මුතු කිරිල්ලියගේ කැදැල්ල එළිය කරන අමුත්තිය

මැයි 5, 2021

 

පුංචි තිරයේ අපි දුටු මුතු කිරිල්ලියගේ කැදැල්ලට අමුත්තියක් එකතු වෙලා. මුතු කිරිල්ලී කියපු ගමන්ම කාටත් මතක් වෙන්නේ නෙහාරාව. නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ කාගෙත් ආදරයට වගේම කතා බහට ලක්වුණු ආදරණීය කලා ශිල්පින් යුවලක්.

 

ඉතින් මේ දෙන්නා පසුගිය කාලයේ උතුම් මව් පිය පදවිය ලැබුවා. එළැඹෙන මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් නෙහාරා ඇගේ පුංචි දියණිය පිළිබඳව පළමුවරට තරුණී සමඟ කතා බහකට එකතු වුණා.

 

නෙහාරාගේ කැදැල්ලට පුංචි අමුත්තියක් එක් වුණා නේද?

ඔව්. දැන් මම හුරතල් ආදරණීය දියණියකගේ මවක්. ඇය මේලි නිකොලා රාජපක්ෂ. දැන් එයාට මාස පහයි. එයත් එක්ක ඉද්දි කාලය ගත වෙනවා තේරෙන්නේ නැහැ. මමයි දුවයි මේනකයි දැන් කාලය ගත කරන්නේ හරිම සතුටින්.

 

දියණියක් කියන්නේ මවකට ලොකු වගකීමක්.

එයාව හම්බවුණු දවසේ ඩොක්ටර් ඇවිත් බබාව මගේ නළලෙන් තිබ්බම මට ඇඬුණා. නවත්තගන්න බැරි තරම් ඇඬුණා. මේනකත් මගෙ ළඟ හිටියා. දියණියක් වෙනුවෙන් මවකට ඇති වගකීම කවදාවත් ඉවර කරගන්නට බැහැ. ඒක කවදාවත් ඉවර වෙන්නේ නැති වගකීමක්. මගේ අම්මා මාව හදලා වඩලා විවාහ කර දීලා, දැන් මගේ බබාවත් බලනවා. ඉතිං තාමත් අම්මා මං ගැන හරියට බලනවා. ඒ වගේ තමයි මමත් මගේ දියණිය වෙනුවෙන් ඒ හැමදේම කරයි. බබා ලැබෙන්න ඉන්න කාලේ මං දෙවියන්ගෙන් ඉල්ලුවේ මගේ දරුවව රටේ හොඳ පුරවැසියෙක් විදියට හදන්න මට ශක්තිය දෙන්න කියලා.

 

බිරියක්, මවක්, ගෘහණියක් යන භූමිකා ත්‍රිත්වය කරගෙන යද්දි ඔබ වඩාත් කාර්යබහුල ඇති...

මම හරිම වාසනාවන්ත කෙනෙක්. ක්ෂේත්‍රයේ වැඩ කරන කාලයේදීත් මං හරි වාසනාවන්තයි. ගෙදර වැඩවලට, උයන්න, පිහන්න බබාගේ වැඩ වලට ඉන්නේ සත්‍යා. එතකොට මගේ අම්මත් දවසම ඉන්නවා. හදිසියෙවත් මට එළියට යන්න වුණොත් අම්මා බබාව බලාගන්නවා. බබා ලැබෙන්න සිටිය මුල් මාස තුනේදී ගොඩක් අපහසුතා දැනුණා. වමනේ ගියා. කෑම කන්න බැරිව හිටියා. මේනක, අම්මා, තාත්තා මගේ ළඟින්ම හිටියා. ගොඩක් වෙලාවට අම්මා තමයි මට කැම කැව්වේ.

බබාව ලැබුණට පස්සේ කිලෝ 30 කින් මගේ බර වැඩි වුණා. ඉතිං ඩොක්ටර්ගේ අවවාද ඇතුව සති 6 කින් මං ව්‍යායාම පටන් ගත්තා. ජිම් එකට යන්න වුණත් වෙලාව හදාගන්න පුළුවන් වුණේ මට උදව් තියෙන නිසා.

 

දියණියගේ වැඩකටයුතු එක්ක කලා කටයුතුවලට වෙලාවක් සොයා ගන්නේ කොහොමද?

බබා ලැබිලා මාසෙකින් වගේ මම වැඩ සටහන්වලට සම්බන්ධ වුණා. නාට්‍යවලට ලොකුවට ආරාධනා ලැබුණෙ නැතත් ලැබෙන ආරාධනා බාරගත්තේ හොඳට හිතල බලලා. ළඟදි පිටපතක් ලැබුණා. ඒකට මං ගොඩක් කැමැතියි. මැයි මාසේ පහුවෙලා රූගත කිරිම් පටන් ගනීවි. එහෙත් කෝවිඩ් තත්ත්වයත් එක්ක මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි.

සාමාන්‍යයෙන් මම දායක වූ හැම නාට්‍යයක්ම වගේ ගොඩක් ජනප්‍රිය වුණා. මුතු කිරිල්ලී නාට්‍යයට තවමත් හැමෝම ආදරය කරනවා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි මුතු කිරිල්ලී. මාව හැමෝම අඳුරගත්තේ ඒ නිසා. මට ක්ෂේත්‍රයේ ගොඩක් දොරවල් විවෘත වෙන්න හේතුවත් තමයි මුතු කිරිල්ලී. මේනකව මට මුලින්ම හමු වුණෙත් ඒ නිසාම තමයි.

 

කාලයක් ඔබ කලා කටයුතුවලින් ඇත්ව සිටියා නේද?

මේනකත් එක්ක ඔස්ට්‍රේලියාවේ ගිහින් හිටියා එයාගේ අධ්‍යාපන කටයුතුවලට. මමත් මොන්ටිසෝරි පාඨමාලාවක් කළා අවුරුදු තුනක. නැවත එහි පදිංචියට යන්න බලාපොරාත්තුවක් නැහැ. නමුත් නිවාඩුවකට වගේ යන්න කැමැතියි. මගේ ‘නෙහාරා ඩාන්ස් ස්ටුඩියෝ’ එකෙත් වැඩ කෙරීගෙන යනවා. සියලු ඩාන්සිං අංග එතැන උගන්වනවා. මම නෙවෙයි ඒ ඉගැන්වීම් කරන්නේ ප්‍රවීණ ඇදුරු මඪුල්ලක්. ඒ කාර්යය කරගෙන යනවා. ඊට අමතරව වෙන ඉවෙන්ට්වල ෂූටිංවලට, වර්ක්ෂොප්වලට අවශ්‍ය කටයුතු එතැන සිදු කරනවා.

 

පවතින කෝවිඩ් තත්ත්වයත් එක්ක කුඩා දරුවන් ගැන වඩාත් ආරක්ෂාකාරී විය යුතුයි නේද?

මම මේ දවස්වල රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නේ නැති තරම්. නමුත් මේනක නම් රූපගත කිිම්වලට වගේම එයා අධ්‍යක්ෂණය කරන අලුත් නාට්‍යයේ වැඩවලට නිතර එහෙ මෙහෙ යනවා. ඒ නිසා එයා ගේ ඇතුළට එන්න කලින් ඇඳුම් එළියෙන්ම වොෂින් මැෂින් දාලා නාලා පිරිසුදු වෙලා තමයි ඇතුළට එන්නේ.

මං වුණත් වැඩ සටහන් බාරගන්නවා අඩු මේ කෝවිඩ් නිසා. මොකද මුලින්ම හිතන්න ඕනේ බබාගේ ආරක්ෂාව සහ පවුලේ ආරක්ෂාව ගැන. අපි මොන දේ කරන්නත් කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. ඉතිං මේ කාලේ හැමෝම ගෙවල්වලට වෙලා ඉන්න එක තමයි හොඳම දේ. ඒක අපි හැමෝගෙම ආරක්ෂාවට හොඳයි.

 

 

 

 

ඡායාරූපය

ශාන් රූපස්සර