පරණ ටී ෂර්ට් එකෙන් අත්පිස්නා

අප්‍රේල් 11, 2022

 

ගෙවී යන කාලය පීඩාකාරී වුවත් පවුලක් ලෙසින් සතුටින් සමඟියෙන් ජීවත් වෙන්නයි අපි හැමෝගෙම කැමැත්ත. ඒ නිසා එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ නිවෙස කලඑළි කරන්න වෙහෙසෙන ඔබටයි මේ තිළිණය. මේ දවස්වල හැමදේකම මිල ඉහළ ගිහින්. ඒ නිසා අලුත් දේවල් ගන්න සල්ලි හිඟයි.

 

ඒත් ඔබ නිර්මාණශීලී නම් පරණ දෙයකින් අලුත් දෙයක් නිර්මාණය කළ හැකියි. අත්පිස්නා කියන්නේ වසරේ හැම දවසකම අවශ්‍ය දෙයක්. ඒත් මේවා අලුතෙන් ගන්න සල්ලි නෑ කියලා සැලෙන්න එපා. ඔබේ නිවෙසේ ඇඳුම් අල්මාරිය අවුස්සා බලන්න. සැමියාගේ, දරුවන්ගේ, වගේම ඔබේත් ඇඳුම් අතර අඳින්න බැරි ටී ෂර්ට්, බ්ලවුස් ඕනෙ තරම් ඇති. අපි මේ අඳන්න බැරි ඇඳුම්වලින් අත්පිස්නා කිහිපයක් නිර්මාණය කරගත්තොත් කොහොමද?

 

 

අඳින්න බැරි තනි පැහැති ටී ෂර්ට්,

බ්ලවුස්

ගැළපෙන වර්ණ නූල්, ඉඳිකටු

කතුර

මැෂිම

 

 

මේ සඳහා පළමුව අත්පිස්නාවට සුදුසු ප්‍රමාණය තීරණය කරන්න. සාමාන්‍යෙයන් අඟල් 12x12 ප්‍රමාණය ගන්න පුළුවන්. ඩිනර් නැප්කින් එකක් නම් අඟල්18x18. ඔබට අඟල්20x20 වැනි ප්‍රමාණයක එකක් වුවත් සකසා ගත හැකියි. දැන් ඔබ මෙම කැමැති ප්‍රමාණයකින් කොටස් දෙකක් කපාගන්න. එම කොටස් දෙක කණ පිට දෙපැත්තට උඩට සිටින සේ තබා වටේ මසාගන්න. වටේ මැසීමේ දී හොඳපිට හැරවීමට

ඉඩක් තබන්න.

දැන් ඉඩ තැබූ තැනින් හොඳපිට හරවා හිඩැස ද මසාගන්න. පසුව ගැළපෙන නූල් මැෂිමට යොදා කැමැති මෝස්තරයක සිග්සැග් ඩිස්කට් එකක් දමා වටේට ලස්සන මෝස්තරයක් මසාගන්න. කොන්වලට වැඩි

 

 

පුර මෝස්තර කොටස් එක් කරන්න. මැෂිමක් නොමැති නම් ෆර්න් මැස්ම, පිහාටු මැස්ම, මැස්සා මැස්ම වැනි ලස්සන මැහුම් ක්‍රමයකට මෝස්තරයක් අතේ මසාගන්න. මේ ආකාරයට වර්ණ කිහිපයකින් හෝ එකම වර්ණයකින් අත්පිස්නා කිහිපයක් මසා නිවෙස හැඩකරගන්න.