මංගල ආසිරි 2020!

ජුනි 10, 2020

"පුංචි දවස්වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා
වැන්ද දෙපා යළි අදත් වඳීන්නම්
මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි..."

මේ අවසරය ඇගේ ජීවිතයේ දෙවැනි උපතටයි. යොවුන් දියණියක් මේ දිනය එනතුරු ඉන්නේ ඇඟිලි ගනිමින්. අනාගතය ගැන දහසක් බලාපොරොත්තු පුබුදුවාලමින් ඇය මල් මංගල්‍යයක සුබ සිහින දකිනවා. මේ ගෙවී යන්නේ වසරේ මංගල්‍යය මාස කිහිපයයි. වෙන වසරවල නම් මේ වනවිට මෙවන් යොවුන් දියණියන් මෙන්ම පුතුණුවන් යුග දිවියට යන මංගල සිහින සැබෑකරගන්නට ඇතිද?් එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ දෙනකුට තමන්ගේ මංගල සිහිනය සැබෑ කරගන්නට නොහැකිවුණා. ඒ නිසාම බොහෝ දෙනෙක් තමන්ගේ මංගල උත්සවය කල් දමන්නට කටයුතු කළා. එහෙත් මංගල උත්සවයක් කල් දැමීම පහසුදෙයක් නොවේ. ඒ වසරකටත් පෙරාතුව සිට සූදානම් වී යොදාගත් වැඩ කටයුතු යළිත් ගොනු කරගන්නවා කියන එක එතරම් පහසුදෙයක් නොවන නිසා.

නමුත් ඒ ගැන දුක් විය යුතු නම් නොවේ. එය සියලු දෙනාගේම දෛනික කටයුතු පවා අඩපණ කළ වූවක් වුණා. කොහොම නමුත් නොසිතූ අයුරින් හොඳ විවේකයක් ලැබුණා. එබැවින් ගතත්, සිතත් ප්‍රබෝධමත් කර ගනිමින් හිතුවාටත් වඩා හොඳීන් විවාහ මංගල්‍යය කටයුතු සැලසුම් සහගතව සාර්ථකව කරගන්නට ඔබට හැකියි.

ඇසළ, නිකිණි මහ උදාවන්නේ පින්බර මනාලියන්ටමය. ඔබේ සුබ සිහිනය අරුත් ගන්වන්නටය. එබැවින් සියලු ආශීර්වාද මැද තරුණී 'මංගල ආසිරි 2020' අතිරේකය තුළින් රත්තරන් වටිනා උපදෙස් ලබා දෙන්නේ ඔබේ සුබ සිහිනය සැබෑ කරලීම උදෙසායි.

 

*************************

ඇඳුම ගෙන යන්න එනතුරු Fit - On  මට්ටම පමණයි

 

සාමාන්‍යයෙන් යුවතියක් විවාහ මංගල්‍යයකට සූදානම් වන්නේ වසරක සිටය. මෙය ඒ ඒ කෙනාගේ කාර්ය බහුලත්වය මත වෙනස් වෙනවා. මුලින්ම කෙරෙන්නේ තමන්ගේ රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය මුණ ගැසීමයි.

මනාලිය තම හැඩ ගැන්වීම, ඇඳුම් පැළඳුම් වෙනුවෙන් වැය කරන මුදල පිළිබඳ සාකච්ඡා කළ යුතුයි.මනාලිය හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය මංගල ඇඳුම් නිර්මාණය කර දෙන අවස්ථාත් තිබේ.එසේ නොවුණත් ඔවුන්ගේ රූපලාවණ්‍යගාරය හා සමීපව වැඩ කරන විශ්වාසවන්ත ඇඳුම් මෝස්තර ශිල්පිනියක් වෙත යොමු කරවයි. මේ වනවිටත් ඔබට මේ අත්දැකීම ඇති. දින නියමයක් නොමැතිව කල්ගිය මංගල උත්සව ඇඳුම්වල මිමි ගැන බියක් දක්වන ඔබ වෙනුවෙනි මේ කතාබහ. " මා විවාහ මංගල ඇඳුම් නිර්මාණකරණයේ යෙදුණු විසිපස් වසරටම මේ වසරේ තමයි එකවර සියලු මංගල උත්සව කල්ගියේ. සාමාන්‍යයෙන් මනාලියක් වන්නට සිටින යුවතියක් මාස තුනකට කලින් ඇඳුම් ගැන හිතන්නට ඕනෙ. මගේ පුරුද්දක් තියෙනවා විවාහ උත්සවයට දින 12කට පෙර සියලු ඇඳුම් භාරදීමට. ඇගේ හිත නිදහස් කර මානසික සුවය ලබාදීම අපගේ වගකීමක් නිසා. පළමුව අප කළ යුත්තේ මනාලියගේ සාරි හැට්ටය, දෙවැනි ගමනේ සාරි හැට්ටය, යට සාය, දෙවැනි මනාලියන්ගේ, මල් කුමරියන්ගේ සියලු ඇඳුම් ෆිටෝන් මට්ටමට පමණි. එවිට මෙවැනි හදිසි සිදුවීමකදී වුව යලි කෙදිනක හෝ එය අවශ්‍ය මිම්මට සකසා ගත හැකිය. සිරුර කෙට්ටු වීම, මහත් වීම පිළිබඳ ගැටලු ඇති නොවෙයි.

 

 

උපදෙස්:-

ඇඳුම් නිර්මාණ ශිල්පිනී

නිලූපා හර්ෂණී

 

 

2020/06/08 තරුණි බලන්න.