පාඨක නිර්මාණ

Week of නොවැම්බර් 3, 2021

සීගිරි කාශ්‍යප
සී. නිලන්ති ප්‍රනාන්දු ~ ග්‍රීන් සොයිල් ආයතනය - දුන්කන්නාව

 

කැටපත් පවුරෙ ලියූ ගී කා වෙනුවෙන්ද
සිතුවම් කළේ ඔබෙ පෙම්බරියගෙ රුවද
මතකයෙ තබා ලොවටම සීගිරි කන්ද
කාශ්‍යප රජුනි ඔබ සැඟවී ගියෙ කොහෙද

භීතිය රැඳී තිබුණත් හද කලාවේ
කාලය ගෙවද්දී ඔබ හුදකලාවේ
මල් නෙළනා ළඳුන් දැක මංමුලාවේ
ඒ රූසපුව ඇන්දද ගල් ගුහාවේ...

සිංහ රුවක් ගලමත කෙටුවේ මන්ද
තේජස ඔබේ ලොව පතුරන අයුරින්ද
කාගෙත් සිත් සතන් තරිඳුන් අහන්නද
නොමැකෙන සිහිවටනයකි සීගිරි කන්ද

වස්තුව ඉල්ලමින් දරුණුව ඔබගෙ සිත
බිත්තියෙ තබා මැටිගැසු පියරජුගෙ ගත
මහ පාපයක් රජුනේ ඔබ කරල ඇත‍
එනමුත් මතකෙ ඇත තෙලිතුඩ රැඳුන අත
 

 

ළහිරු මඬලයි ඔබ මගේ
ශ්‍රීමතී රෝහිණී පෙරේරා ~ මහර-නුගේගොඩ - කඩවත.


 
 අඳුරු මගේ අහස් කුසට - පෙරුම්පුරා හෙමි හෙමිහිට
 සොඳුරු ලෙසට පායා ආ - අවිහිංසක ළා-හිරු ඔබ
 
 අතහැර ගිය තුරු වදුලක - කෙඬෑරි වූ අතු පතරෙක
 කුසුමක් වී පිපුණෙමි මම - ඒ හිරු කැන් පහස ලබා
 
 කසුන් කැලුම් මියුරු සරින් - නිදිබර සිත අවදි කළා
 උසස් වුණා මව් පදවිය - පිරිපුන් ගැහැනියක් වෙලා!
 
 රජත කෙඳි ඉඳහිට - සිරස සරසන කලට
 අත්විඳිනා සතුට...
 මිත්තණියක් ලෙසට - අපූරුයි! හරි අපූරුයි!!
 පින්සාර හිරු මඬල!
 

 

සොඳුරිය
දිස්නා ධනංජනී ~

 

ළා සඳ මත ඇති ඔමරි පොඩිත්තක
තරුකැට දනවන හිනා කැටිත්තක
නුඹෙ වතමඩල'ඟ මල් ඕවිල්ලක
මතකයි තෙමුණා හිරිපොද වැස්සක

බොළඳ සිනා ළඟ සිහිලස අයදින
ගෙට එන ප්‍රේමය යුතුකම් අරගෙන
සිහින වියමනේ සොඳුරු කැදැල්ලක
ඉසිඹු හෙලන්නත් නොහැක ඇසිල්ලක

හිත් දැහැනේ පදනම් සවිමත් විය
කිරිකැටි හඬකට නිවුනි සරාගය
කෝල සිනා මුව කුළුණු වතක් විය
නුඹ නම් සැබැවින් කවියකි සොඳුරිය


කිවිඳියගේ කුලුඳුල් කවි එකතුව, මග හැරෙන තැන්වලයි තිබෙන්නේ ජීවිතය නම් කවි එකතුවෙනි. පෙම්වතියක් පිළිබඳ කිවිඳිය මවන චිත්තරූපය අපූරු ය. ළා සඳ මත ඔමරි පොඩිත්තක මතකයි තෙමුණා හිරි පොද වැස්සක වැනි යෙදුම් කාව්‍යොචිත ය.

තල්මල
කේ. තරංගා නෙළුම් ගුණතිලක ~ මුණගම - හොරණ


 
 සුපිපුණු මල්වල සුවඳ වටා
 රොනට ඇදෙයි බඹරු තුටින්
 මී පැණිවල රසය උරා
 උන් වැජඹෙයි සතුට පුරා
 
 මල්වල රොන් තිබෙන තුරා
 හිඟයක් නැත බඹරු ගඟන
 පෙති එකිනෙක වැටෙමින්
 මල් පරවෙයි බිමට වැටී
 
 අලුත පිපුණු සුවඳ මලට
 ඇදෙයි බඹරු නුරා රසේ
 උන්ට මතක නැත පෙර දින
 රොන් ගත් මල් රොනේ අගේ
 
 ඉඳලා හිටලා පිපෙන මලක්
 වෙයි තලමල වුවද අගේ
 පැණි පිරිලා මල් පිරිලා
 බිඟු නද දෙයි සුවඳ වටේ
 
 කලින් පිපී හිනැහුණු මල්
 අද පරවී බිම වැටිලා
 මලට ඇදෙන බඹරු රෑන
 තල් මල වෙත සිත ඇදිලා
 
 

සොබාදම් අසිරිය
කේ. හොරණගේ ~ පරණ වේයන්ගොඩ - නිට්ටඹුව

 

තුෂර බිඳු හෙමි හෙමින් වැටෙනවා අතු සලා
කුසුම් මත රඟන බඹරුන්ගෙ හඬ මත්වෙලා
ගං කොමලි ගලන විට පුළුලුකුල සල සලා
සයුරු හිමි හිඳී ඇය එනතුරා මඟ බලා

බටිති මලිතින් නගන මියුරු ගී රාවයට
මල් පියලි වැටෙයි සිලි සිලි හඬින් මිහි මතට
විලේ පියුමක් පිපෙයි නගා මුදු සිනහ කට
මේ සොඳුරු දසුන් හැම පෙනෙනවා කවි සිතට

ගතට සිසිලක් ගෙනේ හමන මඳනල සුවඳ
කොවුලන්ගෙ කුහු කුහුව ඇසේ අතු පතර හිඳ
ළදරු මුවමත නැඟෙන සිනාවේ කිරි සුවඳ
සොබා දහමේ අසිරි සිරි මැවෙනවා නිබඳ

අස්වැන්න නෙළනවිට ළා හිරුත් උදාවේ
රන්පාට ගොයම හිස නම නමා සිනාවේ
කෙතේ හේනේ ඇසෙන සුමුදු ගී ලතාවේ
මේ සොඳුරු දසුන් මැද හිත සතුට ගෙනාවේ

උදේ දහවල පුරා කළ සේවෙ නිමාකොට
හිරු කුමරු සිඳුතුලේ ගිලෙයි ගිම් නිවන්නට
සියොත් කැල පියාඹා යාවි තම කැදැල්ලට
සඳක් එබිකම් කරයි හැංගිලා වලායට

සොබා දහම පිළිබඳ විචිත්‍ර නිර්මාණයක් කිරීමට නිර්මාණකරුගේ කාව්‍යාත්මක භාෂාව බෙහෙවින් උපකාරි වී ඇත. සුන්දර චිත්ත රූපාවලියක් පාඨක සිතෙහි මැවේ.
 

සොබාදම් අසිරිය
කේ. හොරණගේ ~ පරණ වේයන්ගොඩ - නිට්ටඹුව

 

තුෂර බිඳු හෙමි හෙමින් වැටෙනවා අතු සලා
කුසුම් මත රඟන බඹරුන්ගෙ හඬ මත්වෙලා
ගං කොමලි ගලන විට පුළුලුකුල සල සලා
සයුරු හිමි හිඳී ඇය එනතුරා මඟ බලා

බටිති මලිතින් නගන මියුරු ගී රාවයට
මල් පියලි වැටෙයි සිලි සිලි හඬින් මිහි මතට
විලේ පියුමක් පිපෙයි නගා මුදු සිනහ කට
මේ සොඳුරු දසුන් හැම පෙනෙනවා කවි සිතට

ගතට සිසිලක් ගෙනේ හමන මඳනල සුවඳ
කොවුලන්ගෙ කුහු කුහුව ඇසේ අතු පතර හිඳ
ළදරු මුවමත නැඟෙන සිනාවේ කිරි සුවඳ
සොබා දහමේ අසිරි සිරි මැවෙනවා නිබඳ

අස්වැන්න නෙළනවිට ළා හිරුත් උදාවේ
රන්පාට ගොයම හිස නම නමා සිනාවේ
කෙතේ හේනේ ඇසෙන සුමුදු ගී ලතාවේ
මේ සොඳුරු දසුන් මැද හිත සතුට ගෙනාවේ

උදේ දහවල පුරා කළ සේවෙ නිමාකොට
හිරු කුමරු සිඳුතුලේ ගිලෙයි ගිම් නිවන්නට
සියොත් කැල පියාඹා යාවි තම කැදැල්ලට
සඳක් එබිකම් කරයි හැංගිලා වලායට

සොබා දහම පිළිබඳ විචිත්‍ර නිර්මාණයක් කිරීමට නිර්මාණකරුගේ කාව්‍යාත්මක භාෂාව බෙහෙවින් උපකාරි වී ඇත. සුන්දර චිත්ත රූපාවලියක් පාඨක සිතෙහි මැවේ.
 

ඔබ මට කඳුළකි දෙවොන්දරා
පී. ඒ. ජසින්තා ඩයස් සමරනායක ~ ශාන්තිපුර - මාලඹේ


 
 එදා වගේම ලස්සනට
 සකුරා මල් තවමත්
 පිපෙනවා දොවොන්දරා
 ඒත් මම ඒ දිහා බලන්නෙ නෑ
 අපේ මතකය දිගේ තව දුර යන්න මට බෑ
 කබුකි බලන්නට ඔයත් එක්ක ගියා -
 අද මම යන්නැහැ
 ඔයාගෙ මතක සැමරුම් -
 රඟහල පුරාම දොවොන්දරා
 සින්ජකු උයනට මම ආසම නැහැ දැන්
 අවහන්හලේ උණුසුම් කෝපි කෝප්පය
 තොලගානට ඔබ දැන් මං ළඟ නැහැ
 දොවොන්දරා
 සොඳුරු වසන්තය ඔබ හා ගත කළ
 අඳුරු සිහිනයකි මගෙ දිවිය පුරා
 සිත් පිත් නැති ඔබෙ ගුප්ත ලෝකයේ
 මා සිර කළේ ඇයි දොවොන්දරා
 සිත මිස කය නැති ගුප්ත ලෝකයේ
 මා තනි කළේ ඇයි දොවොන්දරා
 
 මළ ගිය ඇත්තෝ සිහිකරනා දා
 මා වෙත එනවද දොවොන්දරා
 සකුරා මල්පෙති සුළඟෙ විසිරෙන පාළු
 සුසානේ
 දෑත් විදා කැන්දායන්නට ආයෙම එනවද
 මළවුන්ගේ අවුරුදුදා
 පෙරදා විලසට දොවොන්දරා
 
 

හීන පොත
ආර්. ජී. බුත්මි ~ මිතාරා

 
 හීන පොතේ හිස් පිටු ටික
 හැම රෑකම ඉකිබිඳීවි
 නුඹේ නමින් ගෙතූ හීන
 ඈත අහසෙ පාව යාවි
 
 නෙතු අග රැඳි කඳුළු බිඳුව
 තරු මලකට දුක කියාවි
 හිත ඇතුළේ පෑයූ සඳ
 මටත් නොකියා යන්න යාවි
 
 රූපෙ එක්ක ඇඳුන මතක
 හරි පරිස්සමෙන් තියේවි
 ඒ මතකය හරි හරියට
 රෑ හීනෙන් මට පෙනේවි
 
 හින පොතට පණක් දුන්න
 හඳ තරුවට පෙම් කරාවි
 විහිදෙන විසිතුරු එළියට
 මමත් හොරෙන් සුබ පතාවි
 
 මතක පොතේ ඇඳි ඔය රුව
 රෑ මගෙ හීනෙට වඩීවි
 ඒ හීනෙට පින් දී මම
 රෑ නින්දට පෙම් කරාවි
 

 

නික්ම යාම
පද්මිණී තිලකසේන ~ යටවත්ත - මාතලේ


 
 තුන් මහක් ගත වුණා - අද ඊයෙ වගෙ මතක
 අඳුරු කැටියක් වෙලා - මිටි පුටුවෙ මම තවම
 
 ඔබ ලියූ කවි ගොඩයි - කියූ හැම පොත් ගොඩයි
 නිහඬතාව අදත් - රකිනවා ඔබෙ නමට
 
 ජින්නාත් උපාලිත් - දුව පැනල වැඩ කළා
 දොවොන්දර සං එක්ක - නොරිකො ඇවිදින් ගියා
 
 සංවේගයෙන් බරව - ඉටි රූ දෙකක් වගෙයි
 ඔබ දෙස බලා උන්නෙ - හැම්ලට් ඔෆීලියා
 
 පිංකමට ගන්න යයි - සිවුරු පිරිකර එක්ක
 මුදල් එවලා තිබුණෙ - අරවින්ද සරා අත
 
 ඔළුව ගිනි අරන් වගෙ - රෑ දවල් වෙහෙස වුණ
 දුයිෂෙන් හිටිය නෑ - අල්තිනායි එන වෙලේ
 
 මහ වනේ ඇවිදලා - ගව් ගණන් දුර ගෙවා
 ආව රඟ දුටුව නම් - සිළිඳුලා බබුන්ලා
 ඔබෙ ඇසත් පෙඟේවී - උන්ගෙ අසරණ කමට
 
 තව එකම දෙයක් ගැන - අහන්නද ඉතිං මම
 හෙට අනිද්දම මගෙත් - හුස්ම නැවතුන දාට
 ඔබත් එනවද මෙහෙම - මඳක් රැඳිලා යන්ට
 


  

වසන්තයට ඉඩ දෙන්න
ශ්‍රීමා ලාලනී ~ මත්තෙගොඩ


 
 ටයි පටිය හැඩ ගැහුණ සුදු පාට රැලි ගවුම
 කොණ්ඩ දෙක පිට දිගට අනේ අමතක වෙලා
 කොල්ලන්ගෙ විහිළු පද මතකයේ රඳා ගෙන
 යෙහෙළියන් හා එක්ව ගෙතු පද ගොළු වෙලා
 
 ටීචර්ගෙ ඔසරි පොට සුවඳ රැඳි පිච්ච මල්
 හඬන සුළඟට මුසුව මිහිකතට බර වෙලා
 එකට එක්වෙලා කෑ බත්, බතල කඩල මුල්
 මතකයේ කඳුළුවල ලුණු රහට එක්වෙලා
 
 තිබූ රහස කියන්නට ටීචර්ට කොඳුරලා
 තවම කිව නොහැකි වී පෙලා සිත වැලපිලා
 මිනිසුනේ නොපෙනේද දූ පුතුන් හඬන හැටි
 හිස්වෙලා විදු මව්ද අපි නැතිව තනිවෙලා
 
 බිතු පුවරු ගණක රාමු වේයන්ට හිමිවෙලා
 දෝරෙ ගිය හිනා හඬ හිස් ගුවනෙ සැඟවිලා
 අනේ අපි ගැන සිතා තවත් සන්සුන් වෙලා
 අම්මෙ තාත්තේ අපට දෙන්න අත් එක්වෙලා
 


 
 කාලීන අත්දැකීමක් අපූරුවට කවියට නැඟූ නිර්මාණයකි. කොරෝනාව ද ගුරු වර්ජනය ද නිසා අහිමි වූ පාසල් ජිවිතයේ අත්දැකීම කිවිඳිය විසින් මනාව ග්‍රහණය කොට ගෙන ඇත.
  

කැම්පස් සිහිනය
ඉසුරිකා හපුගස්වත්ත ~ බලංගොඩ

 

මතකයි අද වාගේ
අම්මාගේ සුරතේ එල්ලී
පාසල් ගිය මුල්ම දිනේ
එතැන් පටන්
තවමත්
හීන පොදියක් මිට මොළවන්
හති වැටෙනකල් දුවමින්
ඒ හීන පොදියත් දෝතින් අරන්
කැම්පස් සිහිනය සැබෑ කරගන්නට
තවමත් හති අරින ගමන්



 

Week of නොවැම්බර් 3, 2021