තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 මාර්තු 19, සඳුදා 16:36

සිංහල හින්දු අලුත් අවුරුද්දට රස ගුණ පිරි බත් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(2 මනාප)
    රස කෑමක රස බලන්නයි ගෙදර අයගේ කැමැත්ත. හදිසියටවත් රසය අඩු වුණොත් කෑම ටික ඉතිරියි. නැත්නම් පිඟන් පිටින් එහෙමම ඉතිරි කරනවා.

 

මෙහෙම අහක දාන්න කෑම හදන්න ඕනෙ නැහැනේ. ඒ හින්දා අම්මා නිතරම හිතන්නේ පවුලේ ඇත්තන් සතුටින් රස විඳින ලෙස කෑම වේල සකසන්නයි. ලංකාවේ අපිට ඉතින් කෑම කිව්වොත් මුලටම එන්නේ බත් නේ. බොහොමයක් ගෙවල්වල හැමදාමත් බත හදන්නේ එකම ක්‍රමයටයි. නිකම්ම බතක් හදලා හොදි, මාළු පිනී දෙක තුනක් හදලා කෑමට දෙනවා. හැමදාමත් ඉතින් එච්චරම තමයි.

ඒ විදිහට ඉතින් හැමදාමත් කනකොට එපා වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. මේ ක්‍රමය වෙනස් කරන්න නුවණක්කාර ගෘහණිය වූ ඔබට පුළුවන්.

ඒ බත් විවිධ ක්‍රමවලට සකසා සංග්‍රහ කිරීමෙනි. එහෙම විවිධ ක්‍රමවලට සකසන විට හොදි, මාළුත් එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. හදාගන්නත් ඒ තරම් අමාරු නැහැ. අවශ්‍ය වෙන්නේ ඔබේ කැපවීම පමණයි. ඒ නිසාම අපි මෙවර සුවිශේෂී අතිරේකයෙන් විවිධ රසට සකසන්න පුළුවන් බත් වර්ග රැසක්ම තිළිණ කරනවා. මේ බත් වර්ග පවුලේ ඇත්තන්ට කටට රසට පෝෂණ ගුණය සහිතව කෑම වේලක් සකසා දෙන්නට ඔබට මඟ කියා දේවි. එපමණක් නොව නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් මේ රස පිරුණු බත් කදිමයි. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සෙනෙහසින් සමරන්න බලාහිඳින ඔබටත් මෙය කදිම තිළිණයක් වේව්. එහෙම නම් අපි විවිධ රසට මේ විදිහට බත් හදමු.

   අන්නාසි බත්

 අවශ්‍ය ද්‍රව්‍ය

 අන්නාසි ග්‍රෑම් 400 ක්

බාස්මති හාල් ග්‍රෑම් 600 ක්

කජු ග්‍රෑම් 50 ක්

වියළි මිදි ග්‍රෑම් 50 ක්

ගාගත් පොල් මේස හැඳි 3 ක් පමණ

රතු වියළි මිරිස් කරල් 6 ක්

බටර් මේස හැඳි 3 ක් හෝ ඔලිව් තෙල්

ලොකු ලූනු ගෙඩි 1 ක්

සුදු ලූනු බික් 2 ක්

කරපිංචා කොළ ස්වල්පයක්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු තේ හැඳි1/2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

කුරුඳු පොතු 1ක්

එනසාල් කරල් 2 ක්

කරාබු නැටි 2 ක්

අවශ්‍ය පමණට ලුණු

සාදන ක්‍රමය

 

මුලින්ම පුරුදු විදියට බත උයාගන්න. කුරුඳු පොත්තක්, එනසාල් කරලක්, කරාබු නැටි 2 ක් විතර දාලා බත තැම්බෙන්න හරින්න. එතකොට සුවඳයි. අන්නාසි පොත්ත හොඳින් අයින්කර මැද ඝනකම් දාරයත් අයින් කර පුංචි කොටස්වලට කපන්න. ඉඩ තිබෙන සුදුසු භාජනයක් ළිප තබා බටර් හෝ ඔලිව් ඔයිල් එක් කරන්න. තෙල් රත්වීගෙන එද්දී සිහින්ව කපාගත් සුදු ලූනු, ලුනු එකතු කරන්න. එයටම කරපිංචා, කොටස්වලට කඩාගත් මිරිස් කරල් එකතු කරන්න. ටික වෙලාවක් බැදෙන්න හැර කජු, වියළි මිදි එක් කරන්න. දැන් කපාගත් අන්නාසි එකතු කරන්න. ගින්දර අඩු කරන්නත් එපා. වැඩි කරන්නත් එපා. දැන් එයට පොල් එකතු කරන්න. රස අනුව ලුණු, ගම්මිරිස්, කහ කුඩු එකතු කරන්න. හොඳින් කලවම් කර ටික වෙලාවක් පිසගත් පසු බත් එකතු කරන්න. ගින්දර අඩු නොකරම හොඳින් කලවම් කරන්න. ලස්සනට තව පාට ගන්න ඕනේ නම් පොල් කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4 කට කහ තේ හැඳි 1/4 ක් එකතු කර දියකර බතට කලවම් කරන්න. ඔන්න දැන් බත හරි. සුවඳම සුවදයි.

 

************************

දොඩ රසැති බතක්

 අවශ්‍ය දුව්‍ය

 

හාල් කෝප්ප 6 (ග්‍රෑම් 600 ක් විතර)

දොඩම් ගෙඩි 1 ක් (පොත්ත ග්‍රේට් කරගන්න)

දොඩම් ගෙඩි බාගෙක යුෂ

රස අනුව ලුණු

පොල්කිරි කෝප්ප 1/4 ක්

කහ කුඩු තේ හැඳි1/4 ක්

බත තැම්බිමට අවශ්‍ය වතුර

 සාදන ක්‍රමය

හාල් හොඳින් සෝදා එයට තැම්බිමට අවශ්‍ය වතුර, රස අනුව ලුණු, දොඩම් යුෂ , ග්‍රේට් කරගත් දොඩම් පොත්ත එකතු කරන්න. බත ඉදෙන්න හරින්න. බත ඉදුණු පසු දොඩම් පොතු ඉදුණු බත මත රැඳී ඇති අයුරු දැකගත හැකියි. බත හොඳින් ඉදුණු පසු පොල්කිරි සමඟ කහ දියකර උඩින් එකතු කරන්න. පසුව හොඳින් කූරු ගා වසා තබන්න.

 

************************

ඉස්සෝ බිරියානි

 බත පිසගැනීමට අවශ්‍ය දේවල්

 හාල් ග්‍රෑම් 500 ක්

ඔලිව් තෙල් හැන්දක්

බේ කොළ 1ක්

කරාබු නැටි 2 ක්

එනසාල් කරල් 3 ක්

කුරුඳු පොත්තක්

 හාල් හොඳින් සෝදා වතුර ගාණට දමා ඉහත ද්‍රව්‍ය එයට එකතුකර බත රයිස් කුකර් එකේ පිසගන්න.

 අවශ්‍ය අනෙකුත් දේ

 ඉස්සෝ ග්‍රෑම් 300 ක්

රස අනුව ලුණු

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

තුනපහ කුඩු තේ හැඳි 1 ක්

තළාගත් සුදු ලූනු සහ අමු ඉඟුරු මේස හැඳි 2 ක්

ඔලිව් තෙල් මේස හැඳි 3 ක්

යෝගට් මේස හැඳි 4 ක්

ලොකු මිරිස් කරල් 2 ක්

කොත්තමල්ලි කොළ අහුරක්

සිහින්ව ලියා බැදගත් ලොකු ලූනු ගෙඩි 2 ක්

ගරම් මසාලා පැකට් එකේ තිබෙන අඩු වැඩියෙන් පොඩ්ඩක් (සාදික්කා පොඩි කොටසක්, කොත්තමල්ලි ඇට කිහිපයක්, සුදුරු ඇට කිහිපයක්, ගම්මිරිස් ඇට කිහිපයක් , කරදමුංගු 3 ක්, කරාබු නැටි 3 ක්, කුරුඳු පොතු කැබැල්ලක් )

බිරියානි මසාලා මේස හැඳි 1 ක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම ඉස්සෝ පිරිසුදු කර පොත්ත ඇර (මෙතැනදී පොත්ත ඇරලා හැදුවම රසයි) ලුණු, මිරිස්, තුනපහ, සුදු ලූනු හා අමු ඉඟුරු පේස්ට් එකෙන් හැන්දක ප්‍රමාණයක් එකතුකර අතගාලා තියන්න. දැන් ලොකු තාච්චියක් ළිපේ තියා තෙල් ටිකක් එකතු කරන්න.

එයට ගරම් මසාලා පැකට් එකේ තියෙන අඩු වැඩිය සහ සුදු ලූනු, අමු ඉඟුරු පේස්ට් එකේ ඉතුරු ටිකත් එකතු කරලා ඉස්සෝ ටික එකතුකරමින් ටික වේලාවක් උයාගන්න. (විනාඩි 3 විතර) දැන් ඉස්සෝ ටික විතරක් වෙනත් භාජනයකට අයින් කරන්න. අර තෙල් ටික තියෙන්න හැරලා. දැන් ඒ තෙල් එකට යෝගට්, කපාගත් මිරිස්, කොත්තමල්ලි කොළ, බිරියානි මසාලා, රස අනුව ලුණු, බැදගත් ලූනු පිළිවෙළින් එකතු කරන්න. පොඩි වෙලාවකින් ඉස්සෝ එකතුකර කලවම් කරන්න. දැන් එයට උයාගත් බත් එකතු කරන්න. ඊට උඩින් කපාගත් කොත්තමල්ලි කොළ, බැදගත් ලූනු සහ කිරි පොඩ්ඩක දියකරගත් ෆුඩ් කලර් ටිකක් එකතු කර මඳ ගින්දරේ විනාඩි කිහිපයක් වසා තබන්න. කලවම් කරද්දී උඩින් යටට වෙන්න අරන් කලවම් කරන්න. නැත්නම් කෙළින්ම පිඟානට බෙදන්න.

************************

වියළි පලතුරු බත

 අවශ්‍ය ද්‍රව්‍ය

 බාස්මති හාල් ග්‍රෑම් 600 ක්

රතු බෙල් පෙපර් 1ක්

කොළ බෙල් පෙපර් 1

වියළි මිදි ග්‍රෑම් 100 ක්

වියළි චෙරි ග්‍රෑම් 50 ක්

ලොකු ලූනු ගෙඩි 1 ක්

සුදු ලූනු බික් 2 ක්

රස අනුව ලුණු

බටර් මේස හැඳි 4 ක්

ගම්මිරිස් තේ හැඳි 1/2 ක්

 

සාදන ක්‍රමය

 සුදුසු භාජනයක් ළිප තබා එයට බටර් මේස හැඳි 2 එක්කරන්න. බටර් රත්විගෙන එද්දී සිහින්ව කපාගත් සුදු ලූනු, සිහින්ව කපාගත් ලූනු එකතු කරන්න. රන්වන් පාට වීගෙන එද්දී සෝදා ගත් හාල් එකතු කරන්න. දැන් බත තැම්බිමට අවශ්‍ය පමණට වතුර එකතු කරන්න. රස අනුව ලුණු එකතුකර බත තැම්බෙන්න හරින්න. ඒ අතරේ කොළ සහ රතු බෙල් පෙපර් පොඩියට කපාගන්න. වියළි චෙරි ද සිහින්ව කපාගන්න. ඉතුරු බටර් මේස හැඳි 2 රත්කර වියළි මිදි, චෙරි සහ බෙල් පෙපර් ටික වෙලාවක් පිසගන්න, මේ එළවළු සහ වියළි පලතුරුවල පාට රැඳෙන සේ ටික වෙලාවක් විතරක් පිස ගන්න. බත තැම්බුණු පසු නිවෙන්න හැර එළවළු සහ වියළි පලතුරු එක් කර හොඳින් කූරු ගාගන්න. වියළි මිදී, වියළි චෙරි වෙනුවට වෙනත් වියළි පලතුරු පාවිච්චි කරන්නත් පුළුවන් .

************************

බිත්තර බිරියානි

 අවශ්‍ය දේවල්

 බාස්මති හාල් ග්‍රෑම් 500 ක්

බේ කොළ 1 ක්

එනසාල් කරල් 3 ක්

කුරුඳු පොත්තක්

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

රස අනුව ලුණු

බත තැම්බීමට අවශ්‍ය පමණට වතුර

සාදන ක්‍රමය

 

හාල් සෝදා ඉහත සඳහන් සියලුම දේ එක්කර බත තැම්බෙන්න තියන්න.

ඒ අතරේ, බිත්තර 4 ක් තම්බා ගන්න. පාන් පිටි මේස හැඳි 2 ක්, මිරිස් කුඩු තේ හැඳි 1 ක්, කහ කුඩු තේ හැඳි 1/4 ක්, තුනපහ තේ හැඳි 1/2 ක්, ලුණු තේ හැඳි 1/4 ක්, වතුර ස්වල්පයක් එකතු කර බැටර් එකක් සාදා ගන්න. සාදාගත් එම බැටර් එකේ තම්බාගත් බිත්තර දවටා පාන් කුඩුවල දවටා පසුව බිත්තර යන්තම් තෙලේ එහාට මෙහාට කරමින් බැදගන්න.

************************

බිරියානි එක හදමු

ඒ සඳහා අවශ්‍ය දේවල්

 ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

කුරුඳු පොත්තක්

එනසාල් කරල් 3 ක්

කරාබු නැටි 3 ක්

සූදුරු තේ හැඳි 1/2 ක්

ගරම් මසාලා තේ හැඳි 2 ක්

යෝගට් මේස හැඳි 4 ක්

ලොකු ලූනු ගෙඩි එකක් (සිහින්ව කපා බැදගන්න)

කහ කුඩු තේ හැඳි 1/4 ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

කපාගත් රතු සහ කොළ බෙල් පෙපර් කොටසක්

සුදු ලූනු බික් 2 ක්

අමු ඉඟුරු පොඩි කොටසක්

කජු ග්‍රෑම් 100 ක්

රස අනුව ලුණු

කොත්තමල්ලි කොළ ටිකක්

 සාදන ක්‍රමය

 පළමුව ලොකු තාච්චියක් ළිපේ තියා ඔලිව් තෙල් මේස හැඳි 2 එක් කරන්න. දැන් ඒ තෙලට කුරුඳු, එනසාල්, කරාබු නැටි සූදුරු, කජු එකතු කර බැදෙන්න හැර තළාගත් සුදු ලූනු, අමු ඉඟුරු පේස්ට් එකක් විදියට මේස හැඳි 2 ක් වෙන්න එකතු කරන්න. දැන් කපාගත් රතු හා කොළ බෙල් පෙපර්, කොත්තමල්ලි කොළවලින් ටිකක් එකතු කරන්න. ඊළඟට බැදගත් ලූනුවලින් ටිකක්, යෝගට්, ගරම් මසාලා, කහ, ලුණු, මිරිස් කුඩු එකතු කරන්න. දැන් මේක සෝස් එකක් වගේ හැදෙනවා. ඒ උඩට උයාගත් බත් එකතු කරන්න. කලවම් කරන්න එපා. ඊට උඩින් බැදගත් ලූනු, කොත්තමල්ලි කොළ එකතු කරන්න. කිරි ස්වල්පයකට කහ ටිකක් දිය කර බත උඩින් එක් කරන්න. දැන් විනාඩි කිහිපයක් බත් එකට අර සෝස් එක උරාගන්න මඳ ගින්දරේ වසා තබන්න. නැවත බිත්තර එකතු කර පොඩි වෙලාවක් පියනෙන් වසා තබා කෑමට ගන්න.

 

************************

පොල් කිරි යොදා හදපු කහ බත

 අවශ්‍ය ද්‍රව්‍ය

 බාස්මති හාල් කිලෝ 1 ක්

පොල් කිරි කෝප්ප 2 ක්

සිහින්ව ලියා ගත් ලොකු ලූනු ගෙඩි 2 ක්

කුරුඳු පොත්තක්

සුදු ලූනු හා අමු ඉඟුරු (දෙකෙන්ම මේස හැන්දක් වෙන්න ගන්න.)

රම්පෙ, කරපිංචා

රස අනුව ලුණු

කහ කුඩු තේ හැඳී 1/2 ක්

කරාබු නැටි 3 ක්

එනසාල් කරල් 3 ක්

කැමැති නම් ගම්මිරිස් ඇට කිහිපයක්

එළඟි තෙල්, බටර් හෝ මාගරින් මේස හැඳී 4 ක්

 සාදන ක්‍රමය

 මුලින්ම රයිස් කුකර් එකේ හෝ සුදුසු භාජනයක බටර් එකතුකර එයට ලූනු, සුදු ලූනු, අමු ඉඟුරු, කුරුදු, එනසාල්, කරාබු නැටි, රම්පෙ කරපිංචා එකතු කරමින් බැදෙන්න හරින්න. එයටම කහ, ලුණු එකතු කරන්න. දැන් සෝදා වතුර පෙරාගත් හාල් ද එකතුකරන්න. බටර්වලින් පොඩ්ඩක් තැම්බෙන්න හැර කිරි එකතු කරන්න. දැන් බත තැම්බෙන්න අවශ්‍ය තරමට වතුර එකතු කරන්න. කිරි කෝප්ප 2 ක් දාපු නිසා මදි පාඩුවට වතුර බලා එකතු කරන්න. බත ඉඳුණු පසු බෙදද්දී කුරුඳු පොත්ත, කරාබු නැටි, එනසාල් අයින් කරන්න. පිළිගන්වද්දී බැදගත් ලූනු, කජු, වියළි මිදිවලින් සරසාගන්න.

 

************************

 එග් සේවරි රයිස්

 අවශ්‍ය ද්‍රව්‍ය

 හාල් ග්‍රෑම් 500 ක්

බිත්තර 3 ක්

ලොකු ලූනු ගෙඩි 1 ක්

සුප් කැට 2 ක්

තළාගත් සුදු ලූනු බික් 2 ක්

තළාගත් ඉඟුරු කැබැල්ලක්

එනසාල් කරල් 2 ක්

කරාබු නැටි 2 ක්

බටර් ග්‍රෑම් 50 ක්

වියළි මිදි ග්‍රෑම් 50 ක්

කජු ග්‍රෑම් 75 ක්

ග්‍රීන් පිස් ග්‍රෑම් 75 ක්

කුරුඳු පොත්තක්

රම්පෙ කරපිංචා

 

සාදන ක්‍රමය

 බත උයන්න සුදුසු භාජනයක් ළිප තබා එයට බටර් එක් කරන්න. බටර් රත්වීගෙන එද්දී කපාගත් ලූනු, තළාගත් සුදු ලූනු, ඉඟුරු, කුරුඳු පොත්ත, එනසාල්, කරාබු නැටි, පොඩි කරගත් සුප් කැට, රම්පෙ, කරපිංචා එකතුකරන්න. ටික වේලාවක් ඒ සියල්ල බටර්වලින් බැදුණු පසු සෝදා වතුර පෙරාගත් හාල් එක් කරන්න. දැන් බත තැමිබිමට අවශ්‍ය පමණට වතුර එක් කර රස අනුව ලුණු ද එක් කර බත උයාගන්න. බත හැදෙන අතරේ වියළි මිදි, කජු, ග්‍රීන් පීස් බටර්වලින් බැදගන්න. බිත්තර, ලුණු තේ හැඳී 1/4 ක් හා ගම්මිරිස් තේ හැඳී 1/4 ක් එක් කර හොඳීන් ගසා ඔම්ලට් එකක් සාදාගන්න. එය පොඩි තීරුවලට කපන්න. බත හැදුනම හොඳීන් කූරු ගා කජු, වියළි මිදි, ග්‍රීන් පීස්, බිත්තර එකතුකර කලවම් කර කෑමට ගන්න.

************************

 අර්තාපල් මිශ්‍ර බත්

 අවශ්‍ය ද්‍රව්‍ය

 හාල් ග්‍රෑම් 600 ක්

ලොකු ලූනු ගෙඩි 2 ක්

සුදු ලූනු බික් 2 ක්

අමු ඉඟුරු පොඩි කොටසක්

කොළ පාට බෙල් පෙපර් 1 ක්

තක්කාලි ගෙඩි 1 ක්

ලොකු අර්තාපල් අල ගෙඩි 2 ක්

බටර් ග්‍රෑම් 50 ක්

ගරම් මසාලා පවුඩර් තේ හැඳී 2 ක්

කුරුඳු කුඩු තේ හැඳී 1/4 ක්

රස අනුව ලුණු

ග්‍රීන් පීස් ග්‍රෑම් 100 ක්

කොත්තමල්ලි කොළ ටිකක්

 සාදන ක්‍රමය

 හාල් සෝදා අවශ්‍ය පමණට වතුර සහ රස අනුව ලුණු එකතුකර තැම්බෙන්න තියන්න. අල තම්බා පොඩි කොටස්වලට කපාගන්න. ඉඩ ඇති සුදුසු භාජනයක් ළිප තබා එයට බටර් එකතුකරන්න. රත්වීගෙන එද්දී සිහින්ව කපාගත් ලූනු, තළාගත් සුදු ලූනු, අමු ඉඟුරු එකතු කරන්න. එයටම කපාගත් කොත්තමල්ලි කොළ සහ කොළ පාට බෙල් පෙපර් එකතු කරන්න. ඉන්පසු පොඩියට කපාගත් තක්කාලි, ගරම් මසාලා පවුඩර් සහ රස අනුව ලුණු, කුරුඳු කුඩු එකතු කරන්න.

වතුර මේස හැන්දක් වගේ එකතුකර හොඳීන් පිසගන්න.

එය සෝස් එකක් වගේ වෙන්න පිසගන්න. දැන් එයට ග්‍රීන් පීස් එකතු කරමින් පිසගන්න.

තම්බපු ලොකු අල ගෙඩි එකතු කරන්න. දැන් තවත් කොත්තමල්ලි කොළ එකතු කරන්න.

එයට පිසගත් බත් එකතු කරමින් කලවම් කරන්න. බත් පොඩි නො වෙන්න කලවම්කර පිළිගන්වන්න.

 

************************

Clementine මිශ්‍ර බත අවශ්‍ය ද්‍රව්‍ය

හාල් ග්‍රෑම් 500ක්

clementine හෝ  mandarin  1 ක්

ලොකු ලූනු ගෙඩි 1 ක්

සුදු ලූනු බික් 2 ක්

කුරුඳු පොතු කැබැල්ලක්

එනසාල් 3 ක්

කරාබු නැටි 3 ක්

තැඹිලි පාට ෆුඩ් කලර් බිංදු 2 ක්

කජු ග්‍රෑම් 50 ක්

වියළි මිදි ග්‍රෑම් 50 ක්

කොත්තමල්ලි කොළ හෝ පාස්ලි කොළ ටිකක්

රස අනුව ලුණු

බටර් ග්‍රෑම් 50 ක්

 සාදන ක්‍රමය

හාල් සෝදා ලුණු සහ බත තැම්බීමට අවශ්‍ය වතුර එකතුකරන්න. එයට සිහින්ව ලියා බටර් වලින් බැදගත් ලූනු, සුදු ලූනු සහ කුරුඳු, එනසාල්, කරාබු නැටි, clementine  ගෙඩියේ යුෂ සහ පොත්ත සූරා එකතු කරන්න. දැන් බත තැම්බෙන්න තියන්න. ඒ අතරේ කජු, වියළි මිදි බටර් ස්වල්පයක් එකතුකර බැදෙන්න හරින්න. බත තම්බුණු පසු හැඳී මිටේ ෆුඩ් කලර් බින්දු කිහිපයක් ගා බතේ තැනින් තැනට එක් කරන්න. බත නිවුණු පසු හැඳී මිටෙන් කූරු ගා බැදගත් කජු, වියළි මිදි සහ පාස්ලි කොළ එකතුකර සරසා ගන්න

 

************************

දුන්තෙල් බත්

 අවශ්‍ය ද්‍රව්‍ය

 හාල් ග්‍රෑම් 600 ක්

දුන්තෙල් මේස හැඳී 2 ක් (දුන්තෙල්, ගිතෙල් හෝ බටර් )

සිහින්ව කපාගත් ලොකු ලූනු ගෙඩි 1 ක්

සුදු ලූනු බික් 2 ක්

එනසාල් කරල් 2 ක්

කුරුඳු පොතු කැබැල්ලක්

කරාබු නැටි 2 ක්

වැඩි රසට කජු ග්‍රෑම් 75ක්

වියළි මිදි ග්‍රෑම් 50ක්

බැදගත් ලූනු

 සාදන ක්‍රමය

 හාල් සෝදා බත තැම්බීමට අවශ්‍ය පමණට වතුර සහ ලුණු එකතුකරන්න. වෙනම තාච්චියකට දුන්තෙල් එකතුකර එයට පොඩියට කපාගත් ලොකු ලූනු හා සුදු ලූනු, එනසාල්, කුරුඳු, කරාබු නැටි එකතු කර බැදෙන්න හැර ඒ සියල්ල හාල් සමඟ එකතු කර බත හදාගන්න. බත තැම්බෙන අතරේ දුන්තෙල්වලින්ම කජු, වියළි මිදි, කපාගත් ලූනු බැදගන්න. බත තැම්බුණාට පස්සේ කුරුඳු පොත්ත සහ එනසාල්, කරාබු නැටි ඉවත්කර බත උඩින් බැදගත් සියල්ල එකතු කර පිළිගන්වන්න.

 

 ඉදිරිපත් කිරීම සහ ඡායාරූප

ඉතාලියේ පර්මා හි පදිංචි සූුපවේදිනී

ජනනි ගුරුසිංහ

1014 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 19, සඳුදා 16:40
අදහස් එක් කිරීමට ලොග් වෙන්න