කිරුළක් අභියස ගැහැනියක් නිරුවත් කරන්න පුළුවන්ද?

අප්‍රේල් 14, 2021

 

වැටුණු සෑම තැනකම මට ශක්තියක් වුණේ අම්මා,තාත්තා

මුළු ලෝකයම ජයග්‍රහණය කළා වගේ හැඟීමක් දැන් මට දැනෙනවා

කවුරු මා ළඟ නැතත් මම දරුවා වෙනුවෙන් කැපවෙනවා

 

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ 2020... මෙය අප රටේ පවත්වනු ලැබූ රූ රැජිනියන් තෝරන එක් තරගයක් පමණකි. මේ තරගය ගැන අපේ රටේ ජනතාව දැන සිටියේ ද ඉතාම අතලොස්සකි. එහෙත් එම තරගය ගැන මුළු රටක් කතා කරන්නට තරම් ප්‍රබල මාතෘකාවක් වූයේ එම තරගයේදී සිදුවූ ඉතාම අශිෂ්ට වූ නින්දිත ක්‍රියාව අභිමුකය.

 

පුෂ්පිකා ද සිල්වා.... ඇය ගැන මුළු රටම දැන ගත්තේ ඉන් පසුවය. මේ ක්‍රියාව ගැන මුළු රටම කතා කරන්නට පටන් ගත්තේ මහත් පිළිකුලෙනි. ඒ හැම දෙනාම කතා කලේ එම තරගයේ නීතිරිති මාලාව හෝ නෛතික රාමුව ගැන නොවේ. ලෝකයක් දිනූ ගැහැනියකගේ අශීලාචාර වූ නින්දිත හැසිරීමයි. එම හැසිරීම හමුවේ සමාජ මාධ්‍ය ජාල පුෂ්පිකා ගැන අනුකම්පාවෙන් හඬ අවදි කළේ ඉතාමත් සංවේදී ලෙසිනි. එම සිදුවීමෙන් පසු පුෂ්පිකාගේ මුහුණු පොතේ ගිණුමේ ඇය ඉතාම හැඟුම්බර සටහනක් තබන්නේ මෙලෙසිනි.

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවනි,

සිදු වූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දනිමි. කියන්නට බොහෝ දේ තිබුණත්, අත්‍යාවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

ලෝක විවාහක රූ රැජිණ විසින් එසේ මගේ හිසින් මගේ කිරුළ උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල ගලවා ගනිද්දී සිතට දැනුන වේදනාව ඉවසා සිටියේ ශක්තියක් මට තිබුණා. එහෙත් “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනව ද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

අනික් අතට මම දික්කසාද ගැහැනියක් නො වෙමි. මේ ලියන මොහොතේ් ද මා දික්කසාද ගැහැනියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමඟ සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ. මේ සිදුවීම සිදු වන්නේ ගමේ අවුරුදු උත්සවයක නොවේ. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය. තරගය විනිශ්චය කරන්නේ ලංකාවේ ප්‍රවීණතම රූපලාවණ්‍ය ශිල්පීන් වන රමණී ප්‍රනාන්දු, මයිකල් විජේසූරිය ඇතුළු කණ්ඩාමකි. ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ මේ තරගාවලිය අවසානයේදී සිදු වූ අනපේක්ෂිත සිදුවීම හමුවේ ඉතාම අසරණ තත්ත්වයට පත්වූ කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වා රෝහල්ගතවීමෙන් පසු අප හමුවූයේ දින දෙකකට පසුවය. මේ සිදුවීම ගැන පුෂ්පිකා අප සමග පිළිසඳරකට එක්වූයේ ඉතාමත් හැඟුම්බර කතාවකට මුල පුරමිනි.

ඇත්තටම පුෂ්පිකා මොකක්ද ඔබට මේ සිද්ධිය ගැන හිතෙන්නේ?

මගේ ජීවිතයේ කිසිම දවසක බලාපොරොත්තු වුණු දෙයක් නොවෙයි. හරිම කනගාටුයි. මම හරිම ඩිසපොයින්ටඩ් ඒ සිද්ධිය ගැන. කවදාවත් කාන්තාවක් කාන්තාවකගේ අනාගතයට ඉදිරියට යන ගමන නවත්වන්න හදනවා නම් කාටහරි රිද්දලා එයින් කවුරු හරි සතුටක් ලබනවා නම් ඒක ජයග්‍රහණයක් නෙවෙයි පරාජයක්. මොකද මගේ ජීවිතයේ මට වැරැදුණු තැන් ගොඩක් තියෙනවා. මට හිතා ගන්න බැරි විදිහටයි මගේ ජීවිතය වැරැදුණේ. බලාපොරොත්තු නොවුණු විදිහටයි ඒ දේවල් සිද්ධ වුණේ.

ඒ අභියෝගවලට ඔබ මුහුණ දුන්නේ කොහොමද?

නමුත් ඒ වැටුණු හැම තැනකදිම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා. (ඇය හැගුම්බරව කඳුළු සලයි) ඒ වගේම තමයි මගේ අක්කා, සහෝදර සහෝදරියෝ මා ළඟින් හිටපු හැම දෙනාම.

ඇත්තටම මගේ පණ දරුවා. ඒ දරුවා හදන්න මා කරන කැපකිරීම දන්නේ ඒ අය විතරයි. කවුරු මා ළග හිටියත් නැතත් මගේ ජීවිතය දරුවා වෙනුවෙන් ඉදිරියට ගෙනියනවා. මගේ මවුපියන්ට කවදාහරි මැරෙන දවසක දුකක් දැනෙන්න එකක් නැහැ. මගේ දරුවා ජාත්‍යන්තර තලයටම ගියා කියලා එයාලට සතුටු වෙන්න පුළුවන්. මගේ අම්මා, තාත්තා, අක්කා මාත් එක්ක ඉන්න කුමාරි මේ අය විශාල ශක්තියක් වුණා. ඒ අය තමයි වැටුණු හැම අවස්ථාවකම මාව ධෛර්යමත් කෙරුවේ.

ඇත්තටම මේ සිදුවීම ඔබගේ ගමන නැවැත්වීමට කියා කිව්වොත්....

මේ දෙයින් කවුරු හරි හිතුවා නම් මාව වට්ටන්න ඉදිරි අනාගත විනාශ කරන්න. මං හිතන්නේ නෑ ඒ අයට ඒ දේ කරන්න පුළුවන් කියලා. මං යකඩ ගැහැනියක්. ඇත්තටම මං වැටෙනවා නම් වැටෙන්නේ මීට අවුරුදු 3 - 4 කට කලින්. මොකද වැටුණු හැමතැනකදීම ඒ වැටුණු තැනින් තමයි මම නැගිට්ටේ. මගේ අම්මා තාත්තාගේ වචනවලින් තමයි ශක්තිමත් වුණේ. මේ සිද්ධියෙන් පසුවත් මම කරන්නේ ඒ දේම තමයි.

ඔබ කිරුළ දිනා ගැනීමට තරග කළේ මොන බලාපොරොත්තුවකින්ද?

2020 විවාහක රූ රැජිණ කිරුළ දිනාගන්න තරග කළේ මං වගේ දරුවන් එක්ක තනි වුණු අම්මලා වෙනුවෙන්. ඒ වගේ අය (single mom) ලංකාවේ අද ගොඩක් දුක් විඳිනවා. මේ කිරුළ මගේ නොවෙයි. ඒ අයටයි අයිති. මේ කිරුළෙන් ඒ අයගේ අනාගතය එළිය කරන්න පුළුවන් නම් එය තමයි මගේ සතුට. ඉදිරියට මගේ ඒ අය වෙනුවෙන් කරන්න බොහෝ දේ හිතේ් තිබෙනවා. ඒ දේවල් ගැන ඔබට ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි.

එදා ඇත්තටම මොකද වුණේ?

ඒ සිදුවී ගැන කතා කරන්න ඇත්තටම මට කැමැති නෑ... මං ඉදිරියට කරන දේ ගැන දේ විතරයි මම හිතන්නේ. මේ දේ කළ අය විශේෂයෙන් මාව අපකීර්තියට පත් කරපු අය හැසිරුණු ආකාරය ඔබ මාධ්‍යයෙන් දකින්න ඇති. ඒ අයට මං සමාව දෙනවා. අපට දෙවියන්වහන්සේ උගන්වලා තියෙන්නේ වැරැදි කරන අයට සමාව දෙන්න කියලා. මගේ අම්මා තාත්තා උගන්වලා තියෙන්නේ අපට වෛර කරන අයට වෛර කිරීම වැඩක් නැහැ කියලා. ඒ අය කරපු නරක ඒ අය ගෙනියයි. මං කරන හොඳ මට ලැබෙයි. නමුත් මට වුණු අපකීර්තියට ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. මට නීති උපදෙස් ලබා දෙන නීතිඥවරිය ඉදිරියේ්දී ඒ වෙනුවෙන් කටයුතු කරයි.

පුෂ්පිකා ඇත්තටම දික්කසාද කාන්තාවකට තරගයට ඉදිරිපත් වෙන්න බැහැ නේද?

ඇත්තටම ඒ ගැන කතා කළ යුතු දෙයක්. දික්කසාද ගැහැනියකගේ තිබෙන අඩුපාඩුව කුමක්ද? ඇය තම පවුල, දරුවන් වෙනුවෙන් දිවි හිමියෙන් කැප කරලා තියෙනවා. මිනිස්සු කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. ගැහැනියකට අයිතියක් තියෙනවා. මෙවැනි තරගයකට ගිහින් තමුන්ගේ රට වෙනුවෙන් තරග කරන්න. ඒක හරිම පටු අදහසක්. ලෝකයේ දහ දෙනෙක් ගත්තොත් නවයක් දික්කසාදයි. දරුවෝ නිසා තමයි එක හරි පවුලක රැකගෙන ඉන්නේ. සමහර පවුල් ඉන්නවා ලෝකෙට පෙනෙන්න සැමියා සමග පවුල් ජීවිතය ගත කරනවා කියලා පෙන්වනවා. නමුත් ඒ හැම දෙයම ඇත්ත නොවෙයි. අපි යථාර්ථයත් සමඟ හැම දෙයටම මුහුණ දිය යුතුයි.

පුෂ්පිකාට පුළුවන් වෙයි ද මේ වෙනුවෙන් හඬක් නඟන්න.

මට ලැබුණු මේ අත්දැකීම මගේ හැරවුම් ලක්ෂ්‍යය කරගන්නවා. මම ලෝකයට ඇහෙන්න හඬක් නඟනවා. සැමියා සමඟ එකතුවෙලා දරුවෝ හදලා දික්කසාද වෙලා මුළු ජීවිතයම දරුවෝ සමඟ ඇය වන්දි ගෙවනවා. මේ මාතෘකාව ජාත්‍යන්තර තරගයේදී අනිවාර්යෙන්ම මම කතා කරනවා. නමුත් මම තවමත් විවාහකයි. ඒ නිසා මේ ඉතිහාසය පුෂ්පිකා ද සිල්වා කිය ගැහැනිය වෙනස් කරන බවට අද සහතික වෙනවා. අවිවාහක කාන්තාවකට වුණත් සහභාගි වෙන්න පුළුවන් කියන පදනම ජාත්‍යන්තර තරගයකදී හදන්න පෙනී සිටිනවා.

ඔබ මේ සිදුවීමෙන් ඉගෙන ගත්තු පාඩම මොකක්ද?

මට මේ කිරුළු ජයග්‍රහණය කළාට වඩා මුළු ලෝකයම ජයග්‍රහණය කළා වගේ හැඟීමක් මේ දින කිහිපයේදී දැනුණා. මට සමාජ මාධ්‍ය, දුරකතන ඇමතුම්, ජනමාධ්‍ය, මුද්‍රිතමාධ්‍ය හැම දෙයකින්ම පක්ෂ, ජාති, කුල මල, ආගම් බේදයකින් තොරව මාව විශාල පිරිසක් මා සමඟ හිටගත්තා. ඇත්තටම මං ඉදිරියේදී සියලුම ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් දරුවාත් සමඟ තනි වුණු කාන්තාව වෙනුවෙන් හඬක් නඟනවා. ඇත්තටම රෝසි සේනානායක මහත්මිය මට වුණු මේ ගැටලුවේදී විශාල ශක්තියක් වුණා. උදව් කළා. ඇයගේ ගුණාංග සෑම කාන්තාවකටම ආදර්ශයක්. ඇත්තටම මම ආසයි ඇය වගේ වෙන්න. මේ තරගයට විශාල පිරිසක් දායක වුණා. ඒ සෑම දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නත් කැමැතියි.

මේ පිළිතුර අතර පුෂ්පිකාගේ මව සහ පියා සමඟ ද අපට මොහොතක් කතා කරන්න අවස්ථාව හිමි වුණා. එහිදී පුෂ්පිකාගේ මව ඩබ්. අයිරාංගනී මහත්මිය සහ පියා ඩැනියෙල් ද සිල්වා මහතා කතා කළේ මහත් අභිමානයෙන්. තම දියණිය රැජිණක් ලෙසින් කිරුළ දිනූ සතුට මොහොතින් උදුරා ගන්නා අයුරු ඔවුන් සඳහන් කළේ මහත් වේදනාවෙන්.

අපේ ගම පො‍ෙලාන්නරුවේ. දුව පාසල් ගියේ තෝපාවැව මහ විදුහලට. එයා පුංචි කාලේ පටන්ම ක්‍රීඩාවට දක්ෂයි. සංගීතයටත් දක්ෂයි. ඉස්කෝලේ තූර්යවාදක කණ්ඩායමේ නායිකාව වුණා. නෙට්බෝල් ක්‍රීඩා කළා. දවසක් දුව ටීවී එක බල බලා ඉන්නකොට අම්මේ මම ශ්‍රී ලංකා රූ රැජිනතරගයට යන්න ද කියලා ඇහැව්වා. 2011 අවුරුද්දේ තමයි ඒ තරගය තිබුණේ. ඒ තරගයෙන් දිනුවා. අපි දැනගෙන හිටියා අපේ දුව කවදා හරි දුර ගමනක් යනවා කියලා.

ඒත් එදා වුණු සිද්ධිය නම් අපට පුදුම වේදනාවක්. මවුපියෝ හැටියට අපි දුවට කියලා තියෙන්නේ ගමේ හැදුණු අපට විශාල අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයට මුහුණ දෙන්න හිත ශක්තිමත් කර ගන්න කියලා. අපේ දුව අපි කියපු දේ පිළිගත්තු නිසා තමයි එයාව වට්ටන්න බැරි වුණේ. අපේ දරුවන්ට අපි කිසිම දවසක වැරැදි දේ කරන්න උගන්වලා නැහැ. ඒ නිසා අපේ දරුවන්ට වරදින්නේ නෑ. අපේ පවුලේ දරුවෝ 4 දෙනයි.

ලොකු දුව ලක්ෂිකා. පොඩි දුව මේනකා. දෙවැනි දුව තමයි පුෂ්පිකා. පුතා රෝෂාන්. අපට ගමේ වී මෝලක් තියෙන්නේ. අපි දහඩිය මහන්සියෙන් හම්බ කරලා තමයි මේ දරුවෝ හැදුවේ. ඒ නිසා අපට වරදින්නේ නෑ කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඇත්තටම අපේ ජීවිතේ ලොකුම සතුට තියෙන්නේ පුෂ්පිකාගේ පුතා ටැවෝන්  එයාගේ හුරතලය දැක්කම අපට පුදුම සතුටක් දැනෙනවා.

පුෂ්පිකාගේ මේ සිදුවීම තුළින් අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. ගැහැනියක්, මවක්, කාන්තාවක් ලෙස අප සමාජයේ ක්‍රියා කළ යුත්තේ කෙසේද? තමුන් කරන දෙයින් තමන්ටත් සමස්ථ රටටක් සිදුවන හානිය ගැන අප වරක්, දෙවරක් නොව සිය වරක් සිතිය යුතු වෙයි.

ඒ ගැන සමාජ මාධ්‍යයේ කිවි සටහනක් තබන චුලක මධුරංග ලියනගේ සහෘදයාගේ කවියෙන් ඇයගේ පිළිසඳරට විරාමය තබන්නේ මෙලෙසිනි.

 

සැමියා නොමැති බිරිඳක හට නැත බුරුල
ඇකැපද ඇයට ජය හා සතුටෙහි තුරුල
පිසලනු කව්ද ගලනා නෙතු අග කඳුල
උදුරනු එපා ඇයගේ හිස බැඳි කිරුල

 

 

 

 

ඡායාරූප

ශාන් රූපස්සර සහ අන්තර්ජාලයෙනි