ළමා වියේ සිහිනය සැබෑකර ගත් සුන්දර් පිච්චයි

අප්‍රේල් 25, 2022

 

වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා සුන්දර් අමෙරිකාවට ගිය පසු මාස හයක් අංජලී සමඟ දුරකථනයෙන් කතාඉස් කිරීමට නො හැකි විය. ඒ වන විට සුන්දර් ට විදෙස් රටකට දුරකථන ඇමතුම් ගැනීමට තරම් වත් කමක් නො තිබිණි. එහෙත් අංජලී සිය සෙනෙහසට එය බාධාවක් කර ගත්තේ නැත.

 

ප්‍රධාන ගූගල් සමාගමේ විධායක නිලධාරියා දක්වා තමන්ට යාමට හැකිවූයේ බිරිය අංජලී නිසා බව සුන්දර් නිතර පවසන්නේය. Yahoo, Twitter වැනි සමාගම් මඟින් රැකියා අවස්ථා ලැබෙද්දී ගූගල් සමාගමේ ම සේවය කරන ලෙස ඇය පැවසුවාය. ඇය ගේ උපදෙස නිසා එහි ඉහළ ම පුටුවට යාමට සුන්දර් ට හැකි විය.

 

මාපියන් සුන්දර් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා අමෙරිකාවට ඇරියේ නිවෙස උකස් කරය. ඔහු මාපියන් වෙනුවෙන් ඉන්දියාවෙන් තට්ටු නිවෙසක් මිලදී ගත්තේය.

 

 

 සුන්දර් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ උපන්නේ මධ්‍යම පාන්තික පවුලකයි. ඔහුගේ බාල සොයුරා ශ්‍රී නිවාසන් විය. දෙසොයුරන් ගේ පියා රගුනාථ පිච්චයි ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙකි. මව ලක්ෂ්මී යතුරු ලියන්නියකි. පිච්චයි පවුල වාසය කළේ කාමර දෙකකින් යුතු කුඩා තට්ටු නිවහනකය. දෙසොයුරන් සාලය නිදන කාමරය කර ගත්තේ එතරම් ඉඩ පහසුකම් නො තිබූ නිසාය.

 

පියා ඉලෙක්ට්‍රොනික සමාගමක වැඩ කළත් ඔහු ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කරන කම්හලක හිමිකරුවකු ද විය. සුන්දර් මේ කම්හලට යාමට ප්‍රිය කළේය. පුතු ගේ කැමැත්ත දැනගත් පියා පුතු කම්හලට පැමිණි විට තාක්ෂණික මෙවලම් ගැන ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවීමේදී ලබන රසබර අත්දැකීම් ගැන කතන්දර මඟින් කියාදුනි. සම වයසේ වෙනත් පිරිමි දරුවන් මෙන් සුන්දර් සෙල්ලමට සිත ගිය අයකු නො වීය. ඔහු සැම විට ම කළේ පාඩම් වැඩය.

වයස අවුරුදු 12 වන විට පිච්චයි පවුල ජංගම දුරකථනයක හිමිකරුවන් විය. සුන්දර්ට ඇමතුම් ගත් සෑම දුරකථන ඇමතුමක ම අංක මතක තිබිණි. එය කාටත් පුදුමයක් වූ නමුත් මේ මතක තබා ගැනීමේ හැකියාව ඔහු ගේ අනාගත සාර්ථකත්වයේ පෙර නිමිත්තක් බව නම් කිසිවකුටත් නො සිතිණි.

සුන්දර් මුලින් ම ගියේ දකුණු ඉන්දියාවේ අශෝක් නාගර් හි ජවහර් විද්‍යාලයට ය. දහවැනි පන්තියෙන් පසු තොරතුරු හා තාක්ෂණය හැදෑරීමට මදුරාසියේ වානා වානි උසස් පාසලට ඇතුළත් විණි. ඔහු අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියෙන් ඉංජිනේරු විද්‍යාව ( engineering ) හා ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව ( materials science )පිළිබඳ උපාධිය ද අමෙරිකාවේ පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ Wharton පාසලෙන් MBA උපාධිය ද ලැබුවේය.

සුන්දර් වෘත්තීය ජීවිතය ඇරැඹුවේ ද්‍රව්‍ය ඉංජිනේරුවරයකු ( ද්‍රව්‍යවලින් නව ද්‍රව්‍යය සාදන ඉංජිනේරුවෙක් ) වශයෙනි. McKinsey & Co ආයතනයේ කෙටි කාලයක් පරිපාලන උපදේශකයකු ලෙස කටයුතු කළ ඔහු ගූගල් සමාගමට බැඳුණේ 2004 දී ය. අද ඔහු ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ය. එපමණක් නොව ඔහු ගූගල් පවුලේම

Alphabet Inc සමාගමේ ද විධායක නිලධාරියාය. ආසියානු පුද්ගලයෙක් ගූගල් සමාගමේ ඉහළම තනතුරට හිමිකම් කී පළමු අවස්ථාව මෙය ය.

ටයිම් සඟරාව මඟින් තෝරාගනු ලබන ලෝකයට වඩාත් ම වැදගත්වූ පුද්ගලයන් සිය දෙනා ගේ නාම ලේඛනයේ 2016 වසරේත් 2020 වසරේත් සුන්දර් පිච්චයි ගේ නම සඳහන් වූයේ විසි එක්වැනි සියවසට ඔහු ඒ තරමට ම වටිනා අන්තර්ජාල තාක්ෂණික දැනුමකින් යුතු පුද්ගලයකු වූ නිසාය. ඔහු මුලින් ම සේවය කළේ ගූගල් සෙවුම් යන්ත්‍රවලට ප්‍රවේශ වීම සඳහා භාවිත කරන Microsoft Internet Explorer සහ Mozilla Firefox වෙබ් බ්‍රවුසර නිර්මාණය සඳහා සහාය දුන් Google's Toolbar කණ්ඩායමේය. පසුව ඔහුට තමන්ගේම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කිරීමේ සිතක් පහළ විය. ඒ පිළිබඳව ඔහු Google සමාගමට පැවසූ අතර ඊට අනුමැතිය ලැබිණි. ඔහුට සහාය වීමට සහෝදර සේවක පිරිසක් කැමැත්ත පළ කළහ. අද අපට වේගයෙන් අන්තර්ජාලයේ සැරිසරන්නට උපකාරී වන Google Chrome වෙබ් බ්‍රවුසරය නිර්මාණය වූයේ ඒ අනුවය. Google Chrome අද අන්තර්ජාල සැරිසරන්නනන්ට නැතිවම බැරි ජනප්‍රියම වෙබ් බ්‍රවුසරයකි. සුන්දර් Chrome OS සහ Google Drive නිර්මාණය කිරීමේ පුරෝගාමියා ද වන්නේය. මේ වන විට ලෝ පුරා වෙසෙන ගූගල් සාමාජිකයන් තම ජීවිතය හා සමාන ඡායාරූප, ලිපි ලේඛන Google Drive වල තැන්පත් කර ගෙන සිටින්නේ සුන්දර්ගේ විශ්වකර්ම හැකියාවේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට අමතරව ඔහු Gmail හා Google Maps වැඩි දියුණු කිරීමට තමන් ගේ දායකත්වය ලබා දුන්නේය. මේ සුදුසුකම් නිසා ම ලෝකයට වඩාත් ම වැදගත්වූ ටයිම් සඟරාවේ ලොවට බලපෑම් කළ විශිෂ්ට ම පුද්ගලයන් සිය දෙනා ගේ නාම ලේඛනයේ දෙවරක්ම ඔහු නම සඳහන් වීම පුදුමයක් නො වෙයි. උපන් දේශයවූ භාරත රජයෙන් ඔහු 2022 දී Padma Bhushan සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු ජීවිතය පවත්වා ගෙන යන්නේ අපූරු රිද්මයකට ය. වෘත්තීය ජීවිතයේ මෙන් ම පෞද්ගලික ජීවිතයේ ද මේ සුන්දර රිද්මය පවත්වා ගෙන යයි.

උදෑසන ආහාරය ඔහු ඉතා වැදගත් ලෙස සලකයි. ගූගල් සමාගමේ සේවකයන් පවුලේ අය උදෑසන ආහාරය ගැනීම අනිවාර්ය ය. දවස පුරාම ක්‍රියාශීලී වීමට නම් පෝෂණය පිරි උදෑසන ආහාර වේලක් ගත යුතු බව ඔහු තරයේ ම විශ්වාස කරයි. උදෑසන හත වීමට පෙර උදේ ආහාරය ගෙන අවසන් ය. ඒ අතරේ ඩිජිටල් තාක්ෂණයේ උපකාරයෙන් New York Times පුවත්පත කියවයි.

සරල අඳින ඔහු ඇවිදීමට ඉතා කැමැතිය. කාර්යාලයේදී මෙන් ම නිවෙසේදී ද වැඩිපුර දක්නට ලැබෙන්නේ ඇවිදිමින් සිටින සුන්දර් ය. ඇවිදින විට වඩාත් හොඳින් සිතීමට හැකි බව ඔහු විශ්වාස කරයි.

විවේකයේදී පොත් කියවීම ඔහු ගේ විනෝදාංශයයි. නිවෙසේදී ක්‍රිකට් තරග, පාපන්දු තරග නැරැඹීමට ඔහු වඩාත් කැමැතිය.

කෙතරම් රාජකාරි තිබුණ ද සුන්දර් නින්දට යන්නේ දරුවන් දෙදෙනා නිදිකරවීමෙන් පසුවය. සුන්දර් - අංජලී යුවළට කාව්‍යා නමින් දියණියකුත් කිරන් නමින් පුතකුත් සිටියි.

ඔහු භාරධූර වගකීමක් දැරුව ද පවුල අංක එකට තබා ගත් සැමියෙකි. කාර්ය බහුල සැමියන් ට ඔහු පරමාදර්ශයකි.

වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 242ක ආදායමක් ලබන් සුන්දර් ගේ අත ගැනීමට තරම් වාසනාවන්ත වූයේ ඉන්දියානු ජාතික රසායන ඉංජිනේරුවරියකි. සුන්දර්ට අංජලී මුණ ගැසුණේ තොරතුරු තාක්ෂණය හදාරන විටදී පළමු වසරේ සිසුවකුව සිටියදීය. ඇය දැනට ව්‍යාපාර මෙහෙයුම් කළමනාකාරිණියක ලෙස සේවය කරන්නීය. සැමියා මෙන් ම ඇය ද පොත් කියවීමට රුසියෙකි.

 

 

අන්තර්ජාලයෙනි