ගම් පේස්ට් රෝස මලක් හදමු

ජුනි 6, 2022

 

රතු රෝස ආදරයේ ආදරණීය සංකේතයයි. ඒ නිසාම තම ආදරණීයයන් වෙනුවෙන් නිර්මාණය කරන උපන්දින, විවාහ මංගල කේක් නිර්මාණ සඳහා මේ අලංකාර රෝස මල සකසාගත හැකියි. මෙය සකසා තිබෙන්නේ ගම් පේස්ට්වලිනි. එහෙත් ෆොන්ඩන්ට් අයිසිංවලිනුත් මේ ලස්සන රෝස මල හදන්න පුළුවන්. එහෙම හදනවා නම් ෆොන්ඩන්ට් අයිසිංවලට තයිලෝ පවුඩර් බොහොම පොඩ්ඩක් එකතුකරන්න.

අවශ්‍ය දේවල්

රතු හා කොළ වර්ණ ගම් පේස්ට්

රෝස මලේ පෙති සහ කොළ හැඩ කපාගන්න කටර් (කටර් නැතිනම් පුංචි පිහියක් උපයෝගී කරගෙන අතින් හැඩ කපාගන්න.)

රෝස මල රඳවා ගැනීමට මහත ඝනකම් කම්බියක් හා කොළ රැඳවීමට සිහින් කම්බි

කොළ පාට ගම් ටේප් සහ

එඩිබල් ග්ලු

(එඩිබල් ග්ලූ නැත්නම් තයිලෝ පවුඩර් ටිකක් වතුර පොඩ්ඩක දිය කරලා ගන්න. එහෙමත් නැත්නම් වතුර ස්වල්පයක් පින්සලකින් ගාන්න.)

 

මල හදමු

මුලින්ම 5 වැනි රූපයේ පරිදි හැඩ ඇතුව රෝස මලේ මැද සාදාගන්න. ඒ සඳහා රතු පාට ගම්පේස්ට් බෝලයක් ගෙන අතේ ඇඟිලිවලින් උල් හැඩය මතු කරගන්න. එය කම්බියේ රඳවන්න. දැන් අපි මුල්ම පෙති තුන කපාගනිමු. ඒ සඳහා සයිස් එකින් පොඩි කටර් එකක් ගන්න.

ගම් පේස්ට් කොටසක් සිහින්ව තුනීකර කටර් එකින් පෙති කපාගන්න. දැන් එම පෙති ටූල් එකකින් උඩ වට රවුම තවත් තුනීකරන්න. එතකොට පෙත්තක සිහින් හැඩ මතුවේ. දැන් මේ පෙති තුනෙන් එකක් ගෙන සාදාගත් බෝලයේ තුඩ කොටස සම්පූර්ණයෙන් වැසෙන ආකාරයට අලවාගන්න.

දැන් අනිත් පෙති දෙකත් ගෙන ඒ අයුරින් එකක් ඇතුළින් එකක් පෙති තබා වටේට අලවාගන්න. දැන් අපි ඊළඟ පෙති හතර කපාගනිමු. මේ පෙති හතරත් කලින් වගේම තුනී කරන්න. එවිට පෙති හැඩ මතු වේ. දැන් එය ද එකක් ඇතුළෙන් එකක් පෙති සිටින ආකාරයට අලවාගන්න. පෙත්තේ උඩට ගම් නොගා පෙත්තේ පැත්තකට විතරක් ගම් ස්වල්පයක් ගාන්න. ඊළඟට අපි තව පෙති පහක් කපාගනිමු. ඒ පෙතිත් තුනීකර සිහින් කරගන්න. ඒ පෙතිත් පෙර මෙන් පැත්තකින් විතරක් ගම් ස්වල්පයක් ගා එකක් ඇතුළෙන් එකක් දිස්වෙන ආකාරයට අලවාගන්න. දැන් මල් පෙතිවලින් රෝස මලේ මැද සකස් කර අවසානයි.

දැන් අපි මධ්‍යම ප්‍රමාණයේ කටර් එක ගෙන පෙති හතරක් කපාගනිමු. ඒ පෙති හතරෙම පෙත්තේ උඩ කොටස දෙපැත්ත පුංචි ස්ටික් එකක් ගෙන පිට පැත්තට ඒ ස්ටික් එක රඳවා රවුම් කරගන්න. මෙහෙම කරන්නේ රෝස පෙත්තේ හැඩය ගැනීමටයි. එසේ හැඩ කරගත් පෙති මේස හැඳි හතරක් ගෙන වේළෙන්න ටික වේලාවක් තබන්න.මේ විදියට තව පෙති පහක් කපා සකස් කර වේළෙන්න තබන්න. ඔබට මල ලොකුවට හදාගන්න ඕනේ නම් තවත් පෙති රවුමක් සකස් කර ගත හැකියි. දැන් වේළුණු පෙති අග ගම් ගාමින් එකක් ඇතුළෙන් එකක් තිබෙන පරිදි අලවා ගන්න. අනිත් පෙති පහත් ඒ අයුරින්ම අලවාගන්න. මලේ පෙති මල පිපිලා විහිදිලා තියෙන ආකාරය දිස්වෙන විදියට අලවාගන්න.

 

දැන් මල වේළෙන්න තබා කොළ සකස් කරගනිමු.

කොළ පාට ගම් පේස්ට් හෝ ෆොන්ඩන්ට් තුනීකර කොළ කටර් එකෙන් කොළ කපන්න. පුංචි කම්බි ගෙන මැද දාරය දිගේ මැදක් වෙනකම් යවන්න. දැන් කොළ ද වේළෙන්න තියන්න. රෝස මලේ නිමැවුම ලස්සනට ගන්නට කොළ පාටින් මනි පත්‍ර කොටසක් කටර් එකෙන් කපාගන්න. එය ගම් ගා මලේ යටට අලවා නිම කරගන්න.

දැන් කොළ ඉතිවලට කොළ එකිනෙක ගෙන ගැළපෙන අයුරින් තබා ගම් ටේප් මඟින් සම්බන්ධ කරගන්න.

කොළ ඉති මලේ නටුවට තබා ගම් ටේප් ඔතමින් එකතුකරන්න. මලේ නටුව ස්වාභාවික පෙනුම එන්නට කොළ පාට ගම් පේස්ට් කොටසක් ගෙන නටුව වටේටම එක් කර හැඩ මතුකරගන්න. ඒ අතරේ රෝස කටු හැඩය එන්න තැනින් තැන උල් හැඩය ඇඟිලිවලින් සකස් කරගත හැකියි. මේ අයුරින් නිම කළ රෝස මල හොඳින් දවසක් වේළෙන්න තබා කේක් නිර්මාණය ලස්සන කරගැනීමට එකතුකරගන්න.

 

 

උපදෙස් හා ඡායාරූප -

ඉතාලියේ පර්මාහි

සූපවේදිනී

ජනනි ගුරුසිංහ