මට හොඳ මහත්තයෙක් දීපු එකට මම ඒ අම්මාට ගරු කරනවා

-ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දිසානායක
සැප්තැම්බර් 9, 2020

කට ඇති පුතත් රුව ඇති දුවත් පවුලකට සම්පතක් බව කියැවේ. ඇය රුව පමණක් නොව, චතුර කථිකත්වයකට ද උරුමකම් කියුවා ය. කටහඬින් මෙන්ම ඇගේ සොඳුරු රුවෙන් ද අපව ආකර්ෂණය කර ගත්තා ය.

මේ නිසා ම ඇය නිවේදිකා වෘත්තියට ඉඳුනිලක් ම වූවාය. ඇය එම වෘත්තියට ම මැවූ චරිතයක් බඳු ය. එපමණට ම නිවේදන කුසලතාවත්, ජනතා ආකර්ෂණයත් ඇයට සමීප වී ඇති බැවිනි.

ඉඳුනිල් දිසානායක කියූ පමණින් ම ලොකු කුඩා කවුරුත් ඇය හොඳින් ම හඳුනන්නීය. එපමණට ම ඉඳුනිල් තම රැස් කදම්බය ශ්‍රී ලාංකේය ජනතාව වෙත පතුරුවා ඇත. වේගවත් කතා ශෛලියක් උරුම වුවද පැහැදිලිව නිවැරැදි බස හැසිරවීමේ ඇගේ කතා කලාව නව පරපුරට ආදර්ශයකි.

අද ආදරණීය හෝරාවක් ගත කිරීම සඳහා අප පැමිණියේ ඇගේ සොඳුරු නිවහනටයි. ගේට්ටුවෙන් ඇතුළුවත්ම ඇගේ බලු සුරතලා අපි නොහඳුනන හෙයින්දෝ බුරන්නට විය.

ඇගේ සොඳුරු සිනහව ඇරුණු දොරින් මතුවිය.

'එන්න.. එන්න..' ඇගේ නිවහන තුළට අප කැඳවා යන අතරතුර 'මේ ගෙදර ඉන්නේ ඉතිං අපි දෙන්නා විතරයි.. ළමයි ඉන්නේ රටනේ.. ' යි පැවසුවා ය.

* මේ දවස්වල කොහොමද වැඩ කටයුතු..

මේ දවස්වල මගේ තාත්තා ටිකක් අසනීපෙන් ඉන්න නිසා නිතර තාත්තා බලන්න යනවා. මගේ සුපුරුදු නිවේදිකා වෘත්තියේ වැඩ කටයුතු කරගෙන බොහොම සාමකාමී ජීවිතයක් ගත කරනවා.

* නිවේදිකාවක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණද?

මම රස්සාවක් කරන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. විවාහයට පෙර මගේ ඇඳුම් නිර්මාණය කළේ ඇඳුම් නිර්මාණ ශිල්පිනී චූලා නානායක්කාර මහත්මිය. ඇය 1980 මිස් ශ්‍රී ලංකා තරගයේ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය හා සංවිධායකවරිය ලෙසින් කටයුතු කළා. ඉතිං ඇය මටත් මේ තරගයට ඉදිරිපත් වෙන්න කියලා කිව්වා. මේ තරගයේ මිස් ශ්‍රී ලංකා වුණේ රෝසි සේනානායක. මෙහි පළමු හයදෙනාට ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් එක හඳුන්වා දෙන නිසා එහි නිවේදිකාවන් වීමට පුහුණුව ලබා දීමට කටයුතු කළා. ජර්මනියෙන් පැමිණි අය තමයි මාස තුනක පමණ කාලයක් අපි පුහුණු කළේ. ඒත් අනිත් අය දිගටම මේ පුහුණුවට ආවේ නෑ. මම දිගටම පුහුණුවට සහභාගී වුණා. මම සිංහල මාධ්‍ය නිසා ප්‍රභා රණතුංග මහත්මිය යටතේ පුහුණුව ලැබුවා වචන උච්චාරණය පිළිබඳ.

* ලංකාවට අලුත් දෙයක් වූ රූපවාහිනිය ඔබේ ජීවිතයට බලපෑම් කළේ කොහොමද?

මම ඉගෙන ගත්තේ ඉන්දියාවේ නිසා දූරදර්ශන් ටී.වී. එක දැකලා රූපවාහිනිය කියන එකේ අත්දැකීම ලබාගෙන තිබුණේ. සිව්දිගින් කියන වාර්තාමය වැඩසටහන තමයි මුලින් ම රූපවාහිනියේ ඉදිරිපත් කළේ.. ඒ 1981 මාර්තු 23 වැනි දින. මෙය ලංකාවේ පළමු සිංහල ටෙලිවිෂන් වැඩසටහනයි. පළමු රූපවාහිනී නිවේදිකාව වන්නේ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය. මම දෙවැනියා. මාස තුනක් පමණ අපි දෙන්නා තමයි මාරුවෙන් මාරුවට මේ වැඩසටහන ඉදිරිපත් කළේ. ඉංගී‍්‍රසි වැඩසටහන් මෙයට පෙර විකාශය වුණා.

ඉන්පසුව ජාතික රූපවාහිනියට ගියා. එහිත් පළමු නිවේදිකා කණ්ඩායමට මම ඇතුළත් වුණා. මමත් එක්ක සුමනා නෙල්ලම්පිටිය, නොයෙලින් හොන්ටර්, ආරියසිංහ යන අය හිටියා. නැවතත් 1983 දී ස්වාධීන රූපවාහිනියේ මධුරසාංග වැඩසටහන සඳහා තේවිස් ගුරුගේ මහතාගෙන් මට ආරාධනාවක් ලැබුණා. එතැන් පටන් වසර 20ක් ආරියසිරි විතානගේ සමඟින් මධු රසාංග වැඩසටහන ඉදිරිපත් කළා.

* ඔබ ලංකා ටෙලිවිෂන් ඉතිහාසයේ නොමැකෙන ලෙසින් තම නම සටහන් කළ චරිතයක්..

ඔව්, මට එහෙම වාසනාවක් උරුම වුණා. කාටවත් කඩන්න බැරි වාර්තා කිහිපයකට උරුමකම් කියන්න හැකි වීම මම දකින්නේ වාසනාවක් කියලා. මොකද මම ස්වාධීන රූපවාහිනී සේවයේ මුල්ම ප්‍රවෘත්ති නිවේදිකාව, සිරස නාළිකාවේ පළමු නිවේදිකාව, රූපවාහිනී පළමු කණ්ඩායම, ඊව්ඹ් එකේ පළමු කාන්තා වැඩසටහන කළ නිවේදිකාව, ස්වාධීන රූපවාහිනියේ පළමු සජීවී වැඩසටහන් විකාශයක නිවේදනය කළ පළමු නිවේදිකාව, ප්‍රථම ළමා වැඩසටහන් නිවේදිකාව, ප්‍රථම සංගීත වැඩසටහන් නිවේදිකාව ලෙසින් කටයතු කළා.

* ඔබේ පවුල් පසුබිම ගැන කතා කළොත්...

මට ඉන්නේ අක්කා කෙනෙක් සහ මල්ලි කෙනෙක් විතරයි. අම්මා ගුරුවරියක්. පසුව ඇය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් වුණා. අම්මා දැන් අප අතර නැහැ. තාත්තා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කළා. අක්කා ගියේ විශාඛා විද්‍යාලයට, මම ගියේ බෞද්ධ කාන්තා විද්‍යාලයට ඉන්පස්සේ මම ගෝතමී විද්‍යාලයට ගියා. ඒ කාලේ අම්මා ගෝතමියේ ගුරු මණ්ඩලයේ තමයි හිටියේ. මල්ලි නාලන්ද විද්‍යාලයට ගියා.

 

ඡායා - ශාන් රූපස්සර

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න