ඉවතලන බෝතල් ගෙනෙන විසිතුරු රටා

ජූලි 7, 2021

 

මෙවැනි බෝතල් ඔබේ නිවෙස අවට, ගෙවත්ත අවට ඕනෙතරම් සොයාගන්නට ඇති. පසුගිය දිනවල ඇදවැටුණු අධික වර්ෂාපතනය නිසා මේ බෝතල්වල ජලය පිරී තිබෙන්නත් පුළුවන්. දැන්වන විට කෝවිඩ් මාරයා පරදා ඩෙංගු මාරයා හිස ඔසවා ඇති නිසා වැසි ජලය පිරුණු බඳුන් ඔබේ නිවෙස අවටත් ඇත්නම් එමඟින් ජීවිත තර්ජන පවා එල්ල විය හැකියි.

මේ ආකාරයට ඉවතලන බෝතල්වලින් විසිත්ත කාමරය කලඑළි කරන්න හැඩැති නිර්මාණයක් කරගන්නා ආකාරය කියාදෙන්නට අදත් අපි මෙලෙසින් පෙළගැසෙන්නෙමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඉවතලන වීදුරු බෝතල්

ගෝනි නූල්

රේන්ද කොටසක්

රිබන්

ලී පබළු

භාග පබළු, ස්ටෝන්ස්

ෆෝම්ෂීට් මඟින් කපාගත් මල්

ගම්

රෙදි පින්තාරූ තීන්ත හෝ කැමැති තීන්ත වර්ගයක්

පින්සලක්

 

නිර්මාණය කිරීම

පළමුව බෝතලය ගෙන හොඳින් පිරිසුදු කරගන්න. ඉන්පසු බෝතලය වටා ගම් ආලේපකර උඩ සිට පහළට ගෝනි නූල අලවන්න. පසුව ඡායාරූපයේ පෙනෙන පරිදි බෝතලයේ යටට රේන්ද කොටසක් අලවන්න. එහි ඉදිරිපසට ඡායාරූපයේ පෙනෙන පරිදි සිරස් අතට භාග පබළු පේළියක් අලවන්න. නැවත බෝතලයේ උඩින මාලයක් සේ පෙනෙන පරිදි මැදට ලොකු ලී පබළුවක්ද දෙපසට කුඩා ලී පබළු කිහිපයක්ද කම්බියකට දමා සාදා රඳවන්න. එම කම්බි කොටස රඳවා ගත් තැන සිට පහළට ඡායාරූපයේ පෙනෙන පරිදි දම් වර්ණ තීන්ත ස්වල්පයක් ආලේප කරන්න. එහි මැදට දම් පැහැති ලොකු ස්ටෝන්ස් එකක් අලවා එහි වටේට භාග පබළු අලවාගන්න. මෙම බෝතලය හැඩකර ඇත්තේ මනාලියකගේ ස්වරූපයකට නිසා අත්දෙක ලෙස පෙනෙන පරිදි ගෝනි නූල් කොටස් කිහිපයක් ගෙන අත්වල හැඩය එනලෙස සාදා අලවන්න. මල් පොකුරක් අල්ලාගෙන සිටින ආකාරයට පෙන්වීමට ෆෝම්ෂීට් මඟින් කපාගත් මල් කීපයක් අලවන්න.

බෝතලයෙහි උඩ කට වටේට දුඹුරු වර්ණ ගැන්වූ ගෝනි නූල් කිහිපයක් අලවන්න. ඒ මනාලියගේ හිසකෙස් පෙන්වීම සඳහාය. දැන් තවත් ගෝනි නූල් කිහිපයක් ගෙන රවුමට ඔතා තොප්පියක් සේ සාදා බෝතලයෙහි උඩින් අලවන්න. එහි උඩටද මල් කිහිපයක් අලවා ගන්න. වෙළෙඳපොලෙන් ලබාගත් ඇස් දෙකක් අලවා හැඩකර ගන්න.

මෙය තමන් කැමැති ආකාරයකට අලංකාර කරගත හැකියි.

මෙහි ඇති අනෙක් බෝතලය හැඩගන්වා ඇත්තේ තීන්ත ආලේපකර ගනිමිනි. ඒ සඳහා ඡායාරූපයේ දැක්වෙන ආකාරයට හෝ ඔබට කැමැති ආකාරයකට වර්ණ යොදා ගනිමින් බෝතලය ආලේප කරගන්න. එහි මැදින් භාග පබළු කිහිපයක් රටාවකට අනුව අලවා ඇති අතර වටේට භාග පබළු කිහිපයක් මාලයක් ආකාරයට අලවා තිබේ.

ඒ අතරට වර්ණ කීපයකින් කපා සාදාගත් ෆෝම්ෂීට් මල් අලවා ඇති අතර බෝතලයේ උඩට නිල් පැහැති රිබන් පටියක් බෝ එකක් ආකාරයට සාදා එහි මැදට කුඩා මලක් අලවා ඇත. මල මැද නිල් පැහැති භාග පබළුවක් අලවා තිබේ.

 

 

 

උපදෙස්

මහරගම ප්‍රා. ලේ. කාර්යාලයේ බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ