කාලයේ තාලයට ඔබේ මල් මංගල්‍යයත් සංවිධානය කරගන්න

ඔබේ විවහා උත්සවය කල්දමන්නට සිදුවුණාද?
ජුනි 9, 2021

 

විවාහ උත්සවය කල් දමන්නට සිදූවූ තරුණ තරුණියන් බොහොමයි

එළඹෙන ඉදිරි දිනයන් හොඳම කාලයයි සිතන්න

හඬා දොඩා කම්පාවීමෙන් පලක් නැත

වෙසක් සඳ සෙමෙන් සෙමෙන් බැස යද්දී පොසොන් සඳ ගුවන කරා පායාගෙන ආවේ අපි කාටත් හොරාමයි. මේ අතුඅග මලින් බරවෙනා මල් මාසයයි. එහෙමත් නැතිනම් මල් මනාලියන්ගේ පැතුම් ඉටුවෙනා මල්බර ජූනි මාසයයි. ආදරයෙන් බැඳුණු තුරුණු හිත් එක් වහලක් යටට එක්කරනා ආදරණීය මනාලියන්ගේ මාසයයි.

වෙනත් වර්ෂවලදී නම් ගෙවුණු වෙසක් මාසය වගේම මේ එළැඹුණු ජූනි මාසයත් අතිශයින්ම කාර්යබහුලයි. ඒ ආදරණීය පැතුම් ඉටුකරන්නට අපූරු මල් මංගල්‍යයන් සෑමතැනකම දකින්නට ලැබෙන නිසා.

නමුත් අවාසනාවකට දෝ මෙවර අපට ඒ කිසිවක් දකින්නට, අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. ඒ කොරෝනා වසංගතය දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්වීමත් සමඟයි.

මේ වසරේ පමණක් නොව පසුගිය වසරේ ද මේ මල් මංගල්‍යයන් කල් දමන්නට සිදු වූ යුවතිපතීන් බොහෝමයි.

ඉතින් ඒ පිළිබඳ ඔවුන්ගේ සිත්තැවුල වටහා ගැන්ම අපහසු නෑ.

මන්ද ජීවිතයේ එක්වරක් පමණක් උදාවන ඒ අසිරිමත් දිනය වෙනුවෙන් තරුණයකු තරුණියක ඇඟිලි ගනින්නේ තමන් තුරුණුවියට එළඹුණු දා පටන්මයි. ඉතින් ඒ සොඳුරු මොහොත දවසින් දවස ඈතට ඇදී යාමෙන් සිතට ඇතිවන කනගාටුව කොතෙකුත් ද ? විශේෂයෙන්ම නිසි වයසට විවාහ පත්වීමේ කාලය ඉක්මවා යාම තරුණියකට තරුණයකුට මෙන්ම යොදාගත් කාලවකවානුව තුළ එම කටයුතු කළ නොහැකි වීමෙන් මේ දිනවල මව්පියන් ද අතිශයින් කනස්සල්ලට පත්ව ඇති.

එමෙන්ම ඕනෑම කෙනකු මංගල්ලයක් සඳහා ලකලැහැස්ති වන්නේ බොහෝ කාලයක පටන්මයි. විවාහ උත්සවය ගන්න ස්ථානය පමණක් නොව ඇඳුම් ආයිත්තම්, රූපලාවණ්‍ය ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර කරන අය ආදී වශයෙන් බොහෝදෙනා වෙන් කර ගනිමින් සුබ දිනයක් ලබා ගැනීම වූ කලී ඉතාමත් අසීරු කටයුත්තකි. ඉතින් එලෙස අමාරුවෙන් ලබාගත් දිනය නොසිතූ පරිදි කල් දමන්නට සිදුවීමත් ඇත්තටම කනගාටුවට කරුණක්.

නමුත් ඔබ අපට මේ ගත කරන්නට සිදුව ඇත්තේ ඉතාමත් අවාසනාවන්ත කාලපරිච්ඡේදයක්. එයට ධෛර්යයෙන් මුහුණ දෙනවා හැරෙන්නට වෙනත් කිසිවක් ඉතිරිව නැහැ. ඒ පිළිබඳ කම්පා වීමෙන් හෝ හඬා දොඩා පලක් නොමැති අතර එළඹෙන ඉදිරි දිනයන් හොඳම කාලයයි සිතන්න.

මේ තීරණාත්මක කාලවකවානුව තුළ පැවැත්වීමට නියමිතව තිබූ මංගල උත්සව කල් දැමීමට සිදුවිය. නමුත් ඉදිරි මාස කිහිපයේ දී නැවතත් රට යථා තත්ත්වයට පත්වූ පසු ඒ සඳහා අවසර හිමිවේවි. එහෙත් එහිදී ඔබේ මංගල්‍යය පවතින සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙමින් කරන්නට සිදුවේවි. මන්ද මේ පවතින කොරෝනා වසංගතය සියයට සියයක්ම තුරන්ව යන දිනයක් පිළිබඳව අනාවැකි කියන්නට නොහැකිවීමය. එහිදී පවතින තත්ත්වයන් අනුව කටයුතු ලකලැහැස්ති කරගැනීම වඩාත් සුදුසුය.

මොහොතක් සිතන්න. යහළු යෙහෙළියන්ගේ කෙළි කවට සිනා මැද දන්නා කියන සියලුම දෙනා සහභාගී කරවාගෙන ඉතාමත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නා මංගල්ලයක් වෙනුවෙන් සිහින දුටුවත් ඒ සියල්ල වෙනස් වී ඉතාමත් සුළුවෙන් මංගල්‍යයක් ගන්නට සිදුවිය හැකිය. දිනෙන් දින ගතව යන්නේ ඔබේ හොඳම කාලයයි. එවැනි අවස්ථාවක් ගැන නොසිතා ඔබගේ ළඟම ඥාතීන් පමණක් සහභාගී කරවාගෙන, අත්‍යවශ්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් එය ඔබගේ පවුලේ උත්සවයක් ලෙස පමණක් සංවිධානය කර ගන්න. මන්ද තවත් වසර කිහිපයක්ම අපට කාලය ගත කිරීමට සිදුවන්නේ මෙම කොරෝනා වසංගතයක් සමඟ බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

එහිදී විවිධාකාරයේ උත්සව, සුහද හමු, සතුටු සාද තරමක් පමා කිරීමට අපට සිදුවේ. එබැවින් විශාල උත්සව කටයුත්තක් ලෙසින් නොව සරල චාම් විවාහ මංගල්ලයක් ලෙසින් එය සංවිධානය කරගැනීම වඩාත් පහසුවක් වේවි.

උදාහරණයක් ලෙසින් තරමක් මිලාධික හෝටලයක් වෙන් කරවාගෙන, වැඩි පිරිසකට ආරාධනාකර පවත්වන උත්සවයක් වෙනුවට සීමිත ඥාතීන් පිරිසකට පමණක් ආරාධනා කරමින් ඔබේ නිවෙස තුළ පුංචි උත්සවයක් සැලසුම් කරගන්න.

චාරිත්‍ර වාරිත්‍ර නියමිත පරිදි ඉටු කරන්න. ළඟම සිටිනා රූපලාවණ්‍ය ශිල්පිනියගේ සහයෝගයෙන් ලස්සනට හැඩ වැඩ වන්න. සොඳුරු මතක සටහනක් ලෙසින් අපූරු ඡායාරූප ඇල්බමයක් සකසා ගන්න.

අනවශ්‍ය වියදම් අඩු කරන්න. දෙවැනි ගමනේ උත්සවය ද නිවෙසේ ඥාතීන්ට පමණක් සීමා කරන්න. අවම පිරිසකගේ සහභාගිත්වයෙන් හැකිතාක් අවම වේලාවක් තුළ උත්සව කටයුතු නිමා කරන්න.

මේ නිසා විශාල උත්සව කටයුත්තක් වෙනුවෙන් වැයවන මුදල ඔබට ඉතිරි වේවි. එය හොඳ අනාගත ආයෝජනයක් සඳහා වැය කරන්නට තබාගන්න. දිනෙන් දින කල් යවනා විවාහ උත්සවයක් වෙනුවට කාලයේ තාලයට ගැළපෙන්නට නොපමාව ඔබේ විවාහ මංගල්‍යයත් සංවිධානය කර ගන්න.