ඉතුරු බිතුරු රෙදි කැබැලිවලින් ලියකියවිලි රඳවනයක්

සැප්තැම්බර් 15, 2021

 

"හිත ඇත්නම් පත කුඩා ද" යන පැරණි කියමන ඔබ කොතෙකුත් අසා ඇති. කෙනකුට යමක් කරන්නට අවැසි නම් එය කෙසේ හෝ සිදුකරන බව එයින් පිළිබිඹු වෙයි.

මේ පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වයත් සමඟ නිවෙසටම වෙලා ඉන්න සිදුව ඇති ඔබටත් මේ කාලයේදී විවිධ දේ නිර්මාණය කරන්නට සිතෙනවා වන්නට පුළුවන්. ඉතිං එවැනි ඔබ වෙනුවෙන් ඉවතලන රෙදි කැබලි කිහිපයක් යොදා ගනිමින් මසාගත හැකි පෑන් පැන්සල් මෙන්ම ලියකියවිලි ද බහා තැබිය හැකි රඳවනයකි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබට කැමැති වර්ණයක තනි පාට මෙන්ම මුද්‍රිත රෙදි මේ සඳහා යොදාගත හැකිය.

සිප් එකක්

පයිපිං

ඝනකමැති බෝඩ් එකක්

පැඩිං

 

නිර්මාණය කිරීම

පළමුවෙන්ම මෙහි පතරොම් කාඩ්බෝඩ් මත ඇඳගත යුතුය. ඒ සඳහා තිරස් අතට අඟල් 10කුත් සිරස් අතට අඟල් 8කුත් සිටින සේ කොටුවක් ඇඳගන්න. ඉන්පසු පළමු රූප සටහනේ දැක්වෙන ආකාරයට A සිට තිරස් අතට අඟල් 6 1/2ක් උස ලකුණු කර එය B ලෙස නම් කරන්න. දැන් A සිට තිරස් අතට අඟල් 3ක් ලකුණු කර C නම් කරන්න. පසුව B, C යා කරන්න. දැන් B, C රේඛාවේ B සිට පහළට අඟල් 2ක් ලකුණු කර D ලෙස ද D සිට අඟල් 2ක් ලකුණු කර E ලෙස ද නම් කරන්න. පසුව රූප සටහනේ පෙනෙන ලෙස A, C තිරස් රේඛාවට D, E යා කරන්න. එය හමුවන තැන් GH ලෙස නම් කර

තිබේ. B සිට ඉදිරියට අඟල් 03ක් ලකුණු කර F නම් කර , FC යා කරන්න. මෙලෙස මෙහි පළමු රූපය කොටස් 4ක් ඔබට ලැබී ඇත.

දැන් දෙවැනි රූපයට අදාළ කොටස් ඇඳගත යුතුය.

ඒ සඳහා C සිට සිරස් අතට අඟල් 4ක් ලකුණු කර I නම් කරන්න. C සිට තිරස් අතට අඟල් 3 1/2ක් ලකුණුකර J නම්

කරන්න. I සිට අඟල් 3 1/2ක් ලකුණු කර K නම් කරන්න. ඉන්පසු I, K, J යා කරන්න. දැන් C, I අතර දුර අඟල් දෙකක් බැගින් ලකුණුකර L ලෙස නම් කරන්න. මෙහි IK අතර දුර අඟල් 1 3/4ක් බැගින් ලකුණු කර එය M ලෙස නම් කරන්න.

පසුව (L,J) (I, J) (M, J) යා කරන්න. මේ ආකාරයට 2 රූප සටහනේ කොටස් 4ක් ඔබට ලැබී ඇත.

දැන් 3 වැනි රූපය ඇඳ ගනිමු. ඒ සඳහා J සිට සිරස් අතට අඟල් 2ක් ලකුණුකර N නම් කරන්න. J සිට තිරස් අතට අඟල් 3 1/2ක් ලකුණු කර O නම් කර O සිට අඟල් 4ක් ලකුණුකර P නම් කරන්න. දැන් N, P යා කරන්න. N, P අතර හරි මැද ලකුණුකර Q නම් කරන්න. J, Q යා කරන්න. J, Q අතර හරිමැද ලකුණුකර එය R ලෙස නම් කර (R, O) (Q, O) යා කරන්න. මේ ආකාරයට 3 රූපයෙන් කොටස් 4ක් ඔබට ලැබී ඇත. මේ ආකාරයට කපාගත් පතරොම් තබා රෙදි කපා ගනිමු.

ඒ සඳහා පළමුව මැහුම්වාසි ලෙස අඟල් 1/2ක් තබාගනිමින් අඟල් 8ක් උස හා අඟල් 10ක් පළල රෙදි කොටස් තුනක් කපාගන්න.

පසුව 1 රූප සටහනේ දැක්වෙන ලෙස කඩඉරි දිගේ ඇති කොටස් 4 කපා ගන්න. ඒ සඳහා මැහුම් වාසි අඟල් 1/4ක් තබාගන්න. පසුව 1, 2, 3 කොටස් මූට්ටුකර අවසානයේ 4 කොටස මූට්ටු කරන්න. එයට පැඩිං තබා මසා පයිපිං කරන්න.

දැන් 2 හා 3 රූප සටහන්වල ද කඩඉරි රේඛා දිගේ කපා මූට්ටුකර පැඩිං තබා ලයිනිං අල්ලා මසාගන්න. ඉන්පසු ඔබ පළමුව කපාගත් රෙදි කොටස් 2 ගෙන එයට පැඩිං දමා අතේ නූල් ඇද ගන්න. පසුව නිර්මාණයේ පෙනෙන (1), (2), (3) කොටස් තුන ගෙන එම රෙද්දටම තබා මසාගන්න. දැන් මුලින් කපාගත් රෙදි කොටස් තුනේ ඉතිරි කොටස ගෙන කණපිටට තබා මසා හොඳපිට හරවා ගන්න. (එය කැපීමේදී රෙදි කොටස් තුනේ උඩ අතට සිප් එක අල්ලා ගන්න. පසුව වටේ මසන්න) දැන් ඔබට හොඳ පිට හැරවූ පසු කුඩා බෑගයක් ලෙස පෙනේවි. අනතුරුව සිප් එක හැර එහි ඇතුළට කාඩ්බෝඩ් කොටසක් තබා

ගන්න. එසේ දමාගත යුත්තේ ශක්තිමත් ලෙස වගේම රඳවා තබා ගැනීම සඳහාය. අනතුරුව පිටුපසට ආධාරකයක් සවිකර ගන්න.

 

 

උපදෙස් -

අත්කම් නිර්මාණ ශිල්පිනී, සිංගර් ඩිප්ලෝමා

රුවිනි දිලන්ති

 

 ඡායා - උපාලි ජයරත්න

 

 රූ රටා - විදුමිණි