මිහිමව සුරකින්නට තනිවම සටන් වදින ග්‍රේටා

ඕටිසම් තත්ත්වය ඇය ගේ සුපිරි බලයයි
නොවැම්බර් 15, 2021

 

කෝවිඩ් - 19 වසංගතය සමඟ ලොව සෑම රටකම වාගේ සංචරණ සීමා පැන වෙන්නට ගත්තේය. ඉන්පසු නිල් දිය මෙන් පැහැදිලි වුණු නිලම්බරය දෙසවන්වලට මුමුණා පැවසුවේ මිනිසා නො මිනිසකු වී පරිසරය අපිරිසුදු නො කරන්නේ නම් ලොව කෙතරම් සොඳුරු ද කියාය.

නව කොරෝනා වෛරසය නැතත් දේශගුණ පෙරළිය නිසා මිනිසා දිනෙන් දින නන්නාඳුනන රෝගාවලියක ගොදුරු බවට පත්වී සිටින්නේය.

කෝවිඩ් - 19 විසින් මිනිසා‍ ගේ දෑස් විවර කළ ද තවමත් නුදුටුවා සේ සිටින්නන් අප අතර කෙතරම් සිටිනවාද ? පසුගිය දිනවල එක්සත් ජාතීන් ගේ කාලගුණ සමුළුව ( United Nations Climate Change Conference ) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර ලෝක බලවතුන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලෝකයේ ලොක්කන්ටත් වඩා පොළොවේ පය ගසා සිටින සාමාන්‍ය ප්‍රජාවට මේ විනාශය දැනෙන්නට ගත්තේ කලක සිටය. ඔවුනට හදවතේ ස්පන්දනයේ වෙනසක් සේම මිහිතලයේ තණකොළ ගසක පත්‍රයක වෙනසත් සිතට දැනුණි.

එසේ දැනුණු මිහිතලයේ දූවරුන් අතර විසි එක් වැනි සියවසේදී පෙරමුණ ගන්නේ ග්‍රේටා ටින්ටින් එලියොනෝරා එර්න්මාන් තුන්බර්ග් නම් නව යෞවනියයි. තවමත් දහ අට වැනි වියේ පසුවන ග්‍රේටා මේ වන විට ( 2019 - 2021 දක්වා ) පිට පිටම තෙවරක් නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ විණි. ටයිම් සඟරාව මඟින් වසරේ පුද්ගලයා ලෙසින් නම් කළ ළාබාලයා ඇය ය. එපමණක් නොව ඇය ලොවට වඩාත්ම බලපෑම් කළ පුද්ගලයන් සිය දෙනා අතරට ද ටයිම් සඟරාව මඟින් නම්කර තිබිණි. 2019 වසරේ ෆෝබ්ස් සඟරාව මඟින් ග්‍රේටා ලොව වඩාත්ම බලසම්පන්න කාන්තාවන් සියදෙනා අතරට එක් කළේය.

ජන්මයෙන් රුධිරගත කලාව ඇය මෙතරම් ම පරිසරයට සංවේදී කළා විය යුතුය. ඇය ගේ මව මලීනා එන්මාන් ඔපෙරා ගායිකාවකි. පියා නළුවකුවූ ස්වාන්ටේ තුන්බර්ග්ය. ඇය ගේ පිය පාර්ශ්වයේ මුත්තණුවන් ද නළුවෙකි. අධ්‍යක්ෂවරයෙකි.

ඇයට පරිසරයේ විනාශය ගැන සිත් වේදනාවක් මුලින්ම ඇති වූයේ වයස අවුරුදු අටක් තරම්වූ කුඩා අවදියේදීය. ඒ වේදනාව කුමක්දැයි කියා වචනයෙන් අරුත් ගැන්වීමට පුංචි සිතට දැනුමක් නො තිබිණි. සම වයසේ සෙසු දැරියන් බෝනික්කියන් සමඟ කෙළිදෙලෙන් කාලය ගත කරද්දී ඇය කල්පනා කළේ දේශගුණ විපත ගැනය. මේ ගැන ම සිතා වයස අවුරුදු එකොළහේදී ඇය ආහාර පාන ගැනීම පවා සීමා කළාය. දෙමසකදී ඇය ගේ බර කිලෝග්‍රෑම් දහයකින් අඩුවී තිබිණි. මේ කාලයේදීම ඇය ඇස්පර්ගස් සින්ඩ්‍රෝම් නම් ඕටිසම් රෝග කාණ්ඩයට අයත් ස්නායු අක්‍රමිකතාවකින් හා දරුණු කාංසා අක්‍රමිකතාවකින් පීඩා විඳින බව වෛද්‍ය පරීක්ෂණ මඟින් හෙළිවිය. දරුණු කාංසා තත්ත්වය නිසා සමාජයේදී සමහර අවස්ථාවල ඇයට කතා කිරීමට අසීරු විය.

පරිසරය වෙනුවෙන් ඇය කරන කතා බහේදී පවා කාංසා තත්ත්වය බලපෑවේය. පාසල් වැඩ අතපසු කරමින් දියණිය පරිසරය සුරකින ක්‍රියාකාරකම් වෙනුවෙන් කරන කැප කිරීමට මාපියන්ගෙන් මුලදී සහායක් ලැබුණේ නැත. එහෙත් එය ඇය ගේ එකම සතුට බව වටහා ගත් පසු ඔවුන් ද ඇය ගේ කැමැත්තට ඉඩ ලබා දුනි.

ග්‍රේටා ගේ ඕටිසම් තත්ත්වය ඇය ම ඇය ගේ සුපිරි බලය ලෙස හැඳින්වීය. ඇය ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක පමණක් නොව ඕටිසම් ක්‍රියාකාරිනියක ලෙස ද ප්‍රසිද්ධ වූවාය. සමාජ වෙබ් අඩවිවල ඇයගේ අනුගාමිකයන් ගේ ගණන දිනෙන් දින ඉහළ ගියේය. ග්‍රේටා දේශගුණය වෙනුවෙන් පිහිටවූ වර්ජන පදනම, පරිසර විනාශය වළක්වන ලෙසට කරන දේශන මිහිතල ප්‍රේමීන් ගේ හදවත් වැලඳ ගත්තේය. ඕටිසම් තත්ත්වයෙන් පීඩා විඳින තරුණ තරුණියන් රැසක් ඇය වටා රොද බැඳ ගත්තේය. ග්‍රේටා පවසන්නේ වැරැද්ද දැක දැකත් ඕටිසම් රෝගීන්ට ඉවත බැලීමට නො හැකි වීම මීට හේතුව බවයි. සෑම සිකුරාදා දිනයකම ස්වීඩන පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන්ට ගැලවීමක් නො වීය. ඇය පාර්ලිමේන්තුව ඉදිරියේ පරිසරය රැක ගන්නා ලෙසට ඉල්ලා සිටින අදහස් රැගත් නාම පුවරු අතැතිව සිටියාය. කෙමෙන් කෙමෙන් ඇය වටා සෙනඟ එක්රැස් විය.

ග්‍රේටා පරිසරය දූෂණය අවම කිරීම නිවෙසින්ම ඇරැඹුවාය. මාපියන්ට හැකිතරම් එළවළු පලතුරු කෑමට ගෙන ප්‍රතිචක්‍රීකරණයට දායකවී කුණු පිලිස්සීමෙන් වැලකී, පොදු වාහනවලින් ගමන් ගන්නා ලෙසට කළ ඉල්ලීම එතරම් මල්පල දැරුවේ නැත. ඊළගට ඇය කළේ තමන් ගේ අනාගතය ඔවුන් විසින් සොරකම් කරනා බවට චෝදනා එල්ල කිරීමය. අන්තර්ජාතික ඔපෙරා ගායිකාවක වූ මවට නිතර ගුවන් මඟින් යාමට සිදුවූ අතර දියණිය ගේ ඉල්ලීම නිසා ඇය වෘත්තියෙන් සමු ගත්තාය. ගුවන් යානා මඟින් පිට වන දුමෙන් පරිසරය විශාල වශයෙන් දූෂණය වෙයි. එවැනි දෙයකට දායක නො වීමට මව ගත් තීරණයට ඇය ස්තුතිවන්ත වූවාය.

ග්‍රේටා ඉගෙනුමට රුසියෙකි. ඉහළම සාමාර්ථ ලබා පහළ ද්විතීයික අධ්‍යාපනය නිම කළ ඇය දැන් උසස් අධ්‍යාපනය හදාරන්නීය. වයස අවුරුදු දහ අටක් වුව ද මේ වන විට ඇය ලෝක නායකයන් රැසක් හමුවී තිබෙයි. ඇය වඩාත් ගරු කරන්නේ නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආඩ්න්ට ය. ‍දේශගුණ සමුළු බොහොමයක‍ටම ඇය මුහුදෙන් යාත්‍රා කරයි. එහෙත් ඒ සමුළු ගැන ඇය ගේ කිසිදු විශ්වාසයක් නම් නැත. ලෝක නායකයන් කරන්නේ කටින් බතල කොළ සිටවීමක් වීම ඊට හේතුවයි. මේ වන විට ඇයට ලැබී ඇති සම්මාන රැසකි. ඇය වෙනුවෙන් පබැදී ඇති ගීත ද තිබෙයි. ග්‍රේටා සොඳුරු සිතුවමක් වූ වාර ද අනන්තය. මේ සියල්ලටම වඩා ඇයට වටින්නේ මිහිමව‍ට ආඩම්බර විය හැකි දියණියක වීමට හැකි වීමය. ඇය සුරකින්නට උත්සාහ ගන්නේ ඇය ගේ වාගේම ඇයට පසු පරපුරේ ද වැඩිහිටියන් ගේ ද අනාගතය ය.

 

අන්තර්ජාලයෙනි