
 
 ගුවන් විදුලියෙ සාලෙ දොඩමලුයි නෑ ඉවර
 එපමණයි අපි ඇසුවෙ එය නොවෙයි මුළු ලොවම
 සුදු ගවොම පොඩි ඇඳන් වෙල් එළියෙ දුවන’තුර
 නවැති දේ එකතු වී දුර ගිහින් ලොව අපට
 
 හුණු කූරෙ මල් රටා කළු ලෑල්ලේ පිපෙයි
 තිරය ස්පර්ශයෙන් දිග හරී පිටු පෙළට
 නිදිවරා පත්තරෙන් ගෙදර වැඩ සොයන නුඹ
 දන්නවද තත්පරෙන් සිතැඟි සොයනා අයුරු
 
 ලොව වටා විස්මයන් අහඹුවකි නුඹෙ ඇසට
 නමුදු දැන් අහඹු දේ දැකිය හැක එක මිටට
 සඟවමින් මගේ අගහිඟ සරසවියෙ කොනක
 මමත් රියසක වීම් දිව ඇදෙන්නා වූ රියට
 
 ඇඟිලි තුඩු ඇණවුමෙන් නිවසටම බඩු ගෙනෙන
 බව දනිද අපෙ අම්මා පොළේ ගොස් බඩු ගෙනෙන
 කඩපිලේ වැඩි මිලට විකිණෙනා කර මාල
 දන්නවද නංගියේ මිල අඩුයි තිරය මත
 
 සැණෙන් දිවෙනා ලොවට හැල්මෙ දුවනා නුඹට
 පෙන්වමී විශ්මයන් මෑතදී මම දුටුව
 පෙර කියූ තිරය මත නුඹෙ දෑස් දල්වන්න
 ඉවසුමක් නැතිය මට ගමට එනතුරු ඉන්න
 

 

රාත්‍රිය
ස්වර්ණ මාතරහේවගේ ~ තිඹිරිගස්කටුව
බැබිල මල් වගෙයි ගගනතෙහි පිරි තරු පොකුරු
සඳ දිියෙන් තෙමි තෙමී පිපෙයි කොඳමල් කැකුළු
රැහැයියන්  ගයත්දී නෙක ගීත පද මියුරු
හිමි හිමින් මුමුණනා හඬ ඇසෙයි උණ පඳුරු
 
මුතු පින්නේ නෑවිලා කඳු පියස දිදුලන්නෙ
සුවඳ ඇහැරවාගෙන කඩුපුලුත් හිනැහෙන්නෙ
මඳ පවනෙ  තුරු අගිසි හිමි හිමින් මුමුණන්නෙ
දුක හිතී කණමැදිරි පත් අතරෙ සැඟවෙන්නෙ
 
සඳ දියෙන් නෑවිලා කඳු පියස දිදුලන්නෙ
තටු සලා මා වවුල්  කැළ අහසෙ ඉගිලෙන්නෙ
කවුළුවෙන් සඳ එළිය ඇවිත් මුව සිපගන්නෙ
සොඳුරු කවි සිතුම් මගෙ හදවතේ උපදින්නෙ
 
කුමුදු සේපාලිකා  කඩුපුලී පිබිදෙන්න
උඳු පියලි පලස් මත  හා පැටවු නළවන්න
හදවතේ නිදියනා කවි සිතුම් ඇහැරන්න
රාත්‍රිය ඇවිල්ලා ලොවම නිදි කරවන්න
 
 
 
රාත්‍රියක චමත්කාරජනක රූප මාලාවක් විසිතුරුව නිර්මාණය කරන කිවිඳිය, සොබා සිරිය වර්ණනා කිරීමට උචිතම වස්තූන් තෝරා ගනී. තරු පොකුරු  බැබිල මල් වැනි යයි කීම, කඳු පියස මුතු  පින්නේ නෑවී ඇති බව, රමණීය අර්ථ මතුකරයි. සාම්ප්‍රදායික  රාත්‍රී වර්ණනයකට වඩා වෙනස් වූ නිර්මාණයකි.

Week of මැයි 12, 2021