පැංචිගෙ කාමරය සකසන නත්තල් කුමාරි

දෙසැම්බර් 12, 2022

 

මේ නත්තල් සමයේ පුංචි දෝණිගේ කාමරය සරසන්න අපූරු බිත්ති සැරසිල්ලකි. ඒ විතරක් නොවෙයි ආලින්දයේ හැඩට කුෂන් කවරයකට වුව මෙම අනගි කතිර රටාව නිර්මාණය කරගත හැකියි. ඉතාම සරල නිර්මාණයක් වන මෙය නිර්මාණය කර අවසානයේ ලොකු වටිනාකමක් ගෙන දේවි. නත්තලට ඔබේ නි‍ෙවසට පැමිණෙන හිතවතියකට වුව නත්තල් තිළිණයක් ලෙසින් දෙන්නත් කදිමයි.

 

මේ සඳහා අවශ්‍ය වන්නේ

 

අඟලට කොටු 10 ,11 හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්බර 24 හෝ 26

ට්‍රැපැස්ට්‍රි ඉඳිකටු විවිධ වර්ණවල කැරළි නූල් රාමුවක්

සාමාන්‍ය ඉඳි කටුවක්


කතුරක්

 

නිර්මාණය කරගන්නේ මෙලෙසයි.

මෙම නිර්මාණය සෙන්ටිමීටර් 16.51 x 20.68 ප්‍රමාණයෙ නිර්මාණයකි. (මෙම ප්‍රමාණය කොටු 14 අැති අයිඩා රෙද්ද සඳහාය)

අඟලට කොටු 9 හෝ 10 භාවිත කරන්නේ නම් ඔබේ නිර්මාණයේ ප්‍රමාණය විශාල වේ. එමෙන්ම ඔබ ඒ සඳහා නූල් පොටවල් තුනක් හෝ හතරක් භාවිත කළ යුතුයි. එහෙත් අඟලක කොටු 14 සඳහා පොටවල් දෙක භාවිත කිරීම ප්‍රමාණවත්ය. එමෙන්ම රෙදි කපා ගැනීමේදී නිර්මාණය රාමු කර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපා ගන්න. ඒ සඳහා වටේට අඟල් දෙකක් හෝ තුනක් තබා රෙදි කැබැල්ල කපාගන්න. දැන් කොටු 10x10 ඇඳ ගැනීම පහසු වේ. එසේත් නැතිනම් වෙළඳපොලේ ඇති තද පැහැති පෑන් වර්ගයක් භාවිත කර රෙද්දේ කොටු 10 x 10 ඇඳගන්න. මැසීම ආරම්භ කිරීමේදී මෝස්තරයේ මැද හෝ කොනකින් ආරම්භ කළ යුතුයි. අප ලබාදී ඇති සංකේත වලට අදාල නූල් වර්ණ යොදාගෙන කතිර මැස්මෙන් මෝස්තරය ආරම්භ කරන්න. මෙහි සංකේතවල දක්වා ඇති 554+211 යන සංකේතයෙන් මැසීමට අදාළ වර්ණ දෙකෙන්ම තනිපොට බැගින් ගෙන ඉඳිකටුවට දමා මසාගන්න. කළු පැහැයෙන් දක්වා ඇති රේඛා (310) තනිපොට භාවිත කර ආපසු මැස්මෙන් මසාගන්න. බලන්නකෝ දැන් ඔබට අප ලබාදී ඇති නත්තල් කුමාරිගෙ නිර්මාණය ලස්සනට නිමවී ඇති. මෙවැනි නිර්මාණයකින් ආලින්දය සැරසුවහොත් නි‍ෙවසට පැමිණෙන අමුත්තන්ගෙන් වුව ඔබ පැසසුමට ලක් වේවි.

උපදෙස්

ප්‍රවීණ කතිර මැහුම් ශිල්පිනී

පූර්ණා කුලරත්න