කවරයේ කතාව

හෙළ සිනමාවේ රෝස කුසුම සබීතා පෙරේරා...
ඔක්තෝබර් 13, 2021

ඇය හෙළ සිනමාවේ රෝස කුසුමයි ඇගේ මනස්කාන්ත වූ මනරම් රංගනයෙන් රිදී තිරය ඔපවත් වූ ඒ ස්වර්ණමය යුගය අදට ද එකම සිහින පාරාදීසයකි. සිංහල සිනමාව තාරකා දිස්නයෙන් බැබැළ වූ දහසක් රසික සිත් සතන් අප්‍රමාණ ආශ්වාදයකින් පින වූ ඇය කාලය ගලා ගියත් අදට ද ජනප්‍රියත්වයේ ඉහළම වැජඹෙන සොඳුරුතම රංගන ශිල්පිනියකි. ඇය සබීතා පෙරේරා. මෙවර තරුණී කවරය සැරසෙන්නේ ඇගේ රුවෙනි. මේ ඇය සමඟ කල සොඳුරු කතා බහයි.

 

ඉතිං සබීතා කොහොම ද?

 

හොඳින් ඉන්නවා. නමුත් නිවෙසින් එළියට බහින්නේ නැතිම කාලයක්. කෝවිඩ් තත්ත්වෙත් එක්ක සෞඛ්‍යාරක්ෂිතව ඉන්නයි උත්සහ කරන්නේ.

 

ඇයි දැන් කලා නිර්මාණවල ඔබව දකින්න නැත්තේ?

 

මේ තත්ත්වෙත් එක්ක කොහොමටත් එළියට යන්නේ නැහැ කියලා හිතන් ඉන්න නිසා කිසිම කලා කටයුත්තකට මේ දිනවල සම්බන්ධ වෙන්නේ නැහැ. පසුගිය මාර්තු මාසයේදීනම් මා සිනමා පටයකට සම්බන්ධ වුණා. අප්‍රේල් මාසයේදී එහි රූගත කිරීම් අවසන් වුණා. සංජීව පුෂ්පකුමාරගේ ඒ නවතම සිනමා පටයට මාත් සම්බන්ධ වුණා.

 

රංගනයට පිවිසුණ හැට් මතක් කිරීමක් කළොත්..

 

මගේ අම්මයි තාත්තයි සිනමාවට සම්බන්ධයි. ඒක හැමෝම දන්න දෙයක්. තාත්තා ස්ටැන්ලි පෙරේරා. අම්මා මර්ලි පෙර්රා. කුඩා කලයේ ඉදලම තාත්තාගේ  රූපගත කිරීම් බලන්න ගියා. එහෙම යද්දී මව චිත්‍රපටියකට තෝර ගත්තට පස්සේ චිත්‍රපටියට මගේ නම දැම්මා සබීතා කියලා. මම පාසල් යන කාලයේමයි ඒ චිත්‍රපටියට පෙනී හිටියේ. ඒ ච්ත්‍රපටියේ චරිතය තිබ්බෙත් පාසල් තරුණියකගේ චරිතයක්. තත්තාත් සඳා කියලා චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කලා. ඒ විදිහට මට අවස්ථාවන් ගණනාවක් ලැබුණා.

 

ප්‍රේක්ෂක ආදරය වඩත් ලැබුණේ ඔබේ කුමන කලා නිර්මාණවලට ද?

 

මගේ පළමු චිත්‍රපටිය සබීතා චිත්‍රපටියට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් මං හිතන්නේ මගේ සිනමා ජීවිතයේදී වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ දෙවැනි ගමන චිත්‍රපටියට.  ඒකේන් ප්‍රේක්ෂකයින්ගේ අවදානය ගොඩාක් දිනා ගන්න පුළුවන් වුණා.

 

ඒ කාලේ ලැබුණු ප්‍රේක්ෂක ආදරය තවමත් ඒ විදිහටම ලැබෙනව ද?

 

සම්මාන පැත්තෙන් බැලුවොත් හොඳම නිළිය, ජනප්‍රියම නිළිය, නවක නිළිය, සහය නිළිය, නැගී එන නිළිය මේ ඔකෝම සම්මාන ලබා ගන්න මට ඒ කාලේ පුළුවන් වුණා. ප්‍රේක්ෂක ආදරය කියන දේ හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. නමුත් මට ඒ ආදරය හොඳින්ම ලැබුණා. මේ කාලේ වැඩිය පේන්න නැති නිසා හැමෝම අහනවා ඇයි වැඩිය පේන්න නැත්තේ කියලා. ඇත්තටම කෝවිඩ් එක්ක මේ කාලය එතරම හොඳ කාලයක් නෙවෙයි කාටත්. මම ඒ කාලේ කාර්යබහුල නිළියක්. විවාහයෙන් පස්සේ මං නිවාඩුවක් ගත්තා වගේ වුණා. මාව දැක්කම හැමෝම අහන නිසා මං කඩින් කඩ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. අභා, ඇඩ්‍රස් නෑ, අජාසත්ත වගේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. මං ගෙදර ඉද්දි සාමාන්‍ය කාන්තාවක් කියලා හිතුනත් එළියට බැස්සම මන් වෙනස් කෙනෙක් කියලා දැනෙනවා. අනිත් අය මං දිහා බලන විදිහ, තමත් ප්‍රේක්ෂකයින් ඒ ආදරය මට ලබා දෙනවා.

 

ඔබ ආදරණීය පවුලක මවක්, බිරියක්, ගෘහණියක්. පවුලේ තො‍රතුරු ගැනත් කතා කරමු.

 

මට ඉන්නේ පුතෙක් චන්දුක ජයසිංහ. එයා උපාධිය කරනවා. හරි නම් එයා මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ඕනේ. නමුත් කෝවිඩ් එක්ක එයාට යන්න විදිහක් නැති නිසා ඔන්ලයින් උපාධියේ කටයුතු කරගෙන යනවා. සැමියා උපාලි ජයසිංහ. ඔහු ව්‍යාපාරිකයෙක්. මං වැඩිය කාර්යබහුල වෙන්න අකමැති කෙනෙක්. ඉතිං පොත පත කියවගෙන ගෙදර දොරේ වැඩ නිදහසේ කරන්නයි කැමැති.

 

පසුගිය කාලයේ ඔබේ සැමියා මහ මග වැටී රෝහල් ගත කිරීමක් සම්න්ධව විවිධ පුවත් පළ වුණා. ඒ සිඳුවීමට ඔබ මුහුණ දුන්නේ කොහොම ද?

 

පසුගිය මැයි මාසෙදි තමයි ඒක වුණේ. ජීවිතේ හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙනවනේ. ඒ වගේ දෙයක් තමයි සිදු වුණේ. හදිසි අසනීප තත්තවයක් නිසයි එය සිදු වුණේ. දැන් ඔහු සුවෙන් ඉන්නවා. ඒ විඩියෝ දර්ශනය විවිධ අසත්‍ය පුවත් පවා ප්‍රචාරය වුණා. ඔහු මිය ගියා කියලත් තිබුණා. කෝවිඩ් හේතුවෙන් ඇද වැටිලා කියලා තිබුණා. මේ පුවත් ඔක්කොම ප්‍රචාරය වුණේ සමාජ මාධ්‍ය ජාලාවල. හොඳ දේකට වඩා වැරදී දේවල් තමයි ඉක්මනින් ප්‍රචාරය වෙන්නේ. කෙනෙක් දෙයක් කියද්දී ඒක පිළිගන්න කලින් එහි සත්‍ය අසත්‍යතාවය සොයාබලන්න ඕනේ. ෆේස්බුක් එකේ ඒ ගියපු දේවල් ගැන හිතන්න මට වෙලාවක් තිබුණෙ නැහැ. සැමියා වෙනුවෙන් ඒ දේවල් කලා.

 

ඉදිරි වැඩ කටයුතු..

මෑතකදී රූගත කළ චිත්‍රපටය ඉක්මනින් තිරගත වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.