රෙදි යාර හයකින් මැජික් පෙන්වන ලෝ ප්‍රකට ඩොලී ජේන්

අගෝස්තු 1, 2022

 

ඔසරිය ලාංකේය කාන්තාවන්ගේ ජාතික ඇඳුම වුවත් සාරිය ද වැඩිම ජනප්‍රියත්වයක් හිමිකර ගන්නකි. කාර්යාලයට මෙන්ම උත්සව අවස්ථාවකට වුව සාරිය අඳින අප එය වඩාත් ආකර්ෂණීය ලෙසින් ඇඳීමට කැමැතිය. ඒ නිසාම බොහෝ අය විවිධ විලාසිතාවන්ට සාරිය ඇඳීමේ ක්‍රම ගැන දක්වන්නේ ද උනන්දුවකි. උත්සව අවස්ථාවකට සහභාගී වන්නේ නම් සාරිය අන්දවා ගන්නේ රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සහයෙනි. ඒ තරමටම සාරිය නීට් එකට, ලසසනට ඇඳීමට අපේ ළඳුන් කැමැතිය. මේ සාරි ඇඳීමේ කලාවෙන් ලෝ ප්‍රකට වූ කාන්තාවක ගේ කතාවයි.

 

ඉන්දියානු කාන්තාවක්

තමා කැමැති දේ කිරීමෙන් දියුණු වූ පුද්ගලයන් බොහොමයකි. එහෙත් තමා අකැමැති දෙයක් කිරීමෙන් ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයන් ඇත්තේ අල්ප වශයෙනි. ඇය ද එවැන්නියකි.

'චිත්‍ර ශිල්පියෙක්ට හිස් කැන්වසයක්, තීන්ත හා පින්සල් ලබා දුන් විට තමන්ගේ උපරිමයෙන් එහි සිත්තමක් නිර්මාණය කරනවා. මගේ කැන්වසය වන්නේ මගේ නිරූපිකාවන්. තීන්ත සහ පින්සල් වෙන්නේ සාරියයි. නිරූපිකාවගේ අවසන් පෙනුම මගේ සිතුවමයි.' මෙසේ කියන්නේ රෙදි යාර හයකින් මැජික් කර ලලනාවන් සුන්දර කරන ප්‍රකට කාන්තාවකි.

ඇය ඩොලී ජේන් නම් වූ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනියයි. 48 හැවිරිදි ඇය ඉන්දියානු කාන්තාවකි. ඉන්දියානු කාන්තාවන්ගේ ජාතික ඇඳුම වන සාරිය කොතෙක් එරට ජනප්‍රිය වුවත් එය ඩොලී කැමැති ඇඳුමක් නොවූවාය. එහෙත් මේ වන විට ඇය සාරි ඇඳීමෙන් ලෝක වාර්තා පවා තබා ඇතැයි පැවසුවහොත් ඔබ පුදුම වනු ඇත.

 

සුපිරි තරු

 

ආලියා භාත්ගේ ගේ මංගල්ලය දා ඇගේ පෙනුම දැක ඔබටත් ඒ මෝස්තරයට සාරියක් අඳින්න තිබුණා නම්, එහෙමත් නැතිනම් කට්රිනාගේ මංගල ලෙහෙන්ගා විලාසිතාවෙන් හැඩවෙන්න තිබුණා නම් කියා සිතුණේ ද? එපමණක් නොව දකුණු ඉන්දීය අංක එකේ තරුව වූ නයනතාරා මංගල දිනය දා හැඩ වූ සාරි විලාසිතාව ඔබේත් සිත් ගත්තා නොවේද? බොලිවුඩයේ සුපිරි තාරකාවන් වන සෝනම් කපූර්, දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා පමණක් නොව ඊෂා අම්බානි පවා තම මංගල ඇඳුම නිර්මාණය කරවා ගත්තේ ඩොලී ජේන් ලවාය. දීපිකා පදුකෝන් කැන්ස් සිනමා උළෙල වර්ණවත් කළ සුදු පැහැති සාරිය ඔබට මතක ද? ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික කාන්තාවක් වන නතාෂා පූනවල්ලා පසුගිය ඇකඩමි සම්මාන උළෙලේ මෙට් ගාල අවස්ථාවට සහභාගී වූ පෙනුම දුටුවා නම් ඔබ පුදුමයට පත්වනු නිසැකයි. ඇයට සාරියකින් ගවුමක පෙනුම ලබා දී තිබුණි.මේ සියල්ල කළේ එකම කාන්තාවකි.

රෙදි යාර හයකින් විස්මිත සාරි නිර්මාණය කිරීමේ මායාව පිටුපස සිටින්නේ අපි මේ කියන ඩොලී ජේන්ය.

 

අකැමැතිම ඇඳුම

ඇය විවාහ වන තෙක් ම වැඩියෙන් සාරි ඇඳීමක් නො කළත් විවාහයෙන් පසුව නිවෙසේ හිඳින්නටත් සාරි ඇඳීමට සිදු විය. ඒ ඇය විවාහ වී තිබුණේ ගෙදරටත් සාරි අඳින පවුලකින් වූ නිසාය. එපමණක් නොව තම සැමියාගේ මව සාම්ප්‍රදායිකත්වය අගය කළ තැනැත්තියක් විය. නමුත් සාරි ඇඳීම ඩොලීට මහත් අපහසුවක් ගෙන දෙන්නක් විය. සාරිය, හේතු දෙකක් නිසා ඇගේ සිතෙන් ප්‍රතික්ෂේප කරන ලද ඇඳුමකි. ඉන් එකක් වන්නේ සාරිය ඇඳගෙන වැඩ කිරීමට ඇති අපහසුවයි. එයට පුරුදු විය හැකි වුවත් දෙවැනි කාරණය තදින්ම ඇගේ සිතට සාරිය කෙරෙහි අකැමැත්තක් ඇති කිරීමට හේතුවක් විය. ඒ, සාරිය ඇඳීමට දිනපතා උදෑසන කාලයෙන් විනාඩි 45ක් පමණ වැය වීමයි. මෙය නිරපරාදේ කාලය කාදමන වැඩක් ලෙස ඇයට දැනුණි.

'අනේ නැන්දම්මා කියනවා නම් මට සාරිය වෙනුවට කුර්තා අඳින්න කියලා, කොයිතරම් හොඳද?' යන සිතුවිල්ල සාරි අඳින හැම උදෑසනකම ඩොලී ගේ සිතේ ඇති විය. නමුත් කාලයක් යාමේ දී ඇයට සාරි ඇඳීම විනෝදාංශයක් තරමට ජීවිතයට සමීප විය. එය විනෝදය ගෙන දෙන්නක් විය. ඒ නිසා ඇය පහසුවෙන් සාරි ඇදීමේ ක්‍රම අත්හදා බැලූවාය. සාරිය ඇඳිය හැකි විවිධ වූ අලුත් ක්‍රම නිර්මාණය කළාය. මෙය කොතෙක් සාර්ථක වීද යත් ඇය දන්නා හඳුනන අය ඇගෙන් සාරි අන්දවා ගැනීමටත්, ඇය ලවා සාරි නිර්මාණය කරගැනීමටත් උනන්දු විය. උත්සව අවස්ථා සඳහා පවා ඇය විශේෂිත වූ මෝස්තරවලට සාරි නිර්මාණය කිරීම නිසා ඩොලී ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වන්නට විය.

ඇගේ මේ ජනප්‍රියත්වය කටින් කට ගොස් ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පී සන්දීප් කෝෂ්ලා ගේ ද කණ වැකිණි. සැබෑ ලෙසම ඇයගේ දක්ෂතා හඳුනාගෙන, ඇය ප්‍රසිද්ධ ගනුදෙනුකරුවන්ට හඳුන්වා දුන්නේ ඔහුය. ඒ අතර බොලිවුඩ් තරු ද විය. අවසානයේ දී ඇය සාරි ඇන්දවීම හා නිර්මාණය තම වෘත්තිය බවට පත්කර ගත්තා ය. එය සිදු වූයේ නිරායාසයෙනි. අද ඇය ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පීන් වන මනීෂ් මල්හෝත්‍රා ගේ හා සබ්යාසාචි මුකර්ජි ගේ අවශ්‍යතා සඳහා ද සාරි නිර්මාණය කරයි.

 

ලෝක වාර්තා දක්වා

තම වෘත්තීය දී ද ඇය කොතරම් සාර්ථක වී ද කිවහොත් 2019 දී ලින්කා වාර්තා පොතේ වාර්ථාවක් තැබීමට ඇයට හැකි විය. ඒ විවිධ ආකාර 125කින් සාරි ඇඳීමේ වාර්තාවයි. පසුගිය දා ඇය තමන් තබා තිබූ තමන්ගේම වාර්තාව අලුත් කළාය. ඒ විවිධ ක්‍රම 325 ක් ඔස්සේ සාරි ඇඳීමේ වාර්තාවයි. එපමණකින් නොනැවතුන ඇය, අඩුම කාලයක් තුළ සාරියක් ඇඳීමේ වාර්තාව ද තමා සතුකර ගත්තාය. ඒ, තත්පර 18.5 ක් තුළ සාරියක් ඇඳීමෙනි. අද ඇය ප්‍රසිද්ධ තරුවකට සාරියක් නිර්මාණය කරන්නට ඉන්දීය රුපියල් ලක්ෂ 35ත් 100ත් අතර මුදලක් අය කරයි.

 

සාරිය ජනප්‍රිය කරන්න

ඉන්දියානු පුවත්පතකට ඇගේ වෘත්තිය හා ඇගේ ගමන් මඟ ගැන ඩොලී පවසා තිබුණේ පහත ආකාරයෙනි.

"මම හිතුවේ නැහැ මෙය වෘත්තියක් කරගන්න. මම මුලින්ම සාරිය ඇදීමට කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. විවාහයෙන් පස්සෙ උදේට සාරිය අඳින්න විනාඩි 45ක් විතර යන නිසා නැන්දම්මා මට කුර්තා අඳින්න දෙනවා නම් කියලා හිතුණා... කොහොමහරි නැන්දම්මා ඒ තත්ත්වයට කැමැති කරවා ගන්නකොට මම දැක්කා ඉන්දියානු කාන්තාවන් වැඩි දෙනෙක් ගවුම් අඳිනවා. සාරිය අපේ සංස්කෘතික අංගයක්. ඉතින් මේ සුන්දර, කාන්තා සිරුරේ හැඩ හොඳින් පෙනෙන, මේ ඇඳුම තරුණ ගැහැනු ළමයින් අතරේ ජනප්‍රිය කරවීමේ අභියෝගය මම බාර ගත්තා. ඒ ගමනේ දී සිදු වුණේ එය මගේ වෘත්තිය බවට පත්වීමයි.

දැන් ගැහැනු ළමයි සාරිවලට වැඩි කැමැත්තක් දක්වනවා. තම සිරුර සුන්දරව දිස් වීමට, කැපී පෙනෙන ලෙසින් සිටීමට, සුදුසුම ඇඳුම සාරිය බව ඔවුන්ට වැටහී තිබෙනවා. ඔබට විවිධ ක්‍රම ඔස්සේ අත්හදා බැලිය හැකි එකම ඇඳුම සාරියයි. ඇත්තටම සාරිය කියන්නෙ මැජික් යාර හයක රෙද්දක්.

බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ චරිත අඳින විදියට ඇඳීමට ප්‍රිය කරනවා. ඒත් එය සාර්ථක ක්‍රමයක් නෙවෙයි. විශේෂයෙන් ම මංගල උත්සවයක් කියන්නේ අත්හදා බැලීම් කිරීමට සුදුසු දෙයක් නෙවෙයි. ඔබට ඔබේම වූ පෞරුෂයක් හැඩයක් තිබෙන නිසා තමාට ගැළපෙන ලෙසින් ඇඳුම් නිර්මාණය කරගැනීම තමයි වඩාත් සුදුසු.."

ඩොලීගේ මේ අදහස් අපේ තරුණියන්ට වැදගත් ය. තමා තමා ම වන්න. එපමණක් නොවෙයි, ඇතැම් විට අපේ දක්ෂතා පෙන්විය හැකි වන්නේ අපි කැමැති අංශයන්ගෙන් ම නොවිය හැකිය. අපි අකැමැති දෙයක් වුවත් කැමැත්තෙන් කිරීමෙන් අපට සාර්ථකත්වය ළඟා කර ගත හැකි බව ඩොලීගේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශ යයි.

ඔබටත් ඉගෙන ගන්න අවස්ථාව

ලාංකේය අපිට සාරි ලැබෙන්නේ ඉන්දියාවෙනි. මේ සාරි විවිධ මෝස්තරවලට අනුව නිර්මාණය කළ ඒවාය. ඒ ඒ සාරිය සතු මෝස්තරය මතුවන ලෙසින් ඇඳීම කළ යුතුයි. එහෙත් අප බොහෝ දෙනා සාරිය අඳිනවා මිස සාරියේ ඇති මෝස්තරය ඉස්මතුවන ලෙසින් එය ඇඳීමට නො දනී. එමෙන්ම විවිධ රෙදි වර්ගවලින් ඇති සාරි ඇඳීමේ ක්‍රම ද වෙනස්ය. මේ ගැටලුවලට නිසැක විසඳුම ඔබට ඩොලී ජේන් වෙතින් ලබාගත හැකියි. ඒ ඇගේ යූටියුබ් චැනලයෙන් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙනි.

ඔබත් සාරි අඳින ක්‍රම පිළිබඳ දැනගැනීමට කැමැති නම් ඇගේ යූටියුබ් චැනලය වන Dolly Jain වෙත හෝ Dolly Jain Instagram ගිණුම වෙත පිවිසෙන්න. එම ඇඳීමේ ක්‍රම නරඹා ඔබට තනිවම ඒවා පුරුදු පුහුණු විය හැකියි.

 

අන්තර්ජාලය ඇසුරිනි