දෝණිව හැඩ කරන්න ක්‍රොස් ඕවර් අත් යෙදූ ගවුමක්

ඔක්තෝබර් 10, 2022

 

ප්‍රාථමික පන්තිවල අධ්‍යාපය ලබන දියණියන් සඳහා මේ ලස්සන ගවුම ඔබටත් මසා ගත හැකියි. අපි එය අලංකාරව හා නිවැරැදිව මසාගන්නා ආකාරය මෙලෙස ගෙන එන්නෙමු. එය ඔබේ දියණියට අමතර පන්ති අඳින්න මෙන්ම සාමාන්‍ය ගමනකට අඳින්න වුවත් සුදුසුයි.

 

පළමුව අපි අවශ්‍ය මිමි මොනවාදැයි බලමු

අවශ්‍ය මිමි

උරහිස මිම්ම 12/2= අඟල් 6+1/2

පපුව වට 24/4 = 6 + 2 = අඟල් 8

ඉණට උස 13 + 1/2 = අඟල් 13 1/2

ඉණ වට 22/4 = 5 1/2 + 2 = අඟල් 7 1/2

යොර්ක් උස = අඟල් 4

ගවුම් උස = අඟල් 28

සාය උස = 28 -13 = 15 + 1 = අඟල් 16

වාටි උස = 7 +1 = අඟල් 8

වාටි පළල = 5/2 = අඟල් 2 1/2

අත උස = අඟල් 4

අත වට = 10/2 = 5 +1 = අඟල් 6

 

ඉදිරිපස පළුව

පළමුව රෙදි කොටසක් ගෙන දෙකට නමා (නැම්මට සිටින සේ) එහි මුදුනෙන්ම හරහට රේඛාවක් ඇඳ එහි සකසා ඇති උරහිස මිම්ම ලකුණු කරන්න. ලකුණු කර අවසන් වූ තැන සිට පහළට පපුව වට මිම්ම (අඟල් 6) ලකුණු කරන්න. එම රේඛාව අවසාන වූ තැන හරහට ද රේඛාවක් ඇඳ එහි පපුව වට සැකසූ මිම්ම (6 + 2) ලකුණු කරන්න. උරහිස සිට පහළට ඉණට උස ලකුණු කර හරහට රේඛාවක් අඳින්න. එම රේඛාවේ ඉණ වට මිම්ම (5 1/2 + 2) ලකුණු කරන්න. උරහිස සිට පහළට වාටි උස ද ඉණ රේඛාවේ හරහට වාටි පළල ද ලකුණු කර අඟල් 1/2 බැගින් දෙපසට දී ඩාට් හැඩය ඇඳගන්න. අංශය හැඩය යා කර අත් කටට පපු රේඛාවේ සිට අඟල් 1/2ක් ඔසවා ලකුණු කරන්න. අත් කට හැඩය කවාකාරව අඳින්න. කර හරහට පහළට ලකුණු කර, කර හැඩය අඳින්න. යෝක් උස අඟල් 4ක් ලකුණු කරන්න. උරහිස සිට පහළට එය වෙනම රෙදි කොටසකට පිටපත් කරගන්න.

 

පිටුපස පළුව

රෙදි කොටසේ බලවාටි එකට සිටින සේ අතුරා ගන්න. පිටුපස අඟල් 1ක් ඔසවා තබා පහළට රේඛාවක් අඳින්න. (එම ප්‍රමාණය ෂිපරය ඇල්ලීමට මූට්ටු කිරීම සඳහා) එම රේඛාවෙන් ඉදිරිපස පළුව ඇඳගන්න. (නැම්මෙන් අඟල් 1/2යක් නමා දමා අතුරන්න.) එම පතොරම පිටුපස පළුවට පිටපත් කරගන්න. රූප සටහනේ පරිදි යෝක් කොටස වෙනම රෙදි කොටසකට පිටපත් කර කපාගන්න.

 

සාය කොටස

පෙන්වා දී ඇති උසට සාය කොටස් 2ක් කපාගන්න. රෙදි පළල, ගවුමේ උඩු කය මසා එම ප්‍රමාණයට රැලි සැකසූ පසු එන ප්‍රමාණය වේ.

 

මසා ගන්නා ආකාරය

ඉදිරිපස පළුව ඩාට් මසා කර පයිපිං අල්ලා ගන්න. මැහුම් වාසි ද සහිතව කපා ගත් යෝර්ක් කොටස අංක 2 උඩුකය කොටසට අල්ලා ගන්න. අලංකාරය සඳහා ලේස් කොටසක් ද අල්ලන්න.

පිටුපස පළුවේ යෝර්ක් කොටස් 2ක කෑලි 2කට වෙන වෙනම අල්ලා ඉන්පසු මැදින් ෂිපරයට ඉඩ තබා පහළට ඉතිරි කොටස මසා පසුව ෂිපරය ද අල්ලා කරට පයිපිං අල්ලා ගන්න. ක්‍රොස් ඕවර් අත් කොටස් 2ක එකක් උඩ එකක් සිටින සේ තබා ඇඳුමට ඇල්ලිය යුතුයි. එක අතක් සඳහා අත් කොටස් 2ක් අවශ්‍ය වේ. අතේ වාටිය මසා ඇඳුමට අල්ලා ගන්න. කිහිලි කට ඉතිරි කොටස පයිපිං කරගන්න. ඇඳුමේ පිටුපස පළුවට සායේ රැලි සකසා අල්ලා ගන්න. මැදට පෙට්ටි රැල්ලක් සහ දෙපසට පොඩි රැලි 2ක 2ක සිටින සේ ඉදිරිපසටත් අල්ලාගන්න. අවසානයේ දෙඅංශය හා වාටි මසාගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා  හා මෝස්තර නිර්මාණ ශිල්පිනී

යමුනා විජේමාන්න

 

රූ රටා - විදුමිණි