පාඨක නිර්මාණ

Week of අගෝස්තු 4, 2021

මළගම
ඉඳුවර සචින්තන ජයතිලක ~ මා/ශාන්ත තෝමස් ජාතික පාසල - මාතලේ



අකල් වැස්සට නැගුණු තලමල්
කඳුලු නෙත් පොළවට යොමන්...
ඇස් අරින පොඩි කුරක්කන් රැල්
ඉකිබිඳී දා සුවඳ සොයමින්...

නියඹරා පත් අඳී සුදුවත්
මළගමට යන්නට බලන්....
දඬුවැටේ වාරුවෙන් උන් හැම
ඉන්නවා දුක උහුලමින්...

අතු බිඳී ගිය මහ බැද්ද මැද
තනිව තිබුණා වාං පතුරක්...
තනිය තනියා සමඟ ඇවිදින්
බිඳ දමා ඇත පුංචි පවුලක්...

හේනෙ පැල ඉම තාම නිහඬයි
කොයිද සීපද පැන ගියේ
ගෙපැල හේනද පැල ද එකසේ
හඬයි ඉල්ලා පිතු සෙනේ...


වන අලි ගහන හේනක සිටි පියෙකුගේ හදිසි මරණයෙන් පසු දරුවකු තම පියා වෙනුවෙන් හැඬූ අත්දැකීමකි. කාව්‍යොක්ති මඟින් පරිසරයේ බියජනක බව මැවීමට කවියා සමත් වී සිටි. ඉකිබිදින කුරක්කන් රැල්, නිහඬ පැලඉම, පැනගිය සීපද කවියාගේ කලාත්මක භාෂාව පිළිබද නිදසුන්ය.

සසරක ගමන් මැද
ඒ. එම්. පී. නිරංජන ~ කඩොල්කැලේ කලපුව - මීගමුව



නොනවතින සසරක ගමන් මැද
තණ්හා ආශා පොදි බැඳ
සැමට කලින් ජයගන්න ලොල් බැඳ
කොහිද අප යන්නේ වී අන්ධ

සතෙක් මැරුණු කල අනේ අපොයි කී ජන
නොහඳුනනා ලෙස දුවයි යන මඟ නොදැන
අසන බණ පද දොහොත් මුදුන් දීගෙන
අමතක කරයි යන විට පන්සල පෙනෙන

වැඩිහිටි ගරු බුහුමන් ඇත අද මැකී
දුවට වඩා අද මව හරියට මොඩ් වෙති
විලිබිය වසා දුහුල් සුදු පාට සළු පිළි
පතිදම් කොහෙද පස ඉඳුරන් පිනවති

මනුසත් ගති මකා තිරිසන් ගති පෙන්නා
මව පියා නොබලා හරියට වද දෙන්නා
මසුරු සිත පාපයට මඟ පෙන්නා
මිය යන විට යමපල්ලෝ හිනැහෙන්නා

ඇස්දෙක වසා නොහඬා අපි උපදින්නේ
තට්ටුව දමා ජීවක අප හඬවන්නේ
මැරෙන විටදි අපි මොනවද ගෙනියන්නේ
නොමැරෙන ලෙස ඇයි මිනිසුනි හැසිරෙන්නේ

සසර පුරා මැරි මැරි යළි යළි ඉපදෙන
කළ පිං පවු ලෙස දුක සැප ලැබෙන
දනට පිනට දහමට මුළු සිත් යොදන
මිනිසුන් වෙති බෝසත්වරු ලොව වෙසෙන

 

ඉසිඹුලෑම
සමන් පිහිල්ලේගෙදර ~ උඩුවෙල - මහනුවර


 
 පුරා තිස් වසක්
 නුඹේ හෙට දින
 ගොඩ නඟන්නට
 වෙහෙසුනෙමි මම
 මහත් බැතියෙන්
 
 සිනා මල් පුදා
 දෙපා නමදින පැටවුණේ
 දිසාපාමොක් ඇඳුරු විලසින්
 සකලවිද කලා
 ඉගැන්වීමට නොහැකි විය මට
 නුඹලාට
 
 එසේ වුවද
 හොඳ මිනිසෙක් වීමට
 ඇවැසි හැම දේ
 කියා දුන්නෙමි
 මහත් සතුටින්
 
 ඉතින් දරුවනි
 ඉදිරියට ගොස්
 දිනනුමැන හෙට ලොව
 එයයි මට ඇති
 එකම වස්තුව
 ගෙවී යන මගෙ
 සැදෑ සමයේ
 

 

හැර ගියත් ජීවිතේ
අමරා කුමාරිහාමි ~ වලල - මැණික්හින්න



අහිමි වූ සෙනෙහසේ
අතීතය මිය ගියත්
ආදරේ සුවඳ මල
දසත විසිරී හඬයි
සිතන්නට බෑ තවම
ඔබ මෙලොව හැර ගිහින්...
මෙහෙව් ඉරණමට නම්
එපා ළංවෙන්න ඔබ
කුලුදුලේ මැවු සිහින
කුලුදුලේ බොඳ වෙන්න
ජීවිතේ ඇරඹුමට
මඟ සොයා යන්නවුන්...
වටදාගේ මැදිරිගිරි
පා මුලේ දොරටුවේ
බලා සිටිමි ඔබ එනතුරු
සිනා සපිරි මුව මඬලෙන්
සොඳුරු රෑ රැඳුණු ඔබ
සේයා රූ සටහනේ
තාම ඔබ පණ පිටින්
මුව සිනා පිරි වතේ...
සොඳුරු මින්නේරි වැව
අදත් රැව් නගන්නේ
සුළං පොද ගත පිසින
දැවටෙමින් කියන්නේ
ආදරේ මහිමයයි
ඔබ පිදූ සෙනෙහසේ



 

ඉල්ලීමක්
ජයමිණි හේරත් ~ බිම්පොකුණ - පොළොන්නරුව

 

මහ පොතේ අත්සන්
නොකළාට
දීග කෑවා අපි හොඳින්
පවුල් සැලසුම් කළේ නෑ
දරු මල්ලෝ හැදුවා
මහ ගොඩක්

ගෙදර උන්දෑ මියැදුණේ
පපුවේ ඇම්මෙන්
මට කලින්
පූරුවේ කරුමෙටයි කියලා
හිත හදා ගත්තා
මං ඉතින්

චීත්තයේ මල් සේදුණා
පාට ගහගෙන ගියා වතුරේ
කනත්තේ සුදු අරලියා මල්
අඬ ගැහුවා මට හැම වෙලේ

අප්පච්චි ඉඩ තියාගෙන මට
බලන් ඉන්නවා කනත්තේ
මාත් එතනම වල දමාපන්
උඹට ඇහුණද ලොකු පුතේ


 

ඒ වියළි බෝ පත
සංජීව මූණමල්පේ ~

 

ගසකින් මිදුණු මේ බෝ පත
පොතක පිටු අතර රඳවා වියළා ගෙන
ඒ මත ඔබේ නම කැටයම් කොට
තබා ගත්තා හදවතට සමීපව

ජීවිතේ අත තැබූ අයිස් කැටයක් විලස
දිය වී ගියා මහ පොළොව වෙත
නොකියා ම දිනෙක වෙන් වෙලා ගිය
ඔබේ නම දුර ගියා දුහුවිල්ලක් විලස

මතකයක් පවා ඉතිරි නොකර ම
නැවතුණා ඔබ දුටුව විට නැග්ග හද ගැස්ම
එයින් මතු කිසි දිනෙක
සිතුණෙ නෑ තිබුණු බව
ආදරය පිරුණු හදවතක් මට

යනෙන විට මාවතේ කන්තෝරුවට
සිතුණෙ නෑ හමුවේවි කියා ඔබ යළිත් මට
තනිවෙද්දි තනිකමේ මා එක්ක
ඇති වුණේ හුදකලාවක් මිසක
මතකයක් නොවේ අතීතය ගැන

පෙරළද්දි තිබී දින පොත් අතර
හමුවුණා ඒ වියළි බෝ පත
කොටූ සේ ගලන රූපත ව
මම දුටිමි හද බිතේ තැන්පත් ව
ඔබ සිටී තාම මා අත් නොහැර



කවියාගේ දෙවන කාව්‍ය සංග්‍රහය ‘ඔබට නොවේ බටිත්තන්ට‘ කවි එකතුවෙනි. අහඹු හමුවීමකින් පසු කවියාගේ මියගිය ප්‍රේමයක මතකාවර්ජනයකි. දිනපොත් අතර තිබූ වියළි බෝ පතකින් ඔහු මතකය අවදිවෙයි.

Week of අගෝස්තු 4, 2021